යාපනය උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කරනවා

  • යාපනයට බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් සහ වෙරළ උද්‍යානයක්…
  • උතුරු ප‍්‍රදේශයේ කසළ කළමනාකරණයට විධිමත් වැඩපිළිවෙලක්…

අනාගත නාගරික සංවර්ධන වැඩපිළිවෙල යටතේ යාපනයත් උපාය මාර්ගික නගරයක් හැටියට වැඩිදියුණු කරන්න සැලසුම් සකස් කර මෙම වසරේ එය කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යාපනය ප‍්‍රදේශයේ ජීවත්වන මහජන නියෝජිතයන්, විවිධ ස්වාධින සංවිධාන සහ විවිධ පුද්ගලයින්ගේ අදහස් විමසීම සඳහා ඊයේ දිනයේ (22) උපාය මාර්ගික නගර ව්‍යාපෘතියේ නියෝජිතයන් හමු වූ අවස්ථාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදෙමිනි. එහිදී ලබාගන්නා එම ජනතා නියෝජිතයින්ගේ අදහස්ද මුසු කරගෙන යාපනය විධිමත් උපාය මාර්ගික නගරයක් ලෙස දියුණු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, යාපනය නගරයේ දියුණුවට ත‍්‍රස්තවාදී බලපෑම් නිසා විශාල බාධාවක් එල්ල වූ අතර 1980 න් පස්සේ නගරයේ ස්වභාවික දියුණුව සම්පූර්ණයෙන්ම ඇනහිටි බවත්ය. එසේම නගරය හා ඒ අවට ප‍්‍රදේශයේ ජීවත්වෙච්ච මධ්‍යමපාන්තික පිරිස් විශාල ප‍්‍රමාණයෙන් විදේශ රටවලටත් දකුණටත් සංක‍්‍රමණය වී නිසා යාපනය කිසියම් ආකාරයකට මූල්‍යමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත් යුද්ධය නිමාවීමෙන් පසු උතුරත් දකුණත් යාවීමෙන් යාපනයේ ආර්ථිකය මේ වන විට ප‍්‍රකෘතිමත් වෙමින් තිබෙන අතර යාපනයේ ධිවර ජනතාව, ගොවි ජනතාව වෙළඳ ව්‍යාපාර පමණක් නෙමෙයි දරුවන්ගේ අධ්‍යාපනයත් නැවත ප‍්‍රකෘත්තිමත් වෙමින් තිබෙන බවත් ය.

යුධ සමයේ විශාල පිරිසක් විදෙස් රටවලට සංක‍්‍රමණය වීම හේතුවෙන් මේ වන විට ටොරොන්ටෝ, සිඞ්නි, ලන්ඩන්, පැරිස්, බර්ලින් ආදී විදේශ රටවල දිවිගෙවන ඥාතීන් මගින් විශාල වශයෙන් ධනය ඇදී එන තත්වයක් ඇති වී තිබෙනව බවයි. මේ හේතුවෙන් යාපනයේ ඇතැම් ආකාරයට මත්පැන්වලට ඇබ්බැහිවීම්, ලිංගික අපචාර සහ අනෙකුත් කාරණාත් වැඩිදියුණු වී තිබෙන බව එම ජනතාව ප‍්‍රකාශ කරයි. කෙසේ වෙතත් මේ අලූත් තත්වය තුළ යාපනයේ මධ්‍යම පන්තියක් නිර්මාණය වෙමින් තිබෙන අතර එම මධ්‍යම පන්තියට විදේශ සබඳතාත් ඇති බැවින් එහි ජීවත්වන ජනතාවට විධිමත් නාගරික පහසුකම් සැකසීම අත්‍යාවශ්‍ය කාරණයක් යැයි පැවසූ අතර එහිදී යාපනයට ඉතාම අත්‍යවශ්‍යයි බලගතු යටිතල පහසුකම් ජාලයක්. ජලය, විදුලිය, මලාපවහන පද්ධතිය, දුරකතන ආදිය එහිදී ඉතාමත්ම මූලික වන බවත් පැවසීය.

2010 දී තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා හැටියට පත්වෙනකොට යාපනයට ප‍්‍රධාන විදුලි ජාලය එක්ක සම්බන්ධයක් නොතිබූ බවත්, 1987 දී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් වවුනියාවේ සිට චුන්නාකම් දක්වා තිබූ ඒ විදුලි මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබු බව හා එය නැවත ප‍්‍රකෘති කර උතුරු ජනනී නමින් විදුලි බලමණ්ඩලයට අයත් විදුලි බලාගාරයක් පිහිටවීමට කටයුතු කළ බවයි. එමගින් 40% කට ආසන්න ප‍්‍රමාණයකට තිබූ විදුලිය යාපනයට, නිරන්තරයෙන් බිඳ වැටෙන සුළු විදුලි පද්ධතිය ප‍්‍රකෘත්තිමත් කරලා 24 පැයම 100% ක් විදුලිය ලැබෙන, තමන්ටමය කියලා විදුලි බලාගාරයක් තිබෙන, එය රටේ සෙසු විදුලිබල පද්ධතියත් එක්ක සම්බන්ධ වෙච්ච ව්‍යාපෘතියක් බවට පත් කරන්න හැකි වූ බව හා ඉතාම නවීන ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාල සංකීර්ණයක් එහි ඉදි කිරීමටත් හැකි වූ බව පැවසීය.

