රටේ ඉහළම ආදායම් ලබන පුද්ගලයන්ගෙන් බදු ක්‍රියාවලියට ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවේ

2017 සැප්තැම්බර් 07 දින දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා කළ කතාව

ගරු කතා නායකතුමනි,

අද බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ආව. පැයක් විතර ගියා මෙතනට එන්න. පාරවල් හැම එකක් ම පිරිල. මං හිතුව අපේ ඒකබද්ධ කණ්ඩායම මොනව හරි විරෝධතාවක්වත් කරනව ද කියල. බලනකොට වරුසාව විතරයි. කෙසේ වෙතත් අද විශේෂයෙන් ම මේ රටේ ආදායම වැඩි කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවට පත්ව තියෙන මොහොතක ආදායම් බදු සම්බන්ධ නව පනතක් ඉදිරිපත් කිරීම හැකි වීම ගැන මම සතුටු වෙනවා. සභානායකතුමා කියපු විදියට මෙම පනතට මමත්, රාජ්‍ය ඇමැතිතුමත් මේ කටයුත්ත භාරගෙන හිටපු මුදල් ඇමැතිතුමාගේ අදහසුත් එකතු කරගෙන සීරුවෙන් අධ්‍යනය කරල සංශෝධන සියයකට අධික ප්‍රමාණයක් එක්ක තමයි ඉදිරිපත් කරන්නෙ. ඒ වගේ ම ජනතා විමුක්ති පෙරමුණ, ඒකබද්ධ කණ්ඩායමේ නායකතුමන්ල ලබා දීපු යෝජනා සලකල බලල මේ ඓතිහාසික පනත සියලු දෙනාගේ ම සහයෝගය ඇතුව සම්මත කර ගන්න හැකි වෙයි කියල මම ප්‍රර්ථනා කරනවා. අපි ඔක්කොම එකතු වෙලා රටේ ආදායම වැඩි කර අපි සිහින දකින නව දේශයක් ක්‍රියාවට නංවන්නට පුළුවන් වෙයි කියල මම හිතනවා.

දැනට ක්‍රියාත්මක වන ආදායම් බදු පනත ස්ථාපිත වුනේ 2006 වසරේදී යි. මේ දක්වා එයට විවිධ සංශෝධන 8 ක් පමණ පසුගිය වසර 11 තුළ දි ඇතුළත් කිරීම තුළින් එම පනත ඉතා සංකීර්ණ තත්වයකට පත් වෙලා තියෙනවා. රටක ආදායම් බදු නීතිය සංකිර්ණ නම්, එය ඉතා අවාසිදායක මෙන්ම අවාසනාවන්ත තත්වයක්.

  • එමඟින් බදු ගෙවන්නන් අධෛර්යමත් වීම තුළින් රජයට ලැබෙන ආදායම බොහෝ සෙයින් අඩු වෙනවා.
  • ආයෝජකයින් අධෛර්යමත් වීම තුළින් ආර්ථිකයේ ආයෝජන හා රැකියා උත්පාදනය අඩාල වෙනවා.
  • බදු අක්‍රමිකතා සිදු විමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි වෙනවා.
  • රටේ බදු අනුකූලතාවය දරුණු ලෙස පහළ යනවා.
  • සමස්තයක් ලෙස ගත් විට බදු ක්‍රමයේ සාධාරණත්වය දැඩි ලෙස අභියෝගයට ලක් වෙනවා. මක්නිසාද යත් රජයට ඍජු බදුවලින් ලැබෙන ආදායම පහළ යන විට එය ඌණපූර්ණය කිරීමට සිදු වන්නේ වක්‍ර බදු වැඩි කිරීම තුළිනු යි.

