රාවණා හා කතරගම දෙවිඳු එකම අයෙක් ද?

රාවණා පිළිබඳව ඔබ අසා ඇත. රාවණා ප්‍රාග් ඓතිහාසික යුගය තුළ ශ්‍රී ලංකාවේ විසූ නරපතියෙකු ලෙස ඇතැම්හු හැඳිනගනිති. ඇතැම්හු රාවණා මනුෂ්‍යත්වය ඉක්මවූ දෙවියෙකු ; සුරයෙකු වශයෙන්ද සලකති. ඔහු දෙවියෙකු වශයෙන් සැලකීමට හේතුව ඔහු පිළිබඳව සඳහන් වන පුරාණ විස්තරවල ඔහු විසින් සිදු කරන ලද සාමාන්‍ය මනුෂ්‍යත්වය ඉක්මවූ ක්‍රියාවන්ය. සාමාන්‍ය මනුෂ්‍යත්වයට පොදු වූ දුර්වලතා බැහැර කරන ලද අතිවිශිෂ්ට මනුෂ්‍යයෙකු වශයෙන් ඇතැම්හු රාවණා පිළිගනිති. රාවණා විසින් විදහා දක්වන ලද අධි මානුෂික ක්‍රියා හේතුවෙන් ඇතැම්හු ඔහු මනඃකල්පිත චරිතයක් යැයි උපකල්පනය කිරීමට පවා සැහැසි වෙති. රාවණා අපට මේ අයුරින් ළං වී ඇත්තේ මන්ද? රාවණා අපගේ මුතුන් මිත්තෙකු වශයෙන් පිළිගැනීමට අපට ඇති අයිතිය කුමක්ද? යනා දී ගැටලුවට පිළිතුරු සපයා ගතහොත් රාවණා සම්බන්ධව දැනට ඔබ තුළ පවතින ඇතැම් විශ්වාස හා ආකල්පවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව ඔබට තීරණයකට එළඹිය හැකිවනු ඇත. කෙසේ වුවද රාවණා හා ලංකාපුරය අතර පවතින සබඳතාව අවිච්ඡින්න වනු ඇත.

රාවණා යන නාමය යම් කිසි මූලයක් සහිතව උපන් බව පෙනේ. මෙහිදී‘රා’ යන්නෙන් සූර්යයා සංකේතවත් වන අතර ‘වණ’ යන්නෙන් පරම්පරාව හෝ වංශය යන්න සංකේතවත් වේ. ඒ අනුව රාවණ යන්නෙන් ‘සූර්ය වංශික’ යන අර්ථය දේ. රාවණා රජු හැඳින්වීමට දසිස් රාවණ, රාවන්, රවුලා, ලංකේෂ්වර, රාවනේෂ්වර ආදී නම් ද භාවිත වේ. මහා සෘෂි වෛශ්‍රවණ (වෙසමුණි ) හා ඔහුගේ බිරිඳ වන ‍කෛකේසී නම් ධෛත්‍ය මහේෂිකාවට දාව රාවණ කුමරු උපත ලැබීය. ඔහුගේ සීයා වන පුලස්ත්‍ය මහ බ්‍රහ්මයාට දාව උපන් ප්‍රජාපතී (මනසින් උපන්) පුත්‍රයින් දස දෙනාගෙන් අයෙකි. එමෙන්ම ඔහු මහා සෘෂීන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙසද සැලකේ. ඔහු දේවගණ ගෝත්‍රයට අයත් වන නිසා රාවණා ද ඒ ගණයේ සැලකේ. රාවණාගේ මව වන කෛකේසිගේ පියා වූයේ ධෛත්‍යයන්ගේ රජ වූ සුමාලි (සුමාලය) රජතුමායි. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ දියණිය වන කෛකේසි මනුෂ්‍ය වර්ගයා අතර බලවත්ම පුරුෂයා සමග විවාහ කරවීමටයි. කෛකේසි අතින් බොහෝ රජවරුන් ප්‍රතික්ෂේප විණි. අවසානයේ සෘෂීන් අතර බලවන්තයන් සොයා බැලූ ඇය සිය ස්වාමියා වශයෙන් මහා සෘෂි වෛශ්‍රවන තෝරා ගත්තීය. වෛශ්‍රවණ ඒ වන විටත් කුබේර ගේ පියා විය. ඒ අනුව බැලීමේ දී රාවණ පිය පාර්ශවයෙන් බ්‍රාහ්මණ ගෝත්‍රයට ද මව් පාර්ශවයෙන් ධෛත්‍ය (රාක්ෂස) ගෝත්‍රයට ද නෑකම් කියයි. රාමා විසින්මහා බ්‍රාහ්මණයෙක් ලෙස රාවණා හට ප්‍රශංසා කර ඇති අතර බ්‍රාහ්මණයෙක් වන රාවණා මැරීම සඳහා රාම විසින් අශ්වමේධ යාගය සිදු කළ බව සඳහන් වේ. විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි. එමෙන්ම කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. පසු කලෙක සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ මේ සොහොයුරියයි. ආක්‍රමණශීලී හා උද්ධච්ඡ ගති ප්‍රකට කළත් රාවණා යනු ඉතාමත් දක්ෂ,ප්‍රඥාවන්ත දරුවෙක් බව ඔහුගේ පිය වූ වෛශ්‍රවණ මුනිවරයා හට වැටහිණි. මේ නිසා රාවණාට වෛශ්‍රවණ භාරයේ රැඳී වේදය හා සෙසු ශුද්ධ වූ ග්‍රන්ථයන් ද, කලා ශිල්ප හා විද්‍යා ශාස්ත්‍රයන් ද, ක්ෂිත්‍රියයන් විසින් උගත යුතු, ප්‍රගුණ කළ යුතු වූ සියළුම හරඹයන් ද හැදෑරීමට අවස්ථාව උදාවිය. ඔහු මේ සියල්ල ඉතා හොඳින් උගත්තේය. එමෙන්ම රාවණා යනු ඉතා විශිෂ්ඨ ගණයේ වීණා වාදකයෙක් ද වේ. පසු කාලීනව ඔහුගේ නිළ ඡත්‍රයේ (කොඩියේ) පවා වීණාවක රූපයක් අඩංගු වූ බව කියැවේ.

මේ අතරතුර රාවණාගේ මව වූ කෛකේසි දේවියගේ පියතුමා වූ සුමාලි රජුගේ අභිප්‍රාය වූයේ ධෛත්‍ය වංශිකයන්ගේ ආචාර ධර්මයන් ආරක්ෂා කර ගනිමින් රාවණා තම ගෝත්‍රය තුළ රඳවා තබා ගැනීමටයි. රාමායනය පවසන පරිදි නූතන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර, රාජස්ථාන් සිට මාතුරාහි දකුණින් පිහිටි දිල්ලියත් සමග ගුජරාටයත් ඇතුලත් වන පුරාණ යාදු කලාපය සමගත් රාවණා හට කිට්ටු සබඳතාවයක් තිබී ඇත. එමෙන්මරාමාගේ බාල සොහොයුරා වූ ශැතෘග්ණ විසින් මරණයට පත් කරන ලදුව සිය පාලනයට යටත් කර ගත් ලවණසුර නොහොත් රාක්ෂසයන් සමග දරාවණාගේ ඥාතී සම්බන්ධතාවයක් තිබූ බවට විස්වාශයක් ඇත. එසේම රාමායනය ඇතුළු පුරාණ ග්‍රන්ථයන්ට අනුව යාඩු කලාපයේ සිටි ‍ශ්‍රේෂ්ඨතම රජවරුන්ගෙන් කෙනෙක් වන කර්තවීර්ය අර්ජුන් නම් රජු විසින් නර්මදා ගං ඉවුරේදී ශිව ලිංගය වන්දනාමාන කරමින් හා යාගහෝම පවත්වමින් ලබාගත් බලයක් මගින් රාවණා රජු යටත් කොට තබාගත් බව සඳහන්ය. කෙසේ වුවත් රාමායනයේ සඳහන් වන ලෙසට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ රාවණා යනු මනුෂ්‍යයන් හෝ අසුරයන් අතර අසමසම පුද්ගලයෙක් වූ බවයි.

