රථවාහන ක්ෂේත‍්‍රයේ පෙරළියක් ඇතිකළ ටොයෝටා ලංකා ‘ෆියුචර් වර්ල්ඞ්’ ප‍්‍රදර්ශනය

toyota-lanka-future-world.jpg

ටොයෝටා ලංකා සමාගම සංවිධානය කළ ‘ෆියුචර් වර්ල්ඞ්’ ප‍්‍රදර්ශනය මාර්තු මස 29 සහ 30 දෙදින තුළ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකාව තුළ මෝටර් රථවාහන තාක්ෂණය සම්බන්ධ මෙබඳු ආකාරයේ ප‍්‍රදර්ශනයක් පැවැත්වුණු ප‍්‍රථම අවස්ථාව මෙය විය. ප‍්‍රදර්ශනයට සහභාගී වීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීම මගින් ත්‍යාග සහ වට්ටම් ලබාගත හැකි වූ අතර ලියාපදිංචි වීමෙන් තොරව පැමිණෙන අයටද ප‍්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාව හිමි වීම විශේෂත්වයකි.

දෙදිනක් පුරා පැවැත්වුණු මෙම ප‍්‍රදර්ශනයේදී අනාගත තාක්ෂණය (Future technology) සහ හරිත දෙමුහුන් තාක්ෂණය (Green Hybrid technology) වැනි ටොයෝටා සමාගමේ තාක්ෂණික අංගයන් පිළිබඳව මෙන්ම ටොයෝටා රථයක උපරිම ක‍්‍රියාකාරීත්වය ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. ඉදිරියේදී දිවයිනේ තවත් ස්ථාන 6 ක මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමට ටොයෝටා ලංකා සමාගම සැලසුම් කර ඇත.

රථවාහන ක්ෂේත‍්‍රය තුළ කවදත් පියවරක් ඉදිරියෙන් සිටින්නට ටොයෝටා ලංකා සමත් වී තිබේ. අද දවසේ ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන්ට මුලින්ම සිහිපත් වන සන්නාමය බවට ටොයෝටා පත්වී ඇත්තේ ඒ නිසා ය. ටොයෝටා වාහන සඳහා පදනම් වන චින්තනය කොයි ආකාරයේදැයි පෙන්වා දීම සහ ටොයෝටා වාහන ලොව හොඳම වාහන බවට පත්වීමට හේතු පෙන්වා දීම ෆියුචර් වර්ල්ඞ් ප‍්‍රදර්ශනයේ මූලික අරමුණු විය.

නරඹන්නන් ආකර්ෂණය කරගන්නා ආකාරයට සහ ආනාගත ජාත්‍යන්තර මෝටර් රථවාහන තාක්ෂණය නිරූපණය වන ලෙස ෆියුචර් වර්ල්ඞ් ප‍්‍රදර්ශනය සැලසුම් කර තිබිණි. හුදෙක් ටොයෝටා රථයක් පැදවීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව අවධාරණය කරන අතර කෙනෙකු ටොයෝටා රථයක් තෝරාගත යුත්තේ ඇයි යන්න පැහැදිලිව පෙන්වා දීම සමාගමේ අපේක්ෂාව විය. මීට අමතරව මෙම ප‍්‍රදර්ශනයේදී අලූත්ම ටොයෝටා රථ මාදිලි දැකගැනීමට ද නරඹන්නන් හට අවස්ථාව ලැබිණි.

බොහෝ අවස්ථාවලදී රථවාහන මිලදීගන්නා අය විමසා සිටින්නේ ඒවායේ සාමාන්‍ය විශේෂාංග සම්බන්ධයෙන් පමණි. මෝටර් රථයක එන්ජිම සහ ඊට පසුබිම් වී ඇති තාක්ෂණය ආදියෙන් එක්වන වටිනාකම් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු නොවේ. ටොයෝටා ලංකා සමාගමේ ඉලක්කය වී ඇත්තේ මෙම ප‍්‍රවණතාව වෙනස් කිරීම ය. මෝටර් රථයක් සම්බන්ධයෙන් දැනගත යුතු මූලික අංග මොනවාද යන්න පාරිභෝගිකයන්ට පෙන්වා දීමට සමාගම නිරන්තරයෙන් උත්සාහ දරයි. මෙම ප‍්‍රදර්ශනය එම උත්සාහයේ තවත් එක අංගයකි.
ෆියුචර් වර්ල්ඞ් ප‍්‍රදර්ශනයේ පහත අංග ඇතුළත් විය.

පරිණාම විද්‍යාගාරය (Evolution lab) (තාක්ෂණය හා ඉංජිනේරුකරණය ගැන තොරතුරු), සුරක්ෂිතතාව (රියදුරන්ට සහ මගීන්ට වැදගත්වන ආරක්ෂාව සම්බන්ධ අංග හා තාක්ෂණයන්), පරිසරය (ටොයෝටා සමාගමේ හරිත තාක්ෂණය හා එහි අංග), අනාගතය (ටොයෝටා සමාගමේ අනාගත තාක්ෂණයන් සම්බන්ධ තොරතුරු), හයිබි‍්‍රඞ් (ටොයෝටා හයිබි‍්‍රඞ් වාහන සම්බන්ධ තොරතුරු), නියම ටොයෝටා අමතර කොටස් (පාරිභෝගියන්ට අව්‍යාජ ටොයෝටා අමතර කොටස් පරීක්ෂා කර බැලිය හැකි වේ), මෝටර් ඔයිල් (ටොයෝටා අනුමැතිය සහිත නිෂ්පාදන ප‍්‍රදර්ශනය කෙරේ), සහ පිරෙලි (ටොයෝටා වාහන සඳහා භාවිතා වන ටයර් වර්ගය).

මීට අමතරව ටොයෝටා සමාගමේ නියෝජිතයෝ සමාගම පිළිබඳ තොරතුරු මෙන්ම මහාමාර්ගයේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ආදිය ඇතුළත් වීඩියෝ දර්ශන හා චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කළහ. ‘ටොයෝටා ලයිව්’ (Toyota Live) ලෙස නම් කර තිබූ කොටසේදී මෝටර් රථ ධාවනයේදී පරීක්ෂාකාරී වීම, රථවාහන නඩත්තුව හා යහපත් රිය පැදවීමේ පුරුදු සම්බන්ධයෙන් නරඹන්නන් දැනුවත් කරන ලදි.

ප‍්‍රදර්ශනය වෙත පැමිණෙන්නන් හට ආහාරපාන සහ තෑගිද ලබාදීමට කටයුතු යොදා තිබිණි. ප‍්‍රදර්ශනය නොමිලේ පවත්වන ලද නමුත් තෑගි සහ වට්ටම් ආදිය ලබාගැනීමට නම් කෙනෙකු අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වී විද්‍යුත් ආරාධනා පත‍්‍රයක් ගෙන්වාගත යුතු විය. මෙසේ අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන්නන්ට ප‍්‍රදර්ශනයේදී වැඩි වාසි හිමිවීම විශේෂත්වයකි.

Vertical Toyota Logo

scroll to top