පවත්නා සංකීර්ණ ආදායම් බදු රාමුව තුළ අප ඉතා අවාසිදායක සහ අවධානාත්මක තත්වයන් රාශියකට මුහුණ දී තියෙනවා. ශ්‍රි ලංකාව කලාපයේ මෙන්ම ලෝකයේම අවම බදු ලබන රටවල් අතරට පැමිණ තියෙනවා. 1990 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් වූ රාජ්‍ය බදු ආදායම, 2014 වන විට එය අඛණ්ඩවම පහළ ගොස් සියයට 10 මට්ටමට අඩු වුණා. නමුත් පසුගිය අවුරුදු දෙකේ දී එම ආදායම 15% දක්වා වැඩි කිරීමට පුළුවන් වුණා. මේ නව බදු පනත ක්‍රියාත්මක වීමෙන් පසු ඉදිරි වසර දෙක තුළ එය 20% මට්ටමට ගෙනියන්නට පුළුවන් වෙයි කියන විශ්වාසය අපි තුළ තියෙනවා. එම අවම බදු ආදායම තුළ ඍජු බදු ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ක මට්ටමකයි පවතින්නේ. එය කලාපයේ ඍජු බදු ප්‍රමාණයන් සමඟ සැසඳීමේ දී ඉතාමත් පහළ තත්වයක්. නිදසුනක් ලෙස මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල ඍජු බදු ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 සහ 7 මට්ටමකට වඩා පවතිනවා. මෙසේ අප රට තුළ ඍජු බදු ආදායම ඉතා පහළ මට්ටමක පවත්නා නිසා වක්‍ර බදු ප්‍රමාණය ඉතා ඉහළ ගොස් තිබෙනවා. ඒක තමයි ඉතාම භයානක කණගාටුදායකම අවසනාවන්තම තත්ත්වය. මේ රටේ බදු බර ඇත්තට දරන්නෙ වෙන කවුරුත් නෙවෙයි මේ රටේ කිරිපිටි ටිකක් ගන්න සීනි ටිකක් ගන්න සාමාන්‍ය මනුස්සය මිසක් මේ රටේ ආදායම් ලබන අය නෙවෙයි. ඇත්තෙ වශයෙන් ම මේ රටේ ඍජු සහ වක්‍ර බදු අතර අනුපාතය තියෙන්නෙ 80-20 වගේ මට්ටමක. ඇත්ත වශයෙන් ම 18 – 82යි වගේ තමයි තියෙන්නෙ. මේ තත්ත්වය ගත්තට පස්සෙ අපි ඉන්නෙ කලාපයේ අන්තිමට. උදාහරණයක් විදියට මැලේසියාවේ ඍජු ආදායම 72%ක්. ඉන්දියාවේ පවා 50-50 මට්ටමට මේ අනුපාත දෙක ගෙනල්ල තියෙනවා. සිංගප්පූරුවේ 45%ක් විතරයි වක්‍ර බදු ආදායම තියෙන්නෙ. අසල්වැසි බංග්ලාදේශයේ ඍජු බදු ප්‍රමාණය 35%ක් විතර වෙනවා. පකිස්තානයේ 37%ක් විතර වෙනවා.

මේ විදියට ගරු කතානායකතුමනි අපි යථාර්ථය දිහා බලන්න ඕනෙ. 2012 – 13 ආදායම් සහ වියදම් සමීක්ෂණය අනුව බැලුව ම මේ රටේ පොහොසත් ම 20% සමස්ත ආදායමෙන් 52.9%ක් පාලනය කරනවා. අනිත් පැත්තෙන් දුප්පත් ම 20%ට මේ සමස්ත ආදායමෙන් කොච්චර හිමිකමක් තියෙනව ද බැලුවොත් ඔවුන් හිමිකම් කියන්නෙ සමස්ත ආදායමෙන් 4.5%කට විතරයි. හොඳම 1% කවුද කියලත් අපි දන්නවා. ඒවෑ තියෙන ගණන් මිමුන් මේ දවස්වල අපි හොයාගෙන යනවා. ඔබතුමාල මොනව කිවුවත් අපි ඒ පරීක්ෂණ නවත්වන්නෙත් නෑ ඒව ඉක්මණින් හෙළි දරව් කරනවා.