රාවණා චරිතය මහාභාරත කෘතිය තුළ විස්තර කර තිබේ. මහාභාරත කෘතිය පරිශීලනය නොකළ පුද්ගලයෙකු සොයාගත නොහැකි පමණටම මහා භාරතය අප අතර ජනප්‍රියය. සංස්කෘත සාහිත්‍යය අධ්‍යයනය සඳහා නිර්දිෂ්ට කෘතියක් ලෙසද මහාභාරත කෘතිය හැඳින්විය හැකිය. මහාභාරත කෘතියේදී රාවණා දක්වා ඇත්තේ දුෂ්ටයෙකු වශයෙනි. ඊට හේතුවක් තිබේ.එනම් මහාභාරත කෘතිය අපගේ දේශීය මූලාශ්‍රයක් නොවීමයි. අපගේ ප්‍රතිවිරුද්ධ මූලාශ්‍රයක අප පිළිබඳව සාධාරණ විග්‍රහයක් බලාපොරොත්තු විය නොහැකිය. සංස්කෘත සාහිත්‍ය බ්‍රාහ්මණයන්ගේය. මේ බමුණන් හින්දු භාරතීය සම්ප්‍රදායට අයත්ය. දකුණු ඉන්දීය දමිළ ප්‍රජාව හින්දු සංස්කෘතියට අයත්ය.ඔවුන්ගේ සාහිත්‍යයේ මහාභාරතය ඉතා ජනප්‍රියය. ඒ හින්දු සාහිත්‍යයේ රාවණ දක්වා ඇත්තේ අසම්මත පාප ක්‍රියාවක් කරනු ලැබූවෙකු පරිද්දෙන් වන නිසා ඒ කෘති පරිශීලනය කරන හින්දූන් රාවණා පිළිබඳව දක්වනුයේ අපුලක්වීම අරුමයක් නොවේ. නමුදු ඒ හින්දු කෘතිවල සඳහන් වන රාවණ සැබවින්ම එබඳු පුද්ගලයෙකු නොවේ. අපගේ අර්ථ දැක්වීම රාවණා නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඔබට මඟ පෙන්වීමක් සිදු කිරීම සඳහාය. සැබෑ රාවණා බෝධිසත්වයෙකු වැනි උතුමෙකි. රාවණා අනාගතයේ දී මතු බුදු බව ලැබීම සඳහා පාරමී ධර්ම සම්පූර්ණ කරන උතුමෙකි.

අපට විශාල ඓතිහාසික ගැටලුවක් ඇත.එනම් අපේ දේශීය හෙළ සාහිත්‍ය,පුරා විද්‍යා ස්ථාන පුද්ගලයන් සියලු දේ සඳහා විදේශීය හින්දු මුහුණුවරකින් නව අර්ථකථන ලබාදීමයි.මේ අනුව ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවල ගැබ්ව පවතින ඓතිහාසික සත්‍යය හින්දු, දමිළ ව්‍යාජවූ මුහුණුවරකින් යටපත් කර දමා තිබේ. හෙළ ඉතිහාසයේ වැදගත් සම්භාවනීය පුද්ගලයන් හින්දු දමිළ සංස්කෘතිය විසින් ගිල ගෙන සත්‍යය වල දමා අසත්‍ය ඉස්මතු කර පෙන්වා දී ඇත. මේ ඓතිහාසික සත්‍යයට අනුව රාවණ යනු අන් කවරෙකුවත් නොව කෝණාගමන බුදුරදුන්ගෙන් මතු බුදුබව පිණිස නියත විවරණ ලැබූ ඓතිහාසික හෙළ ශ්‍රේෂ්ඨ වූ නරපතියෙකි. කතරගම දෙවිඳු නමින් දැනටද හින්දු හා බෞද්ධ දෙපිරිස වෙතින් ගරු බුහුමන් ලබන මේ ශ්‍රේෂ්ඨ නරපති රාවණා රජු ඉතිහාසයේ ඉදිරි දිනෙක යළිඳු අප අභිමුව ප්‍රාදුර්භූත වනු ඇත.රාවණා රජුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාකළාපය, උතුම් අධිමානුෂිකත්වය නිසා සාමාන්‍ය ප්‍රජාව විසින් ඔහු දේවත්වයට නඟා තිබේ.

