රටට පිළිලයක් වී ඇති වකුගඩු රෝගය අපේම ක්‍රමයට පිටු දකිමු

මෑත ඉතිහාසයේ යම් යම් බලපෑම් හේතුවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ අප විසින් භාවිතා කල අපගේ සාම්ප්‍රදායික ආහාර නුසුදුසුයි යන්න ප්‍රචාරය කොට ජනතාව විපත්තියට පමුණුවමින් සමහරුන් විශාල ලාභයක් ලැබූවේය. මේ අතර පොල් තෙල් ශරීරයට අහිතකරය් යැයි පවසා ෆාම් තෙල් ජනතාවට හුරු කලේය. වාසනාවකට අද වන විට ජාත්‍යන්තර ආයතන සියල්ලක්ම වාගේ පිරිසිදු පොල් තෙල් භාවිතය ෆාම් තෙල් භාවිතය මෙන් කීප ගුණයකින් ජනතාවට හිතකර බව හඳුනාගෙන ඇත.

එමෙන්ම නාගරික පොෂ් යය් කියාගන්න ජනතාව භාවිතයෙන් බැහැර කල අපේ තුනපහ පොල්කටුව පිලිකා වලකන ප්‍රධාන සංඝටක අඩංගු නිධන් මංජුසාවන් බව උගතුන් රැසක්ම පිලිගෙන ඇත. ඒ අනුව අපගේ ග්‍රාමීය ජීවන රටාව ඉවුම් පිහුම් පිළිවෙත් මනා සෞඛ්‍යයන් කෙරෙහි බලපාන අගනා ක්‍රමවේද බව ලොව ප්‍රකට සෞඛ්‍ය හා ප්‍රමිති ආයතන මේ වන විටත් ඒක මතිකවම පිලිගෙන ඇත.

මේ හේතුව නිසාම යටන් විජිත මානසිකත්වයෙන් හිස උදුම්මවා ගත් නාගරික පැලැන්තිය දැන් දැන් ග්‍රාමීය ආහාර කෙරෙහි නැඹුරු වෙන බවක් පෙනේ. ඔවුන් දැන් දැන් ආහාර ගැනීමේදී ගමේ කඩේ, පොල්අතු බත් කඩේ, වැනි ස්තාන කෙරහි නැබුරුවක් පෙන්නුම් කරය්.
මෑතක් වනතුරුම නව අවුරුදු උදාවත් සමඟම ලාංකික ගැමි ජනතාව ගණුදෙනු කිරීමට පුරුදු වී සිටියේ ඔවුන ගේ සමීපතම, ජීවයේ උල්පත බදු වූ ලිඳ සමඟයි. මෙහිදීද ඔවුන් අනුගමනය කලේ පවිත්‍රතාවයේ සංකේතයක් ලෙස සැලකෙන දැව අඟුරු, යකඩ ඇණ වැනි දෑ සමගින් ලිඳ සමග ගණුදෙනු කිරීමය්.

වියලි කාල තුලදී ලිං සිඳී බොර ජලය භාවිතා කිරීමට සිදු වූ විට ජල පිරිපහදුව සඳහා ඔවුන් ඔවුන්ගේම ක්‍රම අනුගමනය කලේය. මෙහිදී දැව අගුරු, බොරළු, රළු වැලි, සිහින් වැලි වැනි ඔවුනගේ ප්‍රදේශයෙන්ම සපයා ගත හැකි ද්‍රව්‍ය ඔවුනට පිහිට විය.


සරල ජල පෙරනයක්

අද පවා ඕනෑම පුද්ගලයෙකු නැවුම් කලයක බහාලූ ජලය පානය කිරීමට කිසිවිටකත් මැලි නොවේ. එම ජලයෙහි රැදුන මිහිර වෙන කිසිදු ක්‍රමයකින් වත් ලබා ගත නොහැක. නැවුම් රසය පහ වෙනවාත් සමගම ගැමියන් වී පොතු හෝ වෙනයම් ද්‍රව්‍ය කලයේ බහා ලිප මත තබා රත්කර නැවතත් නැවුම් රසය කලය වෙතට කැන්දන් ආවේය. මෙවැනි ක්‍රම කාලයේ වැලි තලාවට යට නොවී තවමත් ගැමියන් අතර සුරැකී පැවතීම සැබවින්ම අපගේ වාසනාවකි.