නමුත් වක්‍ර බදු හරහා පෝසත් උදවියත් දුප්පත් උදවියත් තම භාණ්ඩ හා සේවාවන්ට බදු එක හා සමානව ගෙවන්නෙ. කෝටි ගණන් උපයන ටියුෂන් ගුරුවරු, චැනල් සර්විස් කරන දොස්තර මහත්තුරු කොයි තරං සල්ලි එකතු කරනව ද? මං දන්නවා මෙතන නීතීඥවරුන් රැසක් මෙතන ඉන්නවා. ඔවුන් තමන් ගෙවිය යුතු ආදායම් බද්ද ඒ ආකාරයට ම ගෙවනව ද? ඒ ආකාරයට ම ගෙවන්නෙ නැතුව කීයක් හරි ගෙවුවත් ඒකත් ලොකු හයියක්. මේ අයත්, දෛනික වැටුප වැඩ කරන කම්කරුවත්, සමෘද්ධිලාභියත් රටේ දුගී දුප්පත්ම ජනතාවත් කඩේට ගිහින් යම් භාණ්ඩයක් ගන්නව නං ඒ භාණ්ඩයට ගෙවන්නෙ එක හා සමාන මුදලක්. අන්න ඒ නිසා තමයි අපි කියන්නෙ ඍජු ආදායම් බදු වැඩි කරන්නට අපි කටයුතු කරන්න ඕනෙ කියල. දේශප්‍රේමීත්වය ගැන නිතර නිතර කතා කරන රටක, සැබෑ ලෙසම තමන් රටට ආදරේ නං ආදායම් බද්දක් ගෙවන්න ඕනෙ තමන්ට හැකි තරමින්. මමත් මේ රටේ සංවර්ධනයේ හවුල් කාරයෙක් ය කියන දේට ඒ අය සතුටු වෙන්න ඕනෙ, ආඩම්බර වෙන්න ඕනෙ.

Demographics Characteristics and Tax Files of non corporate sector 2012 – 13 සමීක්ෂණය අනුව අපේ රටේ නිවාස තියෙනව මිලියන 5.1ක්. ඒකෙන් පොසත් ම නිවාස සංඛ්‍යාව මිලියන 1.02ක්. නමුත් බදු ගොනු තියෙන්නෙ non corporate sector එකේ මිලියන 1.1යි.

According to the 2012-13 household Income and Expenditure survey The number of income receivers in the richest 20 categories above 1.8 million. However the number of Tax registrants in the non corporate sector 1.2 million as per 2016 statics. Hence only low percentage have registered for tax purpose. Out of that only about 60% actually pay taxes. Therefore, given the facts the richest 20% of households claim for about 53% of households income in the Country. Their contribution to the tax system is rather unsatisfactory.

මෙන්න මේකයි ඇත්ත තත්ත්වෙ. Income tax registration දිහා බලපුවා මත් අපි කිර්ගිස්තානයටත් පහළින් ඉන්නෙ. සිංගප්පූරුව, හොංකොං, කොරියාව, මොන්ගෝලියාව, මැලේසියාව ඉතා ඉහළ තත්ත්වයක තියෙන්නෙ.

අප හැමෝම දන්නවා වක්‍ර බදු යනු බදු ගෙවන්නාගේ ආදායම් මට්ටම කුමක් වුවත් ගෙවන බදු ප්‍රමාණය එක සමානයි. ඒ නිසා පහළ ආදායම් ලාභීන්ගෙන් තම ආදායමට සාපේක්ෂව ඉතා ඉහළ බදු බරක් වක්‍ර බදු මඟින් පැටවෙනවා. එය සාධාරණ බදු ක්‍රමයක ලක්ෂණයක් නොවේ.

එම නිසා මෙම නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීමෙන් පසු රජයට ලැබෙන ආදායම් බදු ඉහළ යාම තුළින්, වක්‍ර බදු මත රඳා පැවතීම අවම මට්ටමකට ගෙන ඒමට හැකි වෙනවා. මුදල් ඇමැතිවරයා හැටියට මගේ බලාපොරොත්තුව ඍජු හා වක්‍ර බදු අතර දැනට පවත්නා අනුපාතය වන 20/80 සිට 40/60 ක මට්ටමක පවත්වාගෙන යෑමයි. තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා. එනම් , ශ්‍රී ලංකාවේ ආදායම් බදු අනුකූලතාවය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා.

එක් අතකින් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වන පුද්ගලයින් හා ව්‍යාපාර ආයතන වල සංඛ්‍යාව පුදුම සහගත ලෙස අවම මට්ටමක පවතිනවා. 2016 දී බදු ගෙවීම සඳහා ලියාපදිංචි වු සමාගම් සංඛ්‍යාව 43,990 ක මට්ටමකයි පවතින්නේ. එමෙන්ම බදු ගෙවිම සඳහා ලියාපදිංචි පුද්ගලයින් සංඛ්‍යාව 119,300 ක් පමණ ඉතා පහළ මට්ටමකයි පවතින්නේ. එය රටේ සමස්ත ව්‍යාපාර අංශය හා ශ්‍රම වෙළඳපොල තත්වයන් සමඟ සැසඳීමේ දී කිසිසේත්ම ප්‍රමාණවත් තත්වයක් නොවේ.

