ලේබල් අවභාවිතයෙන් නිරූපිත ආකල්ප පරිහානිය

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට කවුරුත් කැමතිය. තමන්ට හිමි දේ ලැබීමට මෙන්ම තමන්ට අහිමි අනුන්ට හිමි දේ පවා ලැබීමට ඇතැම්හු ආශා කරති. හොඳ බවට හැමෝම කැමතිය. නරක බවට හැමෝම අකමැතිය. ඒ නිසා තමන් හොඳ අයෙකි යන පැසසුම ලැබීමට මෙලොව උපන් හැම අයෙක්ම කැමතිය. නමක් යනු පුද්ගලයෙකු හඳුනා ගැනීම පිණිස ඇති ලේබලයක් පමණි. කෙනෙකුට නමක් තැබීමේ දී උපන් වේලාව, ගණය, අකුර ආදී නොයෙකුත් දේවල් බලන සිරිතක් අපේ සංස්කෘතිය තුළ ඇත. නමක් යනු හුදු ලේබල් එකක් පමණක් වුවද ඒ ලේබල් එක වුවද තබනු ලබන්නේ මේ ආකාරයට දහසකුත් එකක් දේවල් බැලීමෙන් අනතුරුවය. ඇතැම් අයට තමන්ගේ නම යනුවෙන් තියෙන ලේබල් එක පමණක් ව්‍යවහාර කිරීමට අකමැතිය.

බන්ධනාගාරය බඳු ඇතැම් ස්ථානවලදී පමණක් නම යන ලේබල් එක වෙනුවට පුද්ගලයෙකුගේ අනන්‍යතාව වෙන්කර දැක්වීම සඳහා අංකයක් භාවිතයට ගනු ලැබේ. මේ අනුව එක් අයෙකුගේ නමක් තවත් නමකට වඩා අර්ථවත්ව ලස්සනට ප්‍රකාශ කිරිමේ උනුන් අතර දැඩි තරඟකාරී බවක්ද විද්‍යමානය. නමය අර්ථයක් ලස්සනක් තිබුණත් නැතත් නමක් භාවිතා කිරීමේ අර්ථය නම් කෙනෙකුගෙන් තවත් අයෙකු වෙන් කර හඳුනා ගැනීමේ පහසුව එමඟින් ලැබීම පමණකි. මේ අනුව නමක උපයෝගීතාවය හුදු වෙන් කර හඳුනා ගැනීමය. නමුත් නම් අලංකාරවත්ව අර්ථවත්ව තබා ගැනීමට සමාජයේ වැඩි දෙනෙකු අතර පවතිනුයේ හුදු අප්‍රකාශිත තරඟයකි. නමක මුල අකුර හෝ අග අකුර හෝ නමේ ඇති සියලු අකුරු ගණන ලඝු ගුරු දේවාක්ෂර අපායාක්ෂර වශයෙන් වර්ග කරමින් හැකි තරම් ඉහළම වටිනාකමක් නම නැමැති ලේබල් එකට ලබා ගැනීමට සමහරු වෑයම් කරති. මේ සඳහාම කැපවුනු වෘත්තිය නම් තබන්නෝ සිටිති. මිනිස්සු ඒ වෙනුවෙන් අතමිට දිගහැර වියදම් කරති.