පිපාසයට දිය දෝතක්; නුතන පින්තාලියක්

මීට කලකට ඉහත රතු පස් වල ජලය සම්බන්ධ විශාල ගැටළුවක් පැන නැගුණි. එහිදීද කරන ලද පරීක්ෂණ වලින් තහවරු වූයේ කර්මාන්ත ශාලාවකින් ඉවත ලු රසායනික ද්‍රව්‍යක් සමගින්ම ගමේ නම මෙම ගැටළුව කෙරෙහි කෙලින්ම බලපැ බවයි (රතු-පස්-වල). මෙම ප්‍රදේශය ස්භාවයෙන්ම නිර්මාණය වී ඇත්තේ රතු පැහැති පස් වලිනි. රතු පැහැයට හේතු වී ඇත්තේ පසේ අධික යකඩ සාන්ද්‍රනයක් පැවතීමයි. ජලය මෙම පස් ස්ථර හරහා ගමන් කිරීමේදී නිරතුරුවම යකඩ, සෑහෙන ප්‍රමාණයක් ජලයට මුසුවන බැවින් මෙම ප්‍රද්ශයේ ජලය ස්වභාවයෙන්ම කටෝර රසයක් දිවට ගෙනෙය්. මෙම සිද්දියම හොදට හෝ නරකට යම් යම් පාෂාණ හෝ ඛනිජ වලන් ජලය කෙරහි දැක්විය හැකි බලපෑම කා හටත් මනාව පැහැදිලි කර දෙය්.

එමෙන්ම රටට පිළිලයක් වී ඇති හදුනා නොගත් වකුගඩු රෝගය කෙරහි බලපාන ප්‍රධාන සංසිද්දිය ලෙස විදවතුන් විසින් හදුන්වනුයේ එම ප්‍රදේශ වල ජලයේ අධි සාන්ද්‍ර ලෙස පවතින බැර ලෝහ ප්‍රමානයයි. එබැවින් සිදු විය යුත්තේ රතුපස්වල වැනි ගැටළු ආදර්ශයට ගෙන යම් යම් පාෂාණ වල ජලය කෙරෙහි දැක්විය හැකි බලපෑම පර්යේෂනයන්ට ලක් කර හොද ගතිගුණ හදුනාගෙන ඒවා වකුගඩු රෝගයෙන් පිඩාවට පත් වී ඇති දෙනෝ දාහක් අසරනයින් වෙනුවෙන් යොදා ගැනීමය්.

ඈත අතීතයේදී එනම් අනුරාධපුර යුගයේදී පවා ගැමියන් තෝරා ගත් පාෂාණ බදුන් තුලින් ජලය පෙරා පානය කොට ඇත. ඒ බවට සාක්ෂි ඕනෑ තරම් අපගේම කෞතුකාගාර තුලින් හමු වේ. අවාසනාවකට අද වෙන තුරුත් බැර ලෝහ අධි මාත්‍රාවක් සහිත ජලය මෙවැනි පෙරන තුලින් පෙරා එම ජලයේ බැර ලෝහ මට්ටම ගණනය කොට නොමැත.


අනුරාධපුර යුගයේදී ගලින් කල ජල පෙරනයක්

මේ අනුව බලන විට කෘෂි රසායනික සහ ආනයනික පොහොර වර්ග වලින් පස කෙරෙහි දක්වන බලපෑම කොතරම් ද යන්න තවමත් හරියාකාරව නිශ්චය කොට ඇත. එහෙත් මේවායින් වන සුගතියක් නම් නොමැත. මේවායින් වන අහිතකර බලපෑම විද්‍යාමාන වනුයේ කාලයත් සමගය. මේවා ගොවියා පමණක් නොව එම කෘෂී ද්‍රව්‍ය පරිබෝජනය කරන පාරිබෝගිකයාගේ දිවියත් කෙටි කරය්. එහියින් ලාංකික රජය ග්ලයිෆෝසේට් (glyphosate) වැනි ඉතාමත් විෂකාරක ලෝකයේ බොහෝ රටවල තහනම් කොට ඇති කෘෂිරසායනය තහනම් කිරීමට ගත් තීරණය නම් ඉතාමත් කාලෝචිත තීරණයකි.