අනෙක් අතට බදු ගෙවීම සඳහා ලියාපදිංචි වූ බදු ලිපිගොනු වලිනුත් නිසි ආකාරයට බදු ගෙවීම් සිදු වනුයේ ඉතා අවම ප්‍රතිශතයක්. බදු ගොනු තියන අයත් විවිධ හේතු නිසා ගෙවන්නෙත් නෑ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව අනුව, 2016 වසරේ බදු ගෙවීම සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනවලින් අදාළ දිනයට බදු ගෙවා ඇත්තේ සියයට 30 ක් පමණි. ඉන් මාසයකට පසුව එම අනුපාතය සියයට 46 ක් දක්වා ඉහළ ගිය ද, එය කිසිසේත් සෑහීමකට පත් විය හැකි තත්වයක් නොවේ. එසේම ආදායම් බදු ගෙවන පුද්ගලයින් ගත් විට 2016 වසරේ අදාළ දිනයට බදු ගෙවිම් කළ ප්‍රමාණය ලියාපදිංචි මුළු සංඛ්‍යාවෙන් සියයට 48 ක් පමණි. ඉන් මාසයකට පසු එය සියයට 59 දක්වා වැඩි වුවත්, එය ද තව බොහෝ දුරට වර්ධනය කර ගත යුතු යි. කෙසේ වුවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරන්තරයෙන් කරන පසුවිපරම් තුළින් මෙම අනුපාතයන් වර්ෂය අවසානයේ දී යම්තාක් දුරකට වර්ධනය කිරීමට සමත් වනවා. නමුත් එය එසේ විය යුතු තත්වයක් නොවේ. බදු ගෙවීම් ප්‍රමාද විම තුළින් රාජ්‍ය ආදායම් වියදම් කළමනාකරණයට විශාල බලපෑමක් සිදු වෙනවා.

මෙවැනි පසු බිමක් තුළයි, අප රජය කල්පනා කළේ මෙසේ ඉතා පරිහානියට පත්වෙමින් පවතින ආදායම් බදු ක්‍රමය නැවත සංශෝධනය කළ යුතු බවට. මෙම යෝජිත පනත තුළින් universal tax file number ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඒ අනුව සෑම වැඩිහිටි පුද්ගලයෙකුටම හා ව්‍යාපාරයකටම ආදායම් බදු අංකයක් ලැබෙනවා. එයින් අදහස් වන්නේ නැහැ සෑම වැඩිහිටි පුද්ගලයෙකුම සහ ව්‍යාපාරයක්ම බදු ගෙවිය යුතු බව. වසර අවසානයේ ආදායමක් නැත්නම් ආදායමක් නැත කියල කිවුව ම එතන කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ. තරුණයන්ට බැංකු ගිනුමක් විවෘත කරන විට ඒ අංකය තිබීම පහසුවක් වෙයි. ඒ වගේ ම එහෙම අංකයක් තියෙන අයට අපි තව තව පහසුකම් දෙන්නම්. කෞතුකාගාරයට යන අයට නොමිලේ ඇතුළු වෙන්න දෙන්නම්. සීගිරියට යනව නං නොමිලේ බලන්න යන්න දෙන්න පුළුවන්. සත්තු වත්ත බලන්න යන්න දෙන්න පුලුවන්. අදාළ බදු කාඩ්පත පෙන්නපුවා ම ඒ අවසරය ගන්න පුලුවන්. අනිත් රටවල වගේ බදු ලිපි ගොනුවක් හිමි පුද්ගලයකුට හිමි ගෞරවය දීල අභිමානවත් පුරවැසියෙක් කරන්නයි අපේ බලාපොරොත්තුව. මෙවැනි සාධනීය යෝජනාවලට යම් පුද්ගලයකු හා ආයතනයක් අකමැතිවනවා නම්, එයින් පෙනී යන්නේ එම පුද්ගලයන් හෝ ආයතන විසින් තම කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු නොකරනවා යන්න නොවේ ද? කාටවත් දේශීය වශයෙන් රට දියුනු කරන්න ආදායම් ලබාගෙන වක්‍ර බදු අඩු කරන එකට කවුද විරුද්ධ. 60-40 මේ අනුපාතය 2020 වෙද්දි අඩු කරන්න පුලුවන් නං සාමාන්‍ය ජනතාවට බලපාන වැට් බද්ද වැනි දේවල් අඩු කරන්න පුලුවන්. අප බලාපොරොත්තු වන්නේ මෙම රට තුළ ව්‍යාපාරික පරිසරය වඩා ක්‍රියාශීලි සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමයි. එයින් නීති විරෝධී ලෙස ආදායම් රැස් කිරීම දුර්වල වෙනවා. එයින් රට තුළ පවත්නා ඍජු බදු ක්ෂේත්‍රයේ පදනම පුළුල් වෙනවා. එමඟින් පොදු මහජනතාවට පැටවෙන වක්‍ර බදු බර අවම වෙනවා.

