රජයේ තොරතුරු වෙත ප්‍රවේශ වීමට තොරතුරු පනත පුරවැසියනට තිබෙන කදිම මෙවලමකි

රජයකට, පුරවැසියන් වෙත ප්‍රවේශ වීම සඳහා බලය, නීති, රෙගුලාසි සහ ආයතන බොහොමයක් වෙතත් රාජ්‍ය තන්ත්‍රය තුළට පිවිස, තම අයිතිවාසිකම් තහවුරු කරගැනීමට පුරවැසියනට තිබෙන එකම මාර්ගය තොරතුරු දැනගැනීමේ අයිතියයි. එමෙන්ම, මෙසේ ලබාගන්නා තොරතුරු තමන්ට නොලැබූ හෝ අහිමි කරන ලද වරප්‍රසාද හා අයිතිවාසිකම් විවිධ මාර්ග හරහා ලබාගැනීම සඳහා අවතීර්ණ වීමට තොරතුරු දැනගැනීමේ පනත පුරවැසියනට තිබෙන වැදගත්ම අවස්ථාවක් වනු ඇතයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.
.
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය හා ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර වසරක් පිරීම නිමිත්තෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදුව කොළඹ ඊයේ පැවැති (2017.09.29) විශේෂ වැඩමුළුවක් අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.

මෙම වැඩමුළුවට රජයේ අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වලට පත්කරනු ලැබ ඇති තොරතුරු නිලධාරීන් හා නම්කළ නිලධාරීන්, ජනමාධ්‍යවේදීන් මෙන්ම මෙම තොරතුරු පනත මගින් මෙතෙක් ප්‍රතිලාභ ලබාගෙන ඇති සිවිල් සමාජ නියෝජිතයින් හා පොදු ජනතාවද සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ආර්.එච්. එස්. සමරතුංග මහතා,අපගේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මහජනයා සතු කිරීමේ කර්තව්‍යය සඳහා විශාල කාලයක් ගතවී තිබෙනවා. දිගු ඉතිහාසයකුත් තිබෙනවා. ඒ සඳහා විවිධ බුද්ධිමතුන්, නීතිවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් මෙන්ම විවිධ දේශපාලන සංවිධාන රැසක නියමුවන් දිගුකලක් තිස්සේ කරන ලද ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙසමෙම පනත 2016 දී නීතිගත කරනු ලැබීය. මෙවැනි අයිතිවාසිකම් තහවුරු කරපු රාජ්‍යයන් 110 ක් පමණ තියෙනවා. අපි 111 වෙන්න ඕන.

1960 ගණන්වල ඉඳල ලෝකයේ මහජනතාවට මෙවැනි අයිතිවාසිකම් තහවුරු කරදීමේ වැදගත්කම දැනගෙන ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. නමුත් ඉතා වේගයෙන් පහුගිය අවුරුදු 30 ක 40 ක මේවායේ අයිතිවාසිකම් මහජනතාව සතු කිරීමට බොහෝ රාජ්‍යයන් ක්‍රියාකරලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ වැඩිපුර උනන්දුවක් දකින්නට ලැබෙනුයේ 1970 ගණන් වල සිටයි විශේෂයෙන් ප්‍රථම ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී මූලික අදහසක්, වැඩපිළිවෙළක් එම ව්‍යවස්ථාවට අන්තර්ගත කරනු ලැබීය. දෙවන ජනරජ ව්‍යවස්ථාවේ තවදුරටත් ඉදිරියට යමින් සක්‍රීය ලෙස මහජනතාවට ස්වකීය අයිතිවාසිකම් සලසල දීල තිබෙනවා.ඒ සඳහා විවිධ සමාජ බලවේග, දේශපාලන පක්ෂ සත්‍ය දායකත්වයක් ලබාදී තිබෙනවා. එහෙත් මෙම අයිතිවාසිකම් බලගැන්වීමට ඇති ඉඩ ප්‍රස්ථා විවර කර ගැනීමට ලෙහෙසියෙන් බැහැ. සරල ක්‍රමයට ඉටුකර ගැනීමට නොහැකි යැයි සමරතුංග මහතා පැවසීය.

රාජ්‍ය තන්ත්‍රය පුළුල් මෙන්ම සංකීර්ණයි. අප රටේ රාජ්‍ය ආයතන සියගණනක් තිබෙනවා. සේවක පිරිස් ලක්ෂ 15 ක් පමණ සිටිනවා. නීති හා රීති අතිශයින් සංකීර්ණයි. එවැනි සංදර්භයක පුරවැසියකුට ස්වකීය අයිතීන් තහවුරු කරගැනීමට

නෛතික ප්‍රතිපත්ති ඔස්සේ කටයුතු කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා බොහෝ පුරවැසියන්ට අවශ්‍ය මිල මුදල් නැහැ. දැනුමත් පූර්ණ ලෙස නැහැ. ඒ වාගේම බොහෝ අයට එයට අදාළ සමාජ වටපිටාවක්ද නැහැ. එමනිසා ස්වකීය අයිතිවාසිකම් තහවුරු කරගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා ඉතා අඩු මට්ටමක පවතිනවා යන මැසිවිල්ල අපගේ සමාජ යථාර්ථයකි.