මෙම හඳුනානොගත් වකුගඩු රෝගය සම්බන්ධව රජය මේ වන විටත් ගමක් ගමක් පාසා සෘද ජලය (Reverse Osmosis) පෙරණ ලබාදීම මෙම ප්‍රශ්ණයට ක්ෂණික විසදුමක් වන නමුත් එය මෙම ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් නොවන බව විද්වතුන්ගේ මතයය්. ඒ මන්ද යත් සෘද ජලය හෙවත් ‘RO’ ජලය යම් භාජනයකට එක් කල විට එම භාජනයේ අයන උකහා ගැනීමට තැත් කරයි. මෙම ජලයේ අයන මට්ටම සාමාන්‍ය ජලයට වඩා සැලකිය යුතු තරම් පහත් මට්ටමක පවතී. මෙම ජලය යොදා ආහාර පිසිමේදී උෂ්ණත්වය හේතුවෙන් අයන උකහා ගැනීමේ හැකියාව වඩාත් තීව්‍ර වේ. ආහාර පිසගන්නේ ලෝහ බඳුනක නම් ඉදිරියේදී මෙම ගැමියන් හට නැති ලෙඩ ඇතිවිය හැකි බව විද්වතුන් පවසය්.


සෘද ජලය නිපදවන යන්ත්‍රාගාරයක් (Reverse Osmosis Plant)

මෙවැනි ගැටළු වලදී අද ලෝකයේ බොහෝ රටවල් පාරම්පරික ක්‍රම තුලින් පිලිතුරු සෙවීමට උත්සුක වී ඇත. ඊට හේතුව ඒ තුලින් ඇතිවන ද්විතියික ප්‍රතිඵල බොහෝ දුරට අඩු මට්ටමක පැවතීමය්.
උදාහරණයක් ලෙස මොංගෝලියාවේ වෙසෙන එඩේර ජනතාව බොහෝ දුරට පරිසරයට අනුගතව ජලය වෙනුවට කිරි බීමට පුරුදුව ඇත. මෙහිදී ඔවුන් කිරි නටවා නොබොන අතර දොවා ගත් කිරි බීමට ප්‍රථම, කිරි අඩංගු භාජණයට රත් වූ
තෝරමල්ලී පාෂාණ ස්ඵටිකයන් දමා විනාඩි කිහිපයක් තබයි. මෙහිදී ඔවුන්ගේ විශ්වාසය වනුයේ කිරිවල අඩංගු ශරිරයට අහිතකර ද්‍රව්‍යය මෙම තෝරමල්ලී ස්ඵටිකය විසින් අවශෝෂණය කරනු ලබන බවයි. මොවුනට කිරි ආසාත්මිකතාවයක් හෝ කිරි ආශ්‍රිතව හැදෙන උදරාබාධ කිසිවක් මේ වන තුරුත් කරදරයක් වී නොමැත. ඔවුන් කොතරම් පරිසරයට අනුගත වීද යත් බඩගාන දරුවන් කකුල් දෙකෙන් ඇවිදීමටත් පෙර අශ්වයන් පිට යාමට හැකිබව ලෝකයට සනාථ කර ඇත.


මොංගෝලියානු ජාතිකයන්ගේ කිරි බීම

මෙහි විද්‍යාත්මක පසුබිම ගෙන බැලුවිට මෙම තෝරමල්ලී ස්ඵටික වල ස්භාවයෙන්ම තාපවිද්‍යුතය නම් ගුණය ඇත එනම් තරමක් රත්කල විට කුඩා විද්‍යුතයක් උපදී (pyroelectricity). මෙම ගුණය හේතුවෙන් මෙම ස්පටිකයට කිරි වල බැර ලෝහ පැවතියේ නම් අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම මෙම ස්ඵටික දුබල අධෝරක්ත කිරණ නිරතුරුවම විමෝචනය කරයි (Far infrared). මෙලෙස එම ස්ඵටික විමෝචනය කරන අධෝරක්ත කිරණ, කිරිවල ස්වභාවයෙන්ම පවතින යම් යම් වැනි බැක්ටීරියා වර්ග විනාශ කර දමයි. මෙම විද්‍යාත්මක පසුබිමම ඔවුනට කිරි ආශ්‍රිතව කිසිඳු රෝගාබාධයකට ලක්නොවීම කොරෙහි බලපාන්නට ඇති බව විද්වත් මතයය්.

ඉහත ආකාරයේ පිළිම් ලංකාවේ දැනට පිළිලයක් වී ඇති ජනතාවක් ඉමහත් අපහසුතාවයට ලක්කර ඇති හඳුනා නොගත් වකුගඩු රෝගය කෙරෙහි බලපාන එම ප්‍රදේශ වල ජලය පිරිපහදුව සදහා කෙලින්ම යොදා ගත හැක.

අතීත වාර්තා රැගෙන බැලු විට ලාංකීය ජනතාව ජල පිරිපහදුව සදහා කණිජමය ද්‍රව්‍ය එමෙන්ම අර්ධ වටිනාකම් සහිත මැණික් එනම් පඩියන් (Topaz), ගෝමේද (Hessonite Garnet), තෝරමල්ලී (Tourmaline), වැනි කණිජ වර්ග කුඩුකර යොදාගත් බව පැහැදිලි වේ. ඉහත කණිජ අතරින් සමහරක් තාපවිද්‍යුතයද (Pyroelectricity) සමහරක් පීඩ විද්‍යුතයද (Piezoelectricity) පෙන්නුම් කරන අතර ජලයේ පවතින යම් යම් ද්‍රව්‍යය අවශෝෂණය කරගැනීමේ මනා හැකියාවක් ඇත.

මේ ආකාරයේ විද්‍යාත්මක සංසිද්ධි වලට අනුකූලතා දක්වන ඛණිජ වර්ග රාශියක් ලක්පොලොවෙන් හමුවේ. මේවා ඉතා පහසුවෙන් මෙවැනි ප්‍රදේශ වල ජලයේ පවතින්නා යැයි සැක කරන බැර ලෝහ ග්‍රහණය කර ගැනීම සදහා යොදා ගත හැක. මෙම තාක්ෂණය ඉතා සරල තාක්ෂණයක් වන අතර කිසිවිටකත් රොකට් තාක්ෂණයක් නොවේ. එහෙත් ලැබෙන ප්‍රතිඵලය රොකට්ටුවකටත් වඩා වේගවත් වේ.

අපේ රටට පිළිලයක් වී ඇති මේ වකුගඩු රෝගය නිසා අද විශාල ජනතාවක් අසරණ වී ඇත. මෙහි ඇති භායානකම සන්සිද්දිය වනුයේ මෙම රෝගයට මුහුණ පා ඇත්තන්ගෙන් කොටසක් මෙරට සංවර්ධනයට උර දිය හැකි ශක්තිමත් තරුණ ජීවිත වීමය්. රෝගය වැළදුන විට සුමානයකට තෙවරක්වත් රෝහල් ගත වී කාන්දු පෙරීමකට (dialysis) ලක් විය යුතය. අද මේ සදහා රජයට විශාල වියදමක් දැරීමට සිදු වී ඇත.


කාන්දු පෙරීමකට (dialysis) ලක් වන තරුණයෙක්

මේ සම්බන්ධව මුලික පර්යේෂණ, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයෙන් මේ වන විටත් අත්පොත් තබා ඇති අතර මේ පර්යේෂණ සඳහා වැය වන වියදමත් විශ්ලේෂක වාර්තා මගින් ප්‍රතිඵල තහවුරු කිරිමට අවශ්‍ය විද්‍යුත් උපකරණ වල හිඟයත් මෙම පර්යේෂණ වලට තරමක බාධාවක් වී ඇත. මේ සම්බන්ධ සංසිද්ධි සරල වුවත් එය අපගේ විද්වතුන්ට පැහැදිලි කිරීමට ගත යුතු උත්සාහය අපමණය. “අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” යන කුමාරතුංග මුණිදාස මැතිදුන්ගේ වැකිය ඔස්සේ පියනගන ආයතනයක් හැටියට අපි මේ සම්බන්දයෙන් බලවත් උත්සහයක් දරමින් පවතී.

අවශ්‍ය වනුයේ අතීත විභූතිය ගැන උදම් අනන අතරම කාලයේ වැලි තලාවට යට වී ඇති ශ්‍රී ලාංකිකයන්ටම පමණක් උරුම වූ ඒ විශ්ව කර්ම තාක්ෂනය නැවත සොයා ගොස් ඒවා තුට්ටු දෙකකට විදේශිකයන්ට විකුණනවා වෙනුවට රටට ජනතාවට වැඩදාය් නිමවුමක් කෙරේ යෙදවීමය්.

රජයේ සහයෝගයත් මෙම වැඩ පිළිවෙල කෙරේ යොමු වෙන්නේනම් ඕනෑම පුද්ගල්යකුට අයත් කර ගත හැකි පරම ධනය, එනම් නිරෝගී සම්පත මෙම අසරණයින් වෙත ලගා වන දිනය වැඩි ඇතක නොමැත.


ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස්
අධ්‍යක්ෂ ජනරාල්,
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය

CKDU

scroll to top