දෙමව්පියන් තැබූ නම වෙනුවට ඇතැම් අය හැඳින්වීම සඳහා සමාජයෙන්ද ඇතැම් අවස්ථාවල විවිධ අන්වර්ථ නාම භාවිතා කරනු දක්නට ලැබේ. බුද්ධ කාලීන භාරතීය සමාජයේ පවා නියම නමට වඩා මෙසේ සකස් වූ අන්වර්ථ නාම ගිහි හා පැවිදි අය හැඳින්වීම සඳහා භාවිතා කර ඇති ආකාරය ත්‍රිපිටකය සාහිත්‍ය තුළ දැකගත හැකිය.සාරිපුත්ත, ලකුණ්ටකණ්ටක තිස්ස,කුණ්ඩලකේසී,මිගාර මාතා, චත්තපාණී ආදී ලෙස ගිහි පැවිදි උතුමන් හැඳින්වීම සඳහා මෙසේ අන්වර්ථ නම් එකලද භාරතීය සමාජයේ පැවතින. වර්ණනාව පිණිස සේම පුද්ගල අපහාසය පිණිසද නියම නමට වඩා වෙනත් නම් පුරාණයේ සිට මානව සමාජයේ පුද්ගලයන්හට භාවිතයේ තිබිණ. රජවරුන්ට ප්‍රශස්ති ගායනා කිරීම සඳහා මෙන්ම දේශපාලන අවශ්‍යතාව සඳහා යම් යම් පුද්ගලයන් උදෙසා ගරු බුහුමන් පිණිස උදාර අර්ථයෙන් නම් පබැඳීම සිරිතක් ලෙස තිබේ. එදා යුගයේ සිට මෙදා කාලය දක්වාම මේ සිරිත අඩුවැඩි වශයෙන් මානව සමාජයේ පවතියි. නරක නම් ඇති අය අතමිට දිගහැර වියපැහැදම්කොට හෝ තමන්ට ඇති බලය භාවිතාකොට හෝ නියම නම යටපත්කර ඒ වෙනුවට හොඳ යැයි සම්මත විරුදාවලි හා නම් පටබැඳ ගැනීමට දැඩි රුචිකත්වයක්ද දක්වති.සත්‍ය වශයෙන්ම හොඳ අයට එලෙස කිරීමේ වුවමනාවක් නැති බැවින් තමන්ට සිදුකරන නින්දා අවමන් අපහාස ආදියෙහි මෙන්ම බොරුවර්ණනා ඇගැයුම්ප්‍රශස්ති ආදියෙහිද කම්පාවට නොපැමිණෙති.

බබාට නමක් ලෙස පුවත්පත්වල පවා මේ සඳහා ඇතැම් අවස්ථාවලදී වෙන් වුනු ඉඩකඩක් පවතිනුයේ ඊට ප්‍රමාණවත් පාඨක ඉල්ලුමක් පවතින බැවිනි. නමක් යනු කෙනෙක් අනෙකාගෙන් වෙන් කර හඳුනා ගැනීම පහසු කිරීම සඳහා භාවිතා කරන හුදු ලේබල් එකක් පමණක් නම් හොඳ නමක් ගැනීමට මේ තරම් ප්‍රජාව වෙහෙසවනුයේ මන්දැයි විටක අපතුළම කුකුසක් ඇති වේ. මේ ආකාරයට ඇතැම්හු ඒ ලේබල් එකට විවිධ තවත් ලේබල් අලවා ගෙන වඩා හොඳ හෝ ඉස්තරම් වීමට වෑයම් කරති. මෙලෙස කෙනෙකුගේ නමට ඉදිරියෙන් හා පසුපසින් අලවන විවිධ වර්ගයේ ලේබල් නාම ගණනාවක් සමාජ ව්‍යවහාරයේ පවතියි. ඒ ලේබල් අතරින් ඇතැම් ඒවා ආගමික ලේබල්ය. සමථයානික, විපස්සයානික, ත්‍රිපිටකාචාර්ය, ධූතාංගධර, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත්, බුදු, පසේබුදු මේ ආකාරය ආගමික ලේබල්ය. සෑබෑවටම මෙබඳු ආධ්‍යාත්මික හැකියා ඇති උතුමෝ මෙබඳු ආගමික ලේබල් අලවාගෙන සමාජයේ කැපී පෙනීමට නොයති.ලේබල් අලවා ගනුයේම අනුන් අතර කැපී පෙනීමේ ආශාව නිසාමය.