මම කලින් අදහස් කළ පරිදි දැනට පවතින ආදායම් බදු ක්‍රමය ඉතා සංකීර්ණ විම තුළ බදු පරිපාලනය ඉතා අකාර්යක්ෂම වි තියෙනවා. තව ද එම සංකිර්ණතාවය සමනය කිරීම සඳහා වරින් වර කරනු ලැබූ යම් යම් සංශෝධන තුළින් එහි සංකීර්ණ ස්වභාවය තවදුරටත් වැඩි වීමක් මිස සමනය වීමක් වී නැහැ. එය රට තුළ පවත්නා ආදායම් බදු ක්‍රමය සම්බන්ධයෙන් ඉතා අවිනිශ්චිත තත්වයක් ඇති කර තියෙනවා. එම තත්වය ආයෝජක විශ්වාසය බිඳ වැටීමට බෙහෙවින් බලපානවා. එක එක වෙලාවට එක එක විදියට බදු ගැහුව. ඇමැතිට ඕනෙ විදියට බදු ගැහුවා. පසුගිය අවුරුදු 20දි 30දි අපි එහෙම තත්ත්වයක් දැක්කා. 90 ඉඳල ම අපි දැක්ක ආදායම් මාර්ග අඩු වෙලා ගියා. මේ පනතේ විදියට මට ඇමැතිවරයා විදියටවත් කාටවත් යම් යම් සහන දෙන්න කියල ඉල්ලීම් කරන්න බැහැ.

“බදු ගෙවීමේ පහසුව” සම්බන්ධයෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම තුළ රටවල් 185 කින් අපට හිමිව ඇත්තේ 158 වන ස්ථානය යි. අපට පසු පසින් සිටින්නේ ඇෆ්ගනිස්තානය, ආර්ජන්ටිනාව, උතුරු අප්‍රිකානු රටවල් ආදී කිහිපයක් පමණි. මෙම තත්වය පැහැදිලිවම වෙනස් විය යුතුයි. එවැනි වෙනස් කිරීමක් තුළින් සිදුවන වාසිය රාජ්‍ය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම පමණක් නොව, සාර්ව ආර්ථික දෘෂ්ඨි කෝණයෙන් බැලීමේ දී, එය සමස්ත ආර්ථිකයේ සියළුම අංශ කෙරෙහි ධනාත්මකව බලපාන ඉතා වැදගත් කරුණකි. එවැනි සාධනීය වෙනස් කිරීමක් සිදු කිරීම බාහිර පාර්ශවයක උවමනාවක් මත සිදු කරන්නේ යැයි මතයක් ගොඩ නැගීමට උත්සාහ කිරීම හුදු දේශපාලනමය කාරණයක් මිස යථාර්ථයක් නොවේ. සමහරු මේක අයි එම් එෆ් කිවුවට එහෙම නෙවෙයි. මේක අපි කතා කරල, අපේ අවශ්‍යතා බලල හැදපු දේශීය සැලැස්මක්. එහෙම වුණත් අපි විදේශ රටවල් හොඳ දේවල් බලල තමයි මේ හදල තියෙන්නෙ. අයි එම් එෆ් එක වුණත් හොඳ දෙයක් කියල තියෙනව නම් ඒක කිරීමේ වරදක් මම දකින්නෙ නැහැ.

