යහ පාලනයක නිවැරදි බදු පිළිවෙත පිළිබඳ බෞද්ධ ආකල්පය

සුපුරුදු පරිදි අයවැය ද ඉදිරිපත් විය.ඒ පිළිබඳ විවිධ පිරිස් අතර සාකච්ඡාවක් ඇති වී තිබේ.ඇතිහැකි අයගෙන් බදු අයකර නැතිබැරි අයට සහන ලබාදිය යුතු යැයි ප්‍රචලිත සමාජ අදහස පිළිබඳ බෞද්ධ ආකල්පය කුමක්ද? රටක ධනවත් පිරිස ස්වල්පයක් වන අතර නැතිබැරි පිරිස විශාලය.නැතිබැරි පිරිස විශාල නිසා ඔවුන්ගෙන් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය සඳහා අයකරන කුඩා බද්දෙන් පවා විශාල ආදායමක් රජයකට එකතුවන නමුදු ධනවත් කුඩා පිරිසකට විශාල අයබදු සහන ලබාදුන්නද ඉන් රජයකට විශාල පිරිවැයක් දැරීමට සිදු නොවේ. මේ නිසා සුපුරුදු පරිදි සිදුවන්නේ බහුතර සාමාන්‍ය මහජනතාවගේ දෛනික පාරිභෝගික ද්‍රව්‍යවලට වැඩි බදු බරක් පටවා ධනපති සුළුතරයට සහනසැලසීමවුවද මෙවර ඉන් බැහැරව නිවැරදි පිළිවෙතකට අනුව කටයුතු කිරීමතුළ ධාර්මිකබවේ අවදානමක් ගෙන ඇතිබව වැඩි දෙනෙකුගේ මතයයි.බෞද්ධ ඉගැන්වීම් අනුව අයබදු අයකර ගැනීම පිළිබඳව පවතින නිර්දේශ කවරේද? බුදුදහමේ පෙන්වන නිවැරදි ආර්ථික දර්ශනයක් සහිත වඩාත් උචිත යහපාලනය කුමක්ද? බුදු දහම ඉදිරිපත් කරන රාජ්‍ය පාලන ක‍්‍රමවේදය වූ කලි මිනිසුන් නො නසමින්, නොනස්මින්, ශෝක නොකරමින්,නොකරවමින් ගොඩනගන අන්තවාදීබවින් මිදුනු යහපාලනයකි.

බුදුරජාණන් වහන්සේ ‘ඛාණුමත’ නම් බමුණුගමට වැඩම කොට, එහි ‘අම්බලට්ඨිකා’ නම් අඹ උයනෙහි වැඩ වෙසෙයි. ඒ ගමට අධිපති කූටදන්ත නම් බමුණෙකි. ඔහුට මේ සාරවත් බිම් පෙදෙස හිමි වූයේ බිම්බිසාර රජුගෙන් තෑගි වශයෙනි. එකල ඒ ගම්වැස්සෝ බුදුන් දක්නට යන්නෝ, ඒ දැක කූටදන්ත බමුණා ද සපිරිවරින් බුදුන් හමුවට පැමිණියේ ය. පැමිණ මහා යාගයක් කරන්නට කැමැති බව දක්වා, ඒ සඳහා ත‍්‍රිවිධ යාග සම්පත්තියත්, සොළොස් පිරිකරත් දේශනා කරන්නැ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඊට පිළිතුරු දේශනා වශයෙන් පෙර වූ සිද්ධියක් ගෙන හැර පා වදාළ සේක.

පෙර ‘මහාවිජිතාවි’ නම් රජෙක් විය. ඒ රජුට මෙබඳු අදහසක් පහළ විය. ‘මා විසින් මහත් වූ වස්තු සම්පත් රැුස් කරන ලදි. මම සියල්ලන්ට ම අධිපති ව ද වෙසෙමි. මට බොහෝ කලක් හිත සුව පිණිස පවත්නා මහා යාගයක් කළ හොත් මැනැව.’ මෙසේ සිතූ මහාවිජිතාවි රජු බමුණු පුරෝහිතයා කැඳවා ස්වකීය අපේක්ෂාව දන්වාලී ය. ඊට උපදෙස් මැනැවැ යි කියා යි. එවිට බමුණා රජුට මෙබන්ඳක් කීයේ ය.

රජතුමනි, ඔබගේ රට බොහෝ උවදුරු සහිය. අනාරක්ෂිතය. ගම්නියම්ගම් සොරුන් විසින් පැහැර ගැනීමට ලක්ව තිබේ. මං පැහැරීම් ආදිය ද දක්නට ලැබෙයි. මෙබඳු උවදුරු සහිත රටකින් ඔබතුමා බදු අයකරනවා නම් එය කිසි සේත් ම සුදුසු නොවේ. රජතුමනි, සොරුන් මංකොල්ලකරුවන් අපරාධකරුවන් අල්ලා ඔවුන් වධයට පැමිණවූවා කියා, හිංසා කළා කියා, ඔවුන්ට දඩ ගැසුවා ය කියා හෝ රටින් පිටුවහල් කළා ය කියා රටේ උවදුරු නැති වේ යැයි ඔබතුමා සිතනවා ද? ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත වේ යැයි ඔබතුමා විශ්වාස කරනවා ද? කොහෙත් ම නැත. එසේ විශ්වාස කළත් එය කිසි සේත් ම සිදු විය නො හැක්කකි. රජතුමනි, වධ දීමෙන්, හිංසා කිරීමෙන්, දඩ ගැසීමෙන්, නිග‍්‍රහ කොට රටින් නෙරපා දැමීමෙන් සොරුන්ගෙන් වන උපද්‍රව නවතාලීමට උත්සාහ කළත් ඉන් ප‍්‍රතිඵලයක් නො ලැබෙන්නේ ම ය. (සියා ඛො පන භොතො රඤ්ඤො එවමස්ස‘අහමෙතං දස්සුඛීලං වධෙන වා බෙන්‍ධන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා සමූහනිස්සාමී’ති. න ඛො පනෙතස්ස දස්සුඛීලස්ස එවං සම්මා සමුග්ඝාතො හොති.) ඒ කවර කරුණක් නිසා ද? දඬුවම් නො ලබා ඉතිරි වූවන් නැවත නැවතත් රට පෙළන බැවිනි. රාජ්‍යයට බාධා පමුණුවන බැවිනි. (යෙ තෙ හතාවසෙසකා භවිස්සන්ති, තෙ පච්ඡා රඤ්ඤො ජනපදං විහෙඨෙස්සන්ති) එහෙයින් රජතුමනි, මේ උවදුරු සහමුලින් ම වළකාලීමට ක‍්‍රමයක් ඇත. ඊට ඔබතුමා මෙසේ පිළිපැද්ද යුතු වේ. කෙසේ ද?

රජතුමනි, මේ විජිතයෙහි ධාර්මික රක්‍ෂාවෙහි යෙදුණු අය වෙති. අයෙක් ගොවිතැන් කරති. ඒ ගොවීන්ට සිය වගා බිම් අස්වද්දාලීමට ධාන්‍ය (බිත්තර වී) ලබා දිය යුතුය.ගොවි උපකරණ හී වැල්, නගුල් ආදිය ලබා දිය යුතුය.