සමහර ලේබල් ජාතිකය. සිංහල, දමිළ, මුස්ලිම් ආදී වශයෙන් ජනවර්ගවලට අයත්බව පෙන්වීම මෙහිදී සිදුවේ. අප කොයි කාගෙත් ඇඟ් දුවන්නේ එකම රතු ලේය. ඊට කිසිදු ජන වාර්ගික ලේබලයක් නැත. ඒ වුවද ජීවත්වන සුලු කාලසීමාවතුළදී ජාතිකත්වය වෙනුවෙන් ලේබල් අලවා ගන්නා සමහරු ජාතිවාදයට නතුවී උනුන් හා දබරකර ගෙන විනාශ වෙති.මේ සෑම ලේබල් එකක්ම වලංගුවනුයේ මියයනතෙක් පමණක් බව මේ වැඩි දෙනෙකුට අමතකය.සොහොනෙහි සදාකාලික නින්ද සැතපෙද්දී කොයිකවුරුත් ලේබල් රහිත මළකඳන්ම පමණකි.ජාතිවාදය වෙනුවට ජාතිකත්වය පමණක් ඇතැයි ඇතැමෙක් පවසති. නමුදු ජාතිකත්වය වුවද හුදු ලේබලයක්ම පමණක් බව මේ අය අමතක කරනුයේ මන්දැයි නොවැටහේ. තවත් ලේබල් අධ්‍යාපනික වශයෙන් තමන් සමත් වූ ඉහළම විභාග සාමාර්ථය හෙළි කිරීම සඳහා නමට අතිරේකව භාවිතා කෙරේ. ඇතැම් නාම ලේබල් විවිධ සමාජ සංවිධාන ආදියෙන් ද ප්‍රධානය කරනු ලබයි. ඒ පුද්ගලයා අතින් සිදු වූ යම් සමාජ මෙහෙවරක් අගයකිරීම සඳහා ද එබදු නාමික ලේබල් ඇතැම් සංවිධාන, සංගම්,ආයතන විසින් ප්‍රදානය කරනු ලබයි.මෙසේ නම් ප්‍රදානය කරනු ලබන ආයතන අතරට විවිධ අධ්‍යාපන ආයතනද අයත්ය. විශ්වවිද්‍යාලවලින් ද සිය විශ්වවිද්‍යාලයේ යම් අධ්‍යාපන පාඨමාලාවක් සාර්ථකව හදාරා අවසන් කළ විද්‍යාර්ථීන්හට ඔවුන් සමත් වූ අධ්‍යාපන මට්ටමට අනුව ප්‍රදානය කරනු ලබන විවිධ අධ්‍යාපන නාම ගණනාවක් තිබේ.සහතික පත්‍ර,ඩිප්ලෝමා,උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ආදී විවිධ පාඨමාලා සාමාර්ථය වෙනුවෙන් ඒ ඒ පාඨමාලා නාමය ලේබලයක් ලෙස නම සමඟම භාවිතා කළ හැකිය. කලා විෂය ධාරාව සඳහා නම් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති යන ලේබල්ද, නීතිය සඳහා නම් නීතිවේදී, නීතිපති ආදී ලේබල්ද,විද්‍යා හා ගණිත විෂය ධාරා සඳහා විද්‍යාවේදී, විද්‍යාපති ආදී ලේබල් ද පොදුවේ සියලුම විෂයන් සඳහා දර්ශනපති හා දර්ශන විශාරද ( ආචාර්ය) ආදී ලේබල්ද භාවිතා කෙරේ. එසේම ප්‍රාචීන විෂය ධාරා සඳහා රාජකීය පණ්ඩිත ලේබලයද ත්‍රිපිටක අධ්‍යයන සඳහා ත්‍රිපිටකවේදී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක වාචිස්සරාචාර්ය ආදී ලේබල්ද භාවිතා වේ.මේ සමත්වූ විභාග සාමාර්ථය දැක්වීම සඳහා නම ඉදිරියෙන් තමා සමත්වූ විභාගයට අදාළව පමණක් භාවිතාකළ යුතු වූ උපාධි නාම ලේබල්ය.