තවද මම ඍජුවම ප්‍රකාශ කරන්න කැමතියි මෙම යෝජිත පනත අප රටේ යහපත සඳහා දේශීය ආර්ථික වටපිටාව මනාව අධ්‍යයනය කර හා අපට ගැලපෙන ලෙස ජාත්‍යන්තර ප්‍රසස්ථ පරිචයන් (best practices) සකස් කර ගනිමින් ඉදිරිපත් කළ කෙටුම්පතක් බව. මෙවැනි සාර්ව ආර්ථිකමය වශයෙන් වැදගත් කරුණක දී, මෙම යෝජිත කෙටුම්පතෙහි අඩංගු යම් යම් කුඩා කුඩා කොටස් උපුටා ගනිමින් දේශපාලනමය වශයෙන් කෙටිකාලිනව ජනප්‍රිය වීමට ඇතමුන් දරන උත්සාහයන් ද ඉතා පටු ආකල්පමය තත්වයකි. එයින් සිදු වනුයේ ජනතාවට අවැඩක් මිස යහපතක් නොවේ. මම කැමතියි මෙම නව යෝජිත දේශීය ආදායම් පනතේ ඇති සුවිශේෂ කරුණු කිහිපයක් පෙන්වා දීමට. අප මෙම පනතින් මූලිකවම අපේක්ෂා කරන්නේ ශ්‍රි ලංකාවේ ආදායම් බදු නීතිය, බදු පැනවීමේ මූලික සිද්ධාන්තවලට අනුකූලව සිදු කිරීමයි.

Four Maxims of Taxation: පළමුව, බදු බැඳියාව එය ගෙවීමට ඇති හැකියාවට අනුරූපී විය යුතුයි (burden proportionate to the ability to pay); දෙවනුව, බදු ගෙවන්නන්ට තමන් ගෙවන බද්ද පිළිබඳව නිශ්චිතතාවක් ඇති විය යුතුයි (certainty); තෙවනුව, බදු ගෙවන්නන් සඳහා තම බදු ගෙවීම පහසුවෙන් සිදු කළ හැකි විය යුතුයි (convenience); සිව්වනුව, බදු එකතු කිරීම හා කළමනාකරණය කාර්යක්ෂම විය යුතුයි (efficiency of collection). අපි කොයි තරම් හොඳ පනතක් ඉදිරිපත් කළත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊට සුදුසු පරිදි වෙනස් වෙලා නැත්තම් ඒ අපේක්ෂාවන් ඇති කර ගන්න බැරි වෙනවා. ඉදිරියේ දී අපි මේ පනත හා සමගාමීව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළත් සාකච්ඡා කරල වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙම මූලික සංකල්ප මත පිහිටා නව ආදායම් බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී අපගේ මූලික ප්‍රමුඛතාවය වනුයේ,

  • රටේ සුළු හා මධ්‍යම පාංතික සමාජ ස්ථරයන් සඳහා පහසුකම් සැලසීම.
  • බදු බර දැරියහැකි අංශයන්ගෙන් සාධාරණ වූ බද්දක් අය කිරීම.
  • අවසානයේ දී රටේ මූලික ගැටලුවක් වූ ඉතා අවධානම් ලෙස පහළ යමින් පැවතුණ රාජ්‍ය බදු ආදායම යළි ස්ථාවර කිරීමයි.

මෙම යෝජිත පනතේ පවතින මූලික සාධනීය තත්වයක් වන්නේ එමඟින් පහළ සහ මධ්‍යම පාංතික ආදායම් ලබන පුරවැසියන්ට ආදායම් බදු බර පටවන පනතක් නොවීමයි. මේක ඉතාමත්ම සාධාරණ පනතක්. මං හිතන්නෙ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කියන්න පුළුවන්. මෙමඟින් වැටුප් ලබන පුද්ගලයකුගේ මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා අඩු හැමෝම ආදායම් බද්දෙන් නිදහස් වෙනවා.

