ලංකාවේ පළමු ගැන්ට්‍රි ක්‍රේන් ක්‍රියාකාරිනිය ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන්…

ලංකාවේ පළමු ගැන්ට්‍රි ක්‍රේන් ක්‍රියාකාරිනිය නුදුරු දිනයකදීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුන්වා දෙනු ලබනු ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ‍Colombo Maritime සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පැවැති එම උත්සවයට ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා සහ වෙළඳ ලේකම් නාවික කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජීව වීජයරත්න යන මහත්වරුන්ද සහභාගි වූහ.

‍Colombo Maritime සම්මන්ත්‍රණය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර පැවැත්වෙන්නකි. වරාය සහ නාවික විෂය පිළිබඳ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම සහ රැකියා අවස්ථා ගැන අවබෝධයක් තරුණ තරුණියන්ට ලබා දීම එහි අරමුණ වේ. පාසල් සහ යෞවන සමාජ නියෝජනය කරමින් පන්සියයක පිරිසක් එම වැඩමුළුවට සහභාගි වූහ. විද්වත් දේශන සහ කොළඹ වරාය නැරඹීමේ චාරිකාවක්ද ඊට ඇතුළත් වේ. සම්මන්ත්‍ර‍ණය ආරම්භ කරමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේ පුහුණුවීම් ලබන ගැන්ට්‍රික්‍රේන් ක්‍රියා කරවීමේ කාන්තා කණ්ඩායම ලබන 8වැනිදා විසිර යාමට නියමිත බවයි.

“සාමාන්‍යයෙන් ලංකාවේ ග්‍රැන්ටි දොඹකර හසුරුවන්නේ පිරිමින්. අපි එය වෙනස් කළා. අපි කාන්තාවන්ටත් ඒ පුහුණුව ලබා දුන්නා. ලබන මාර්තු මාසයේ 8 වැනිදා  ඔවුන්  දොඹකර ක්‍රියාකරුවන් විදියට මේ වරාය අධිකාරියේ පත්වීම් ලබනවා. මමත් දැනගෙන සිටියේ නැහැ නාවික ක්ෂේත්‍රයේ රැකියාවල වැටුප් ප්‍ර‍මාණය ගැන. සාමාන්‍ය පුහුණුවීම් ලබන අයෙකුට අඩුම තරමින් රුපියල් ලක්ෂයක, එක් ලක්ෂ පනස්දාහක වැනි මුදලක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම නාවික කැප්ටන්වරයෙක් වුණාම රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගන්න පුළුවන්. අපේ වරාය අධිකාරියෙත් රුපියල් ලක්ෂ 5ක් 6ක් ආදායම් ලබන නියමුවන් සිටිනවා. ඒ මුදල ගෙවන්නේ ඒ සියලුදෙනාගේම කැපවීම, පුහුණු වීම මතයි. මේ නිසා නාවික ක්ෂේත්‍රයේ රැකියා ඉහළ වටිනාමක් තියෙන රැකියා. අපි දන්නවා ලොව ප්‍රධාන නෞකා මාර්ගය යන්නේ මේ අපේ පුංචි රට ළඟින්. ඒකට ප්‍රධානම හේතුව වන්නේ අපේ රටේ වාසනාවන්ත භූගෝලීය පිහිටීම. මේ නිසා නාවික ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් කරුණක්. කොළඹ පාසල් කිහිපයකට පමණක් සීමා වූ ඒ දැනුම ගමේ දරුවන්ට ලබා දීම අපේ ඉලක්කය වෙනවා…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. සම්මන්ත්‍ර‍ණයේ සමාරම්භක උත්සවය ඇමතූ ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටගම මහතා පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හොරකම සහ දූෂණය මේ වන විට සියයට 90කින් පමණ අඩු වි ඇති බවයි.“මම විශ්වාස කරනවා හොරකම, වංචාව,  දූෂණය  90% කින් මෙම වරාය තුළින් ඉවත් කරන්න වර්තමාන අමාත්‍යතුමන් කටයුතු කරලා තියෙනවා. එතුමා හොරකම් කරන්නේ නැහැ, මම හොරකම් කරන්නේ නැහැ. වරාය දේශපාලඥයින්ගේ හොර ගුහාවක් වූ යුගය අපි අවසන් කරලා තියෙනවා. අපේ අමාත්‍යංශයට එන පිරිසගෙන් රුපියල්වලින්, ඩොලර්වලින් සල්ලි ගන්න අපි ලෑස්ති නැහැ. අවශ්‍ය දේ ඉටු කර ඔවුන්ට පහසුකම් සපයන්න අපි මැදිහත් වෙලා කටයුතු කරනවා…” යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යතුමා එහිදී කියා සිටියේය. වැඩිදුර තොරතුරු සඳහා www.portmin.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.