ලොව විශාලතම නත්තල් ගසේ වැඩ යළි අරඹයි….

ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙන ලොව විශාලතම නත්තල් ගසේ වැඩ යළි ආරම්භ කෙරේ. එහි සංවිධායක කමිටුවේ සභාපති මංගල පී. ගුණසේකර මහතා ඒ බව අද දැනුම් දුන්නේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේදී එම මාධ්‍ය හමුව පැවැත්විණ. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාට කළ දැනුම් දීමකින් පසුව ලොව විශාලතම නත්තල් ගසේ වැඩ යළි ආරම්භ කළ බවද මංගල පී. ගුණසේකර මහතා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

“අතිගරු රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා සහ ගරු රවී කරුණානායක මැතිතුමා ඊයේ දිනයේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හමුවී තිබෙනවා. මේ හමුවේදී ලොව විශාලතම නත්තල් ගස ගැන අවධානය යොමුව තිබෙනවා. පසුව අතිගරු රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා ගරු අර්ජුන රණතුංග මැතිතුමාට නත්තල් ගසේ ඉදිකිරිම් කටයුතු අඛණ්ඩව කරන ලෙස දන්වා තිබෙනවා.

නත්තල් ගස ඉදිකිරීම සඳහා රජයේ මුදල් යොදා ගන්නා බවට කිසියම් පිරිසක් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේට පවසා තිබෙනවා. නමුත් කිසිම විටක වරාය සහ නාවික අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හෝ රජයේ හෝ මුදල් මේ නත්තල් ගස ඉදිකිරීමට යොදා ගන්නේ නැහැ. මෙම නත්තල් ගස නිර්මාණය කරන්නේ පෞද්ගලික ධන පරිත්‍යාග මත පමණයි. එයත් මූල්‍ය ආධාර නොව ද්‍ර‍ව්‍යමය ආධාරවලින්. අප කලින් සැලසුම් කළ පරිදි ලොව විශාලතම නත්තල් ගසට සමගාමීව දුප්පත් දරුවන්ට තිළිණ දීමේ වැඩසටහනත්, වකුගඩු අරමුදල සදහා පරිත්‍යාග ලබා දීමත් සහ වෙනත් සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කලින් සැලසුම් කළ පරිදිම ලබන 20වැනිදා ලොව විශාලතම නත්තල් ගස විවෘත කිරීමට අපි අපේක්ෂා කරනවා…..” යැයිද මංගල පී. ගුණසේකර මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.