ශ්‍රී ලංකාවේ ආදායම් බෙදීයාමේ ස්වභාවය සැලකූ විට, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ දත්තවලට අනුව රටෙහි සමස්ථ පවුල් සංඛ්‍යාවෙන් පොහොසත්ම සියයට 20 සැලකූ විට සමස්ත ආදායමෙන් සියයට 53 කට හිමිකම් කියනවා. ඉතිරි සියයට 80 ක් වන පහළ සහ මධ්‍යම ආදායම්ලාභීන් සැලකූ විට, ඔවුන් රටේ සමස්ත ආදායමෙන් සියයට 47 කට පමණයි හිමිකම් දරන්නෙ. මෙමගින් පෙනී යන්නේ මෙම යෝජිත දේශීය ආදායම් පනත තුළින් පහළ හා මධ්‍යම ආදායම් ලබන සමාජ ස්ථරයන් සඳහා බදු ගෙවීමට යටත් වීමේ සම්භාවිතාවය අවම කර ඇති බවයි. තවද විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දිමට නියමිත පොළී ආදායම සම්බන්ධ සහනයයි. එහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ මාසික පොලී ආදායම රු.125,000 දක්වා බදු නිදහසක් ලබා දීමයි. මෙවැනි පොලී ආදායමක් ලබා ගත හැකි වන්නේ රුපියල් ලක්ෂ 150 ක වත් තැන්පතු සහිත පුද්ගලයකුට යි. තවද යෝජිත පනත තුළින් සුළු හා මධ්‍යම පරිමාණයේ ආයතන සම්බන්ධව මෙන්ම අනෙකුත් විශේෂයෙන් හඳුනාගත් ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් විශාල බදු සහන ලබා දී තියෙනවා.

නිදසුනක් ලෙස, ව්‍යාපාර ආයතන සඳහා පොදුවේ අදාළ වන සියයට 28 ක යෝජිත ආදායම් බද්ද වෙනුවට, සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරයන්ට හා විවිධ විශේෂ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාර ආයතන සඳහා එම බද්ද සියයට 50 කින් අඩු කොට, සියයට 14 ක බද්දක් යෝජනා කරල තියෙනවා. එම අදාළ ක්ෂේත්‍රයන් වනුයේ භාණ්ඩ හා සේවා අපනයන, තොරතුරු තාක්ෂණය, අධ්‍යාපන, සංචාරක, කෘෂිකර්මාන්ත වැනි අංශයි.

මෙම යෝජිත පනතේ තවත් මූලික සාධනීය තත්වයක් වන්නේ ඉහළ ආදායම්ලාභීන් සඳහා අදාළ වන පරිදි බදු පදනම පුළුල් කොට තිබීමයි. ඒ අනුව දැනට පවත්නා බදු නිදහස් කිරීම් බොහෝ අවස්ථාවන්හි සීමා කර තියෙනවා. එවැනි වරින් වර හඳුන්වා දුන් බදු නිදහස් කිරීම් නිසා බදු ගණනය කිරීම හා බදු පරිපාලනය ක්‍රියාදාමය බෙහෙවින් අකාර්යක්ෂම වුණා. එවැනි අකාර්යක්ෂමතා යෝජිත පනතින් මඟ හැරෙනවා. තවද ප්‍රාග්ධන ලාභ බද්දට යටත් කිරීම ද හඳුන්වා දී තිබෙනවා. එමගින් ඉහළ ආදායම් ලාභීන්ගෙන් වැඩි බදු ප්‍රමාණයක් එක්රැස් කොට, සමස්ත ආර්ථිකයට ප්‍රතිඵල ගෙන දෙන ප්‍රාග්ධන ක්ෂේත්‍රයන්ගේ ආයෝජන වැඩි කිරීමට හැකි වෙනවා. නූතන ලෝකයේ බදු සංකල්ප ඉතා වේගයෙන් නිරන්තර වෙනස්වීම් වලට ලක්වෙමින් තියෙනවා. නූතන ව්‍යාපාරික ලෝකයක් සමඟ ගණුදෙනු කිරීමේදී බදු අංශයේ ඇතිවන වෙනස්කම් සම්බන්ධයෙන් අප නිරන්තර අවධානයකින් සිටිය යුතු වෙනවා. නොඑසේ නම් විවිධ බදු අක්‍රමිකතා සහ පැහැර හැරීම් සිදුවීමේ ප්‍රවණතාවන් ඇති වීමට බොහෝ ඉඩකඩ තියෙනවා.

