ලංකාවෙන් සාත්තු සේවිකාවන් බඳවා ගන්න ඊශ‍්‍රායලයෙන් ගිවිසුමක්

israel-mou.jpg

ඊශ‍්‍රායල් රජය හා ශ‍්‍රී ලංකාව අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අද දින ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් කරන ලදී.

එමගින් ඊශ‍්‍රායලයේ වැඩිහිටි හා ආබාධිත පුද්ගලයින් රැකබලා ගැනීම හා සාත්තු කිරීම සඳහා ශ‍්‍රී ලාංකික සාත්තු සේවිකාවන් බඳවා ගනී. මෙම අවබෝධතා ගිවිසුම යටතේ පළමුවරට සාත්තු සේවිකාවන් 50ක් බඳවා ගැනීමට නියමිතය.

මෙම සාත්තු සේවිකාවන් සඳහා දැනට රැකියා නියෝජිත ආයතන මගින් බඳවා ගැනීමට අයකරන පිරිවැයට වඩා අඩු බඳවා ගැනීමේ ගාස්තු අයකරන අතර, ඔවුන්ගේ ආරක්‍ෂාව හා රැකවරණය පිළිබඳව ඊශ‍්‍රායල් රජයේ ඝෘජු මැදිහත්වීමක් මෙමගින් සිදුවේ.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ පළමු පියවර ලෙස සාත්තු සේවිකාවන් බඳවා ගැනීමේ නියාමන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන අතර, එය සාර්ථක වීමෙන් පසුව බඳවා ගැනීම් තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම ගිවිසුම තුළින් දෙරට අතර, රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තවදුරටත් වර්ධනය වන අතර, එමගින් ඊශ‍්‍රායලයේ ඇති රැකියා සම්බන්ධව ශ‍්‍රී ලංකාවට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරයි. විශේෂයෙන්ම ඊශ‍්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා වැඩි අවස්ථාවන් මේ හරහා ලබා දේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඊශ‍්‍රායල් රජය නියෝජනය කරමින් ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ ඊශ‍්‍රායල් තානාපති ඩැනියෙල් කාමන් මහතා සහභාගි වූ අතර, ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කාර්යාංශයේ සභාපති ආර්. කේ. ඔබේසේකර මහතා සහභාගි විය.

ඊයේ දිනයේ මෙම නියෝජිතයින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විදේශ රැකියා අමාත්‍යංශයේදී මුණගැසුණහ. මෙහිදී දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තර කරගැනීමටද සාකච්ඡා කරන ලදී.

scroll to top