මෙම සංදර්භය තුළයි මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත දැකිය යුත්තේ. පුරවැසියන්ට ස්වකීය අයිතිවාසිකම් සැළකිය යුතු පමණකට තහවුරු කරගැනීමට, සවිබල ගැන්වීමකට උදාවූ මහඟු අවස්ථාවක් ලෙසයි මට මෙම පනත පෙනී යන්නේ. රජයකට පුරවැසියා වෙත ප්‍රවේශවිය හැකි මාර්ග රාශියක් තිබෙනවා. බලය, නීති, රෙගුලාසි, ආයතන, සම්පත් හරහා ජනතාව වෙත ප්‍රවේශ විය හැකිය.

තොරතුරු දැනගැනීමේ පනත හරහා රජය වෙත ප්‍රවේශ වීමට පුරවැසියකුට මාර්ගයක් සකස් වී තිබෙනවා. මෙම ප්‍රවේශ මාවත ඉතා ශක්තිමත් මාර්ගයක්. මෙම පනතේ අන්තර්ගත ක්‍රියාවලිය පුරවැසියකුට වෙහෙසකර කාර්යයක් නොවේ. රජයේ තොරතුරු වලට ප්‍රවේශ වීමට පුළුල් ඉඩ ප්‍රස්ථා මෙම පනතින් විවර වී තිබෙනවා. එම තොරතුරු වලට ප්‍රවිශ්ඨ වීමෙන් අනතුරුව ඒවා අගය කිරීමක් සිදුකොට නිසි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට පුරවැසියන්ට ඉඩකඩ ලබාදීමේවැදගත් ප්‍රවණතාවක් පවතියි.

පුරවැසියාගේ අතින් බලන විට මෙම පනත ඔවුන් සවිබල ගැන්වීම පිණිසප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඔවුන්ට ලබාදුන් කාර්යක්ෂම වැඩපිළිවෙළකි. මේ ඔස්සේ මූලික මිනිස් අයිතීන් නිසිලෙස තහවුරු කරගැනීමටත්, යහපාලන මූලධර්මයන් අර්ථවත් ලෙස ක්‍රියාවට නංවාලීමටත්හැකිවේ.එමෙන්ම මෙම පනත ඔස්සේ රාජ්‍ය තන්ත්‍රයේ විනිවිදභාවය හා වගවීම වඩා ඵලදායී ලෙස තහවුරු

කරගැනීමටත්, රටේ සංවර්ධනය සඳහා පනතේ සහාය ලබාගැනීමට යහපත් ක්‍රමවේදයක්ද සකස් වී තිබෙනවා. රජයේ කටයුතු වලට, පුරවැසියනට ඒ මගින් අදහස් ඍජුව ඉදිරිපත් කිරීමට මෙන්ම අභියෝග කිරීමටද අවකාශයක් සැලසී තිබෙනවා. පුරවැසියකුට අහිමිවන අයිතිවාසිකම් හා වරප්‍රසාද රාජ්‍ය තන්ත්‍රයෙන් ලබාගැනීමේ මෙවලමක් ලෙසද මෙම පනත ක්‍රියාත්මක වන බව අප පිළිගත යුතුයි. මෙම පනත ක්‍රියාත්මක කිරීම ආරම්භ වන්නේ පුරවැසියාගෙනි. රාජ්‍ය තන්ත්‍රයට ඇත්තේ ඒ සඳහා ප්‍රතිචාරදැක්වීම පමණක් යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.

එබැවින් මෙම පනත සියලු පුරවැසියන් වෙත සහ කණ්ඩායම් වෙත රැගෙන යායුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතීන් මූලික මිනිස් අයිතිවාසිකමක් යන තේමාව ලොව බොහෝ රටවල ජනතාව වෙත තහවුරු වෙමින් පැවැති අවධියක ශ්‍රී ලංකාවද එම කුලකය වෙත 2016 තරම් මෑත අවධියක ප්‍රමාද වී හෝ ප්‍රවිෂ්ඨ වීම යහපතකි. මෙම පනතේ සාරය පුරවැසියන් වෙත ගෙන ගොස් ඔවුන් සවිබල ගැන්වීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සක්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බැව් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා මෙහිදී අවධාරණය කළේය.

scroll to top