රටට සිදුකළ යම් මෙහෙවරක් පිණිස ඇතැමෙකුට දේශබන්ධු, දේශමාන්‍ය ආදී ලේබල් තවත් අය විසින් අලවන අවස්ථාද තිබේ.එය වුවද පිරිනමනුයේ අතිමානයෙන් උදම්වීම පිණිස නොව ඒ පුද්ගලයා සිදුකළ මෙහෙවර අගය කිරීම සඳහා පමණකි.කාලයක් තිස්සේ කිසිදු වැඩක් නැති දේශපාලනඥයන් හැඳින්වීම සඳහා පොදුවේ භාවිතාවන විරුදාවලියක් ලෙස මේ දේශබන්ධු හා දේශමාමක වැනි ලේබල් භාවිතාකළ කාලයක් තිබිණ.නමුදු කල්යාමේදී මේවායේ ඇති අගය හීන වීම නිසා හෝ සමාජයේ හාස්‍යයට ලක්වීම නිසා හෝ මෙකල මේ විරුදාවලියට වඩා වෙනස් වූ විරුදාවලි සොයායාමේ උණක් දේශපාලනඥයන්ට වැළඳී තිබේ. මෙකල දේශපාලනයට පිවිසෙන බොහෝ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු උගත්කම නැමැති ඌණතාවයෙන් පෙළීම සාමාන්‍ය දෙයකි.ඒ නිසා ඔවුන්ට කිසිදිනෙක අත්පත් කරගත නොහැකි විශ්වවිද්‍යාල උගතුන්හට පමණක් විභාග සාමාර්ථය හා පර්යේෂණ සුදුසුකම් සම්පූර්ණ කිරීමට අදාලවන ලෙස පිරිනමනු ලබන විවිධ උපාධි හා පශ්චාත් උපාධි නාම ලේබල් ලෙස සිය නමට ඉදිරියෙන් අලවා නැති උගත්කමක් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමේ හීනමානයෙන් පෙලීමේ අවස්ථා දැකගත හැකිය. ඒ අනුව නූතන සමාජයේ ආචාර්ය උපාධි නාම අට සමත් අයද කිසිදු හිරිකිතයකින් තොර භාවිතා කරනු දැක ගත හැකිය. මහාචාර්ය යනු විශ්වවිද්‍යාලීය තනතුරකි. එය උපාධියක් නොවේ. මහාචාර්ය තනතුරට පත්වන අයට ඇත්තේ ආචාර්ය උපාධියක් පමණකි. නූතන සමාජයේ වාලම්පුරී ෆෙන්ෂුයි ආදී මිථ්‍යා දෘෂ්ටික දේ අලෙවි කරමින් සමාජය කූඨ,සටකපට ලෙස රවටන්නෝද මහාචාර්ය ලේබල් අලවාගෙන සුවෙන් හා යහපත් වැජඹෙති. මේ ගැන සමාජය නිසි පරිදි දැනුවත්ද?මේවාට නිසි පියවරක් නොගනුයේ මන්ද? ආදී ප්‍රශ්න කුකුස් උභතෝකෝටික ලෙස සාමාන්‍ය ජන ප්‍රජාවට නැඟීම වැළැක්විය නොහැකිය.

මේ අතර ලේබල් ඇලවීමේ තවත් මගඩි ක්‍රියාවක් තිබේ. එනම් අසන අයට වැරදි අවබෝධයක් ලැබෙන පරිදි ලේබල් භාවිතා කිරීමයි. එනම් අසුවල් පිරිවෙණේ ආචාර්ය,අසුවල් විදුහලේ ආචාර්ය, අසුවල් විෂය භාර ආචාර්ය ආදී වශයෙන් දකින අයතුළ වැරදි අවබෝධයක් ඇතිවන ලෙස තමන්ට නොමැති ආචාර්ය උපාධි නාම ලේබල් භාවිතා කිරීමට නූතන සමාජයේ බොහෝ දෙනෙකු හුරු පුරුදුව සිටීමයි. සමහරු ඒ කිසිදු පිරිවෙන් විදුහල් හෝ විෂය නාමයක් නොමැතිව හුදු විශ්වවිද්‍යාලයකින් පිරිනමන ආචාර්ය උපාධි නාමයක් ලෙස අන්‍යයන් තුළ වැරදි වැටහීමක් ඇතිවන පරිදි සිතාමතාව සිය නමට ඉදිරියෙන් ආචාර්ය ලේබල් ඇලවීමට හුරුව සිටිති.