එදා රාවණා ගඟ යනුවෙන් හැඳින්වූයේ වර්තමාන රෝහණ ගංගා හෙවත් මැණික් ගඟ බව විසුද්ධිමග්ග සන්නයෙහි සඳහන්වේ. රාවණගේ සොයුරු විභීෂණගේ දේවාලයක් කතරගම තිබේ.රාවණගේ යානයවූ පුෂ්පික ගුවන්යානය මොණරෙකුගේ හැඩරුව ගත්තකි.දඬුමොණර යයි ඊට නම්වේ.කතරගම දෙවිඳුගේ වාහනයද මොණරෙකි.කඳුකර ප්‍රදේශවල විසීමට ප්‍රියකළ බැවින් රාවණට කඳුකර කුමරු හෙවත් කඳ කුමරු යැයි අපර නාමයක්ද විය.කතරගම දෙවිඳුටද රාවණගේ මෙන් බහු මුහුණු පිහිටා තිබේ.මින් අදහස් කර ඇත්තේ ක්‍රියාකාරීත්වයෙහි දක්ෂතාව සංකේතානුසාරයෙන් දැක්වීමයි.එක් අයෙකු කීපදෙනෙකුගේ ක්‍රියාකාරීවයට සමාන බව සංකේතානුසාරයෙන් දැක්වීම සඳහා පුරාණ කලාශිල්පීහු මෙලෙස බහු මුහුණු සහිතව නිරූපනය කර තිබේ.රාවණා මෙරට වාසය කරනු ලැබුවේ ලංකාපුරය සිය රාජධානිය කරගෙන බව මහා රාමයාණයෙහි හා සාහිත්‍යය කෘතිවල සඳහන්ය.මේ ලංකාපුරය ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර බඳු රාවණා යුගය පිළිබඳව පර්යේෂණවල නිරත බොහෝ විද්වතුන්ගේ අදහසයි.ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශය මේ ලංකාපුරය වී දැයි සොයා බැලීමේ දී පුරා විද්‍යාත්මක සාධක ද පැරණි ශිලා ලේඛන ද උපයෝගී කරගැනීමට සිදු වේ. ගගණ තාක්ෂණය රාවණ යුගයේ දී ඉතා දියුණුව පැවතිනි.ඊට සමගාමීව ඉතා අරපරෙස්සම් සහිතව ලුහු මාර්ග ඔස්සේ මුළු ලක්දිව පුරා ගමන්කළ හැකිවූ කෙටි උමං මාර්ග(උමං මාර්ග) පද්ධතියක් මෙහි තිබිණ.නුවරඑළියේ තලගල කන්දේ සිට කිකිළියමාන කන්ද දක්වා හා එහි සිට වැලිමඩ ඌව පරණගම ස්ත්‍රීපුර කන්ද දක්වාද එහි සිට රාවණ රජුගේ පුරාණ ඖෂධ උයන වූ හග්ගල උද්භිද උද්‍යානය දක්වාද උමං මාර්ග තනා තිබිණ. ලංකාවේ ආදිවාසි යක්‍ෂ ගෝත්‍රික පාලනය කන්ද උඩරට පමණක්‌ නොව දෙවුන්දර තුඩුවේ සිට වත්මන් පේදුරුතුඩුව දක්‌වා පැතිර තිබුණි..කන්ද උඩරට නුවරඑළියේ පිදුරුතලාගල සහ කිකිළියමාන කඳුවල රාවණ ගේ රහස්‌ මාළිගා ගිරිකුළුවලින් වටවී සැඟවී ඇති බැව් ජනශ්‍රැතිවල සඳහන්ය. මාතලේ හරහා උමං ගංගා මාර්ගයක්‌ ඇති බැව් භූ විද්‍යාඥයන්ගේ මතයකි. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංගාවක්‌ ලෙස සිතාගත්තේ රාවණ යුගයේ ජල මාර්ගයක්‌ විය හැකිබව වෛද්‍ය ශ්‍රී වාත්සව ප්‍රකාශ කර ඇත. එපමණක්‌ නොව සීගිරි පර්වතය යටින් ලග්ගල දක්‌වා උමං මාර්ගයක්‌ ඇති බැව් තවත් මතයකි. සීගිරියේ සිට ලග්ගලට රහසිගත උමං මාර්ගයක්‌ පද්ධතියක් ඇත. මේ අනුව රාවණ යුගයේ දී උමං මාර්ග ඉතා ජනප්‍රිය ගමනාගමන ක්‍රමවේදයක් වී තිබුණ බැව් සිතිය හැකිය. සීගිරිය ගොඩනගා ඇත්තේ ද මේ උමං මාර්ග කිහිපයක්‌ එක්‌වන සන්ධිස්‌ථානයක්‌ මතුපිටය.

