යුධ අපරාධ චෝදනා වැළැක්වීමට කටයුතු කරනවා

Patali-Champika-Ranawaka-1.jpg

නොවැ 24, 2014 (විමසුම) – යුද්ධය අවසන් කළ පිරිස්වලට යම් පුද්ගලයෙක් යුධ අපරාධ චෝදනා නගන්න උත්සාහ දරන්නේ නම් එය වැළැක්වීම සඳහා දිවිහිමියෙන් කටයුතු කරන බව ජාතික හෙළ උරුමය කියයි.
ජාතික හෙළ උරුමය විසින් රටේ සමාජ, ආර්ථීක, දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා ඉදිරිපත් කළ යෝජනාවලිය ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ අද උදෑසන කොටුව දුම්රිය පල ඉදිරිපිටින් ආරම්භ කරමින් චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“කිසියම් පුද්ගලයෙක් අතිගරු ජනාධිපතිතුමා වේවා, ආරක්ෂක ලේකම්තුමා වේවා, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වේවා, වෙනත් හමුදා නිලධාරියෙක් වේවා ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් යුධ අපරාධ චෝදනා නගන්න දෙමළ ජාතිවාදීන් උත්සහ දරනව නම් අපි ඒක වැළැක්වීම සඳහා දිවිහිමියෙන් කටයුතු කරන බව බොහොම පැහැදිළිව ප්‍රකාශ කරනවා.”

පසුගියදා පැවති රූපවාහිනී සංවාදයක දී රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා ගමන් කළ යුත්තේ නෙල්සන් මැන්ඩෙලා ගිය මාර්ගයේ බවයි.

“නෙල්සන් මැන්ඩෙලා ඒ සත්‍යවාදී කොමිසම (Truth Commssion) ඉදිරියට ඇවිල්ල කිවුවා මම මිනීමැරුවා. මම මිනීමැරීමට නියෝග දුන්නා. මම වද හිංසා කරන්නට නියෝග දුන්නා. මම මංකොල්ලකන්න නියෝග දුන්නා. මම දේපල විනාශ කිරීමට නියෝග දුන්නා. මම නිසා මිය ගිය සියලු දෙනා වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. මම කණගාටු වෙනවා මේ තරම් සුන්දර විදියට බේර ගන්න තිබුණු ප්‍රශ්ණයක් මේ තරම් කුරිරු විදියට බේර ගැනීම සඳහා මා ඉදිරිපත්වීම ගැන.”

“අද මුළු ලෝකෙම දන්නෙ ඒ නෙල්සන් මැන්ඩෙලාව. සමහරුන්ගේ ජීවිතේම ඉඳල තියෙන්නෙ මිලිටරි ක්‍රමයට. ඒ මිලිටරි ක්‍රමයෙන් යුද්ධය දිනුවට කවදාකවත් රටක සාමයක් ගේන්න බෑ,” යනුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් යුධ අපරාධ චෝදනාවලට මුවා වෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට හෝ යහ පාලනය යටපත් කිරීමට තමන් ඉඩ නොදෙන බව රණවක මහතා පැවසීය.

“ඒක කොටියො පෙන්නල මුවෝ මරනව වගේ වැඩක්. ඒ නිසා අපි මේ දෙක දෙකක් ලෙස සැලකිය යුතුයි. අපි ජනතාවට ප්‍රකාශ කරනව ව්‍යාජ ප්‍රචාරවලට එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ගේ විදේශගත බලවේගවල ප්‍රචාරවලට අපි හසුවිය යුතු නෑ.”

එළඹෙන ජනාධිපතිවරණයේ දී තමන් සහයෝගය ලබා දෙන අපේක්ෂකයා පිළිබඳව ලබන 27 වනදා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන වැඩසටහනක දී දැනුවත් කිරීමට කටයුතු සංවිධානකොට ඇති බව හෙතෙම පැවසීය.

“මේ අවස්ථාවේ අපේ ප්‍රමුඛතාවය වෙලා තියෙන්නේ යහපාලනය ප්‍රශ්නය විසඳීම. ඒකට අපි රටපුරා බලගතු උද්ඝෝෂණයක් ගෙනයනවා. ඒ සඳහා එකතු කළ හැකි සෑම කෙනෙක්ම එකතුකරගෙන මේ රටතුළ පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

විධායක ජනාධිපතිවරයාට ඇමතිවරුන් තමන්ට රුචි ප්‍රමාණයක් පත්කිරීමට තිබෙන බලය, තමන්ට කැමති ඕනෑම කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට තිබෙන බලය, තමන්ට කැමති ඕනෑම කෙනෙක් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් බවට පත්කිරීමට තිබෙන බලය ආදී අත්තනෝමතික බලතල වහාම පාලනය කළ යුතු බව හෙළ උරුමය විසින් ඉදිරිපත් කළ යෝජනා අතර වේ.

එමෙන්ම අනුපාත ඡන්ද ක්‍රමය වෙනස්කළ යුතු බව ද එම යෝජනාවල දැක්වේ.

(රාජිත සේනාරත්නගේ යුධ අපරාධ කථාවට පිළිතුරක්)

24.11.2014 r 5

24.11.2014 r 2

24.11.2014 r 3 (2)

24.11.2014 r 4

scroll to top