ඉතා දුකසේ උසස්පෙළ සමත්ව ජාතික විශ්වවිද්‍යාලයක අභ්‍යන්තරඋපාධි පාඨමාලාක් හදාරා විශේෂවේදී ඉන් ගෞරව ප්‍රථම පංති සාමර්ථ ලැබ,දර්ශනපති පශ්චාත් පර්යේෂණ නිබන්ධනයකින්ද ලිඛිත හා වාචික පරීක්ෂණ කීපයකින් සමත්ව ඉන් පසුව වසර තුනක කාලසීමාවක් ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධනකින් හා වාචික පරීක්ෂණකින් සමත්ව නෛතික ලෙස සිය නාමය ඉදිරියෙන් ආචාර්ය ලෙස භාවිතා කිරීමේ යෝග්‍යතාව නීත්‍යානූකූල ලෙස ලබා භාවිතා කරන අතර එය ඉන් පරිබාහිරව ව්‍යාජ,කූඨ හා සටකපට ලෙස අවභාවිතා කරන බහුතර පිරිසක්ද ඒ අතර සිටිති.මේ අය අතර ජ්‍යොතිෂවේදීන්,ගුරුවරු,නක්ෂත්‍රකරුවන්,මන්ත්‍රකරුවන්,හොරවෛද්‍යවරුන්,විවිධඅය ආදි විශාල පිරිසක්ද සිටිති.මෙලෙස ආචාර්ය උපාධි ලේබලය ව්‍යාජය අලවාගැනීම නිසා සැබෑවටම නෛතිකව එය හිමිවන අයට සිදුවඇත්තේ විශාල අසාධාරණයකි. ඇතැම් අවස්ථාවලදී මෙසේ භාවිතාකරන හොරු,බොරුකාරයන් සිවිල් සමාජයතුළ විවිධ සටකපටිකම් හරහා ජනප්‍රියත්වයක් ගොඩනඟාගත් අයවීම නිසා සත්‍යයම ආචාර්ය උපාධිධාරීන්හට වඩා සමාජය ඉදිරියේ කැපී පෙනෙන්නේ එය ව්‍යාජව භාවිතාකරන හොරුබව පෙනී යයි.

යම් විෂයක් පිළිබඳව ලියවුනු පතපොත මිලදී ගැනීමේදී එහි කර්‍තෘ එම විෂය පිළිබඳව ප්‍රමාණවත් අධ්‍යනයක් ලැබූවෙක්දැයි දැනගැනීම උපාධි නාම ලේබල්වල ඇති උපයෝගීතාවයකි.එය පුස්තකාල විද්‍යාවට අනුව ඒ විෂය පිළිබඳව සාධිකාරිබව යැයි කියනු ලැබේ.මේ අනුව යම් විෂයක් පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු ලියූ ශාස්ත්‍රීය කෘතියක්,ලියවිල්ලක සාධිකාරි බවක් තිබේ.එවිට ඒ විෂය පිළිබඳ නොදන්නා හා මඳ දැනුමක් ඇති අයෙකු ලියූ දෙයකට වඩා එබඳු සාධිකාරිබවක් ඇති අයෙකු ලියූ කෘතිය ශාස්ත්‍රීයත්වයෙන් උසස් මට්ටමක ඇතිබව විද්වත්හු පිළිගනිති.එබැවින් යම් විෂය පිළිබඳ ප්‍රමාණිකයෙකු තම ප්‍රවීණත්වය සඳහන් කිරීම මඟින් අදාළ කෘතියට සාධිකාරි බවක් ලැබේ.මෙහි ගැටළුව ඇත්තේ සත්‍ය උගතුන් සිය උගත්කම සඳහන් කිරීමේ නොවේ.තමාට නැති උගත්කමක් උපාධි නාමයක් ව්‍යාජ ලෙස සඳහන් කිරීමතුළයි.විශ්වවිද්‍යාලයකින් ලැබූ ආචාර්ය උපාධියක් නැතිව ආචාර්ය යැයි ව්‍යාජව එය සැහැල්ලුවටගෙන අනුන් රැවටීම පිණිස සඳහන් කිරීම සමාජයට විශාල හානිදායක ක්‍රියාවකි.මෙකල එම වරද බොහෝඅය කරනු දැකගත හැකි සුලබ කරුණකි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top