යාපනයට තිබෙන විශාලතම ගැටළුව වන පිරිසිදු පානීය ජලය, ගොවිතැන්වලට ජලය ලබාගැනීම ඉතාම අපහසු කාරණයක් වන බවත් ලන්දේසීන්ගේ යුගයේ දුංකොල වගාව සඳහා ඉදිකරන ලද ළිං ආඬි ළිං දහස් ගණනක් මගින් යාපනයට ජලය එක්තරා කාලයකදී සැපයුණේ. නමුත් යාපනය මධ්‍යම පාන්තික විධිමත් නගරයක් ලෙස ගොඩනගන්නට නම් යාපනයට හොඳ පානීය ජල පද්ධතියක් අවශ්‍ය වන අතර ඒ සඳහා මුහුදු ජලය මිරිදිය බවට පත් කර පානීය ජල ගැටළුව විසඳිය යුතු බවත්, නොමැති නම් ඉරණමඩු වැවෙන් කිලිනොච්චියේ සිට ජලය ගෙන ආ යුතු බවත්ය. එනමුත් අවාසනාවකට කිලිනොච්චි ප‍්‍රදේශයේ ජනතාව තමන්ගේ ජලය යාපනයට ලබාදීමට සූදානම් නොවීම නිසා යාපනය ජල ව්‍යාපෘතිය දිනෙන් දින පමා වූ බවයි. එසේම තවත් පිරිසක් යාපනය ඇතුලේම ජලාශ පද්ධතියක් ඉදිකර යාපනයේ ජල ගැටළුව විසඳීම සඳහා යෝජනාවකුත් කර තිබෙන බවයි.

යාපනයේ තවත් ගැටළුවක් තමයි වැසි කාලයේදී සිදුවන ගංවතුර උවදුර. ඒ සඳහාත් උපාය මාර්ගික නගරය ව්‍යාපෘතිය යටතේ එම ගැටළුවට ද විසඳුම් ලබාදෙන බවත්, යාපනය ඉදිරියට ගෙනයන්න නම් එහි මාර්ග පද්ධතියත්, ප‍්‍රවාහන පද්ධතියත් විධිමත් විය යුතු බවයි. යාපනය අභ්‍යන්තරයේ මාර්ග තබදය අනෙක් පළාත්වල මෙන්ම පවතින අතර මාර්ග තබදය අවම කිරීම සඳහා සැලකිය යුතු මුදලක් වැය කිරීමට බලාපොරොත්තුවන වන බව හා දුම්රියපලත්, බස්නැවතුම්පලත් එකට යා කරන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් එහි ඉදිකර ඒ මගින් යාපනය අනෙකුත් ප‍්‍රදේශ යා කරන මාර්ග පද්ධතිය විධිමත් පොදු ප‍්‍රවාහන සේවයකට ගෙන ඒමයි. එසේම විවේකය විනෝදාස්වාදය සඳහා උයන් පද්ධතියක්, වෙරළ උද්‍යානයක් ඉදිකිරීමට අපි කටයුතු කරන බව ද පැවසීය.

නාගරික වශයෙන් වන කැළිකසල ගැටළුව විසඳීම සඳහාත් යම් යෝජනාවලියක් සහ එහි පළාත් පාලන ආයතනවලට උපකාර ලබාදීම සිදු කරන බවත් ති‍්‍රකුණාමලයටත් ඉතාමත් විධිමත් සැලැස්මක් සකස් කරමින් සිටින අතර උතුරේ ප‍්‍රධාන නගර දෙකක් වන වවුනියාව සහ මන්නාරම සඳහාත් විධිමත් නාගරික සැලසුමක් සකස් කර තිබෙන බවත් උතුරු පළාතේ කිලිනොච්චිය ඇතුළු අනෙකුත් නගර විධිමත් ආකාරයට දියුණු කිරීම සැලසුම් සකස් කර විධිමත් ලෙස සංවර්ධනය කරන්න කටයුතු කරන බවයි.

යාපනය සහ උතුරු පළාත අනෙක් පළාත් සමග වැඩි වැඩියෙන් සම්බන්ධ වීමෙන් එම පළාතේ ජන හදවත් හඳුනාගැනීම මගින්, ව්‍යාපාර හඳුනාගැනීම මගින් යාපනය තුළ වෙන්වී යාමේ හුදකලා වීමේ අවස්ථාවන් අවම කිරීම සඳහා නාගරික පහසුකම්, වෙළඳපල පහසුකම් විවෘත වීමත් අත්‍යවශ්‍ය වෙනවා.

යාපනයේ බිහිවන වෘත්තීයවේදීන් යාපනයේ රඳවා ගන්න ඉතාම අපහසු කාරණයක් බවත් යාපනයෙන් බිහිවන වෛද්‍ය, ඉංජිනේරු, නීති, ගණකාධිකාරී වෘත්තීයවේදීන් විදේශ රටවලට යන්න හෝ කොළඹට පැමිණීම තිබෙන උනන්දුව වැඩි බවත් ඒ නිසා නැවතත් හොඳ පාසල් පද්ධතියක් සමග නාගරික පහසුකම් පද්ධතියක් එහි ඉදිිකිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් බවයි. මාන්කුලම් ප‍්‍රදේශය උතුරු පළාතේ අගනගරය හැටියට ගොඩනැගීමේ විශේෂ වැඩසටහනක් යොමු කර තිබෙන අතර එහිදී පැන නගින නොයෙක් ගැටළු, පාරිසරික ගැටළු ආදී වශයෙන්, ඒවා මැඩ පවත්වමින් විධිමත් පරිපාලන නගරයක් එහි ගොඩනැගීමට කටයුතු කිරීම මගින් බොහෝ දුරට ප‍්‍රවාහන තදබදයෙන් පෙළෙන යාපනය වෙනුවට නව නගරයක් උතුරු පළාතට පරිපාලනමය වශයෙන් ලබාදීමට කටයුතු කරන අතර මෙම සියළු සැලසුම් ඉදිරි කාලයේදී උතුරේ සහෝදර ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක කරන්න සූදානම් බව ද අමාත්‍යවරයා පැවසීය.

scroll to top