එදා දෙවානම්පියතිස්ස යුගයේ සාලි බමුණු ග්‍රාමය හෙවත් සලාවත පුරය වර්තමාන හලාවතයි. හලාවතට සමීපව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුඹුක්ගොල්ල ජලාශය, නීග්‍රෝධාරාමා විහාරය, ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය යන ස්ථානවලින් වටවී පවතින කොඩියාන ප්‍රදේශයට අයත් ඉහළ වීරකොඩියාන ගමේ පිහිටි ස්වභාවික රමණීය වන පියසකින් වටවූ හතමැද පාර වීර කොඩියාන ශ්‍රී රාවණ පත්තිනි දේවාලය හා මනකලන ජ්‍යොතිෂ පියස පිහිටා තිබේ. පුරාණයේ කෝණාගමන බුදුන් කළ වැඩ විසූ රාවණ නිරිඳුන් කල සිට පැවතෙන එම නිරිඳුන් හා සමීප සම්බන්ධතා පැවැත්වූ ප්‍රභූ පරපුරකට මේ ශ්‍රී රාවණ පත්තිනි දේවාලයේ කටයුතු බාරවී තිබී ඇත. මේ දේවාල රාජකාරිය සඳහාම කැපවූ පරපුරක් රාවණ යුගයේ සිට සිට තිබේ. අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, කිරිකෑමුත්තා ආදී වශයෙන් හත්මුතු පරපුරකටත් වඩා වසර දහස් ගණනක ඉතා ඈත අතීතයක් මේ පරපුර වෙත බාරවී තිබිණ. මේ පරපුර අද දක්වා අඛණ්ඩව පැවතෙන අතර මේ පරපුරේ නූතන පුරුක ලෙස කටයුතු කරනුයේ ශ්‍රී රාවණ පත්තිනි දේවාලයේ හා මනකලන ජ්‍යොතිෂ පියසෙහි භාරකරු හා ප්‍රධාන කපුමහතා ලෙස කටයුතු කරන තිලකනායක අධිකාරි මුදියන්සෙලාගේ ප්‍රදීප් මධුශංක (0778139546) මැතිතුමාය. කොඩියාන, ඉහළ වීර කොඩියාන නමින් අද හැඳින්වෙන ස්ථානය එකල රාවණගේ ඖෂධ උද්‍යානයක් හා ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක් පැවතී තිබේ. පුරාණයේ මේ ස්ථානයේ දේශීය වෛද්‍යක්‍රම සඳහා අවශ්‍ය අති දුර්ලභ පුරාණ රහස් ඖෂධ පැලෑටිවලින් සුසැදි වනවදුලු තිබූ බව ප්‍රකටය. එසේම ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්වභාවික තුරුලතාවලින් යුතු සුන්දර පරිසරය පද්ධතියකින් ද උමං මාර්ග පද්ධතියකින්ද සමන්විත රාවණ නිරිනිඳුගේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක්ව පැවති බවද පුරා විද්‍යා සාධක තුළින් හෙලිවී ඇත. විශේෂයෙන්ම රාවණ රජුගේ අවශ්‍යතාව පරිදි යුද්ධ මෙහෙයුම් කටයුතු සඳහා ක්ෂණිකව අවශ්‍ය ස්ථාන කරා බල සෙනග රැගෙන යා හැකි පරිදි නියමා තිබූ මාහැඟී සුවිශාල රහස් උමං මාර්ග පද්ධතියේ විස්මිත නිමවුව අදටද රහසක්ව පවතියි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top