  • මෙම යෝජිත ආදායම් පනතේ තවත් මූලික සාධනීය තත්වයක් වන්නේ නවීන බදු සංකල්ප එතුළින් හඳුන්වා දීමයි. එමගින් ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන බදු ක්‍රමයන් සමඟ සමපාත වීමක් සිදු වෙනවා. එමෙන්ම, බදු ක්‍රමයේ විනිවිදභාවය ඉහළ යෑමක් සිදුවෙනවා.
  •  තවද යෝජිත පනත මගින් බදු මඟ හැරීම් වලක්වාලීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දීමක් සිදුවෙනවා. දැනට පවතින ක්‍රමවේදය තුළ බදු පැහැර හරින්නකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී බොහෝ කාලයක් ගතවන අතර, එම කාලය තුළ රජයට බදු ආදායම අහිමි වී යනවා.
  •  බදු අනුකූලතාවය වර්ධනය කිරීමට නම් බදු පැහැර හරින්නන් සඳහා නීතිය අවශ්‍ය ආකාරයෙන් සහ කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. නොඑසේනම් එය අනෙකුත් බදු ගෙවන්නන් සඳහා සිදුවන අසාධාරණයක් පමණක් නොව රජයේ ආදායම් වියදම් කලමනාකරණයට ද එමඟින් බොහෝ ලෙස බාධා පැමිණෙනවා.
  • බදු පැහැරහරින්නන් අධෛර්යමත් කිරීම සඳහා අප යල් පැන ගිය දඩ මුදල් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම දිගු කලක් ගත වන ආදායම් බදු සම්බන්ධව නඩු තත්වයන් කෙටිකාලයක් තුළ විසඳීමට අවශ්‍ය ප්‍රතිපාදන හඳුන්වා තිබෙනවා.
  •  මෙම දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීමෙන් අප ආර්ථිකයට මුහුණ දීමට ඇති අභියෝග බොහෝ දුරට සමනය වීමක් සිදු වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. එයින් මූලික වශයෙන්ම,
    – ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිසි අයුරින් සැපයීම
    – රජය විසින් ක්‍රියාත්මක කරන සහනාධාර වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට හැකි විම තුළින් ආදායම් බෙදී යාමේ අසමතුලිතතාවය හැකිතාක් අවම කිරීම
    – රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය සහ සමස්තයක් වශයෙන් සාර්ව ආර්ථික ස්ථාවරතාවය තවදුරටත් වර්ධනය කිරීම
    – පුද්ගල චර්යාමය වෙනස්කම් සඳහා යහපත් ආකාරයෙන් බලපෑම් කිරීම (නිදසුනක් ලෙස දුම්කොළ, මත්පැන්, සූදු ක්‍රීඩාවන් සඳහා සියයට 40 ක අධික බදු ක්‍රියාත්මක කිරීම)
    – අවසාන වශයෙන් ආර්ථික වර්ධනය සහ ආර්ථික තරඟකාරීත්වය වර්ධනය කිරීම (නිදසුනක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා හඳුන්වා දෙන විශේෂ බදු සහන)

මෙම යෝජිත ආදායම් පනත ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය තහවුරු කිරීම, සමාජ ආර්ථික සුරක්ෂාව තහවුරු කිරීම පුලුවන් වෙයි කියල හිතනවා.
Estimated Additional revenue කලින් කියපු දේවල්වලින් රුපියල් බිලියන 45ක් උපයා ගන්න. ඒ වගේ ම හැකි ඉක්මණින් අපි මේ ආදායම් ගෙනෙන ප්‍රධාන ආයතන තුන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව තුළත් වෙනස්කම් රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් රේගු පනතක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනව මොකද රේගු පනත හඳුන්වා දුන්නෙ 1860 දී. තාමත් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නෙ. මේව අලුත් කිරීම තුළින් අපට විශාල වශයෙන් ආදායම වැඩි කර ගන්න පුලුවන් වෙනවා.

මේ පනත කොටස් දෙකකින් ක්‍රියාත්මක වෙනවා. ඔක්තෝබර් 30 වැනිදා Pay as you earn බදු ක්‍රියාත්මක වෙනවා. සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වෙන්නෙ 2018 අප්‍රේල් මස 01 සිටයි.

scroll to top