රාජිත සේනාරත්න මහතාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනත් දිනලා පෙන්වන්න…

Thalatha-4.jpg

විශ්වාසභංග යෝජනා ගෙන ඒම දැන් නවතම තත්ත්වය බවත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගය හැකිනම් ජයග්‍රහණය කර පෙන්වන ලෙස අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, කල්මුණේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හසන් අලි මහතා විසින් ඊයේ දින (2017.08.28) සංවිධානය කළ කල්මුණේ එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —අවුරුදු 10කට ආසන්න කාලයක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් වැය කළේ රජ පවුල නඩත්තු කරන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේත් ඔහුගේ දරුවන්ටත් සැප පහසුකම් දෙන්න මේ රටේ මිනිස්සු ණය කාරයෝ කළා. අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති කි්‍රයාත්මක කරලා ඒවායින් ගසා කාලා මේ රටේ මිනිස්සු අසරණ කරපු යුගයක් තිබුණා. අපි සතුටින් කියන්න ඕනි ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ රට එකම කොඩියක් යටතට ගෙනැල්ලා, ජාති භේදයක්, ආගම් භේදයක් නැතුව, සියළු දෙනාටම ශ්‍රී ලාංකිකයින් හැටියට ජීවත්වීමේ අයිතිය අපි තහවුරු කරලා තියෙනවා. පහුගිය කාලේ මුස්ලිම් ජනතාවගේ පල්ලිවලට ගහපු එක අමතක වෙලා තියෙනවා. හින්දු කෝවිල් විනාශ කරපු හැටි අමතක වෙලා තියෙනවා. තමන්ගේ ආගම අදහන්න තිබුණ අයිතිය නැති කරපු එක අමතක වෙලා තියෙනවා. රජයෙන් ලබාගන්න පුළුවන් හැම දෙයක්ම පක්ෂ භේදයකින් තොරව මේ ප්‍රදේශවලට ගෙනැල්ලා ආර්ථීක මට්ටම ශක්තිමත් කරන්න පහසුකම් ලබාදෙනකොට, රැකියා අවස්ථා ලබාදෙනකොට, ණය මුදලක් ලබාදෙනකොට අපේ පාක්ෂිකයිනුත් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. කිසිම දෙයක් කරලා නෑ කියන අයට අද අවුරුදු දෙක හමාරක් තිස්සේ අපි කරපු දේවල් අමතක වෙලා තියෙනවා. මොකද අපි ඒ ගැන කතා කරන්නෙත් නැති නිසා. දැන් අපි බෝඩ් ගහන්නේ නෑ. අහිංසක මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරලා ලක්ෂ ගණන් වැය කරලා ප්‍රචාරක කටයුතු කරන්නේ නෑ. පහුගිය කාලේ සංවර්ධන කටයුතු කරනකොට අපි දැක්කේ කොමිස් ගැහීම්, ඇමරිකන් ඩොලර් 150න් කරන්න පුළුවන් කාර්යයට ඇමරිකන් ඩොලර් 550ක් වැය කළා. යහපාලන රජය තුළ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරගෙන නිදහසේ ජීවත්වෙන්න විතරක් නෙවෙයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තහවුරු කරලා තියෙනවා.

අද රටේ නොයෙකුත් විදිහේ උද්ඝෝෂණය කරලා, අහිංසක මිනිස්සු නොයෙකුත් විදිහේ අපහසුතාවයට පත්කරලා මේ රටේ මිනිස්සු රවට්ටන්න අද ඒකාබද්ධ විපක්ෂය කියාගන්න කල්ලියක් කටයුතු කරනවා. ඒ නිසා තමයි 2011දී සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලය පටන් ගන්නකොට කට වහගෙන හිටිය අය අද පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ සයිටම් නතර කරන්න කියලා. මොණරාගල දිස්ති්‍රක්කයට වතුර අරන් යන්න ආරම්භ කරපු උමා ඔය එදා මිලියන 139න් කරන්න ඉන්න කොට මිලියන 535ට වෙනස් කරලා මුදල් හම්බ කරන ව්‍යාපාරයක් බවට පත්කරනකොට කටවහගෙන හිටිය අය අද ඒක නතර කරන්න කියලා උද්ඝෝෂණය කරනවා. කවුරු මොන විදිහට පාරට බැහැලා උද්ඝෝෂණය කළත් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවලා තමයි මේ රට ආපහු භාරදෙන්නේ.˜ ලෙස සඳහන් කළාය.

අමාත්‍යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින්, —දැන් අලූත්ම සෙල්ලම තමයි විශ්වාසභංග යෝජනා. කවුරු හරි ගිහින් ජනාධිපති කොමිෂන් සභාවක් ඉදිරියේ කරන ප්‍රකාශයක් වෙනුවෙන් රජයේ ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙනවා. අවශ්‍ය විදිහට පරීක්ෂණ කරලා ඕනෑම දඩුවමක් විඳින්න සූදානම් කියලා එතුමා ඉල්ලා අස්වෙනවා. දැන් විශ්වාසභංගයක් ගේනවා කියනවා. මේ රටේ මිනිස්සුන් ෆාමසියට ගිහින් ඛෙහෙත් ගන්න එක නතර කරපු රජයේ රෝහල්වලින් ඛෙහෙත් ගන්න පහසුකම් සලසපු වෛද්‍ය රාජිත සේනාරත්න මහත්තයට විරුද්ධව. රාජිත සේනාරත්න මහත්මයා මේ රටේ ඛෙහෙත්වල මිළ 90]න් අඩුකරපු සෞඛ්‍ය ඇමතිවරයා. ඔහු තමයි හෘද රෝගවලට රජයේ රෝහල් සඳහා ශල්‍යකර්ම කරන්නත් ඇස් කාච සඳහා අඩුම මිළක් අය කරන්නත් කටයුතු කළේ. අපිට කියන්න තියෙන්නේ ඔය විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා දිනලා පෙන්වන්න කියලා.

අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරපු වියදම් වලින් 100]ක් අඩු කරලා තියෙනවා. අපේ අගමැතිතුමා දැන් ඒ තනතුරට පත්වෙලා අවුරුදු දෙක හමාරක් වෙනවා. නමුත් එක දවසක් අරලිය ගහ මන්දිරයේ නිදා ගන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික නිවසට යනවා. අපේ නායකයෝ සැප පහසුකම් ගන්නේ නැතුව සරලව ජීවත් වෙමින්, අධිකරණයේ ස්වාධීනත්වය, මාධ්‍ය නිදහස, රාජ්‍ය සේවයේ නිදහස, පොලිස් සේවයේ නිදහස අද ඇති කරලා තියෙනවා. අපි මේ සියළුම දේවල් කරන්නේ සමානාත්මතාව ඇති කරන්න. පක්ෂ භේදයක් ඇති කරන්න නෙවෙයි. දිනන පක්ෂය පරදින පක්ෂයට ගහන එක නතර කරන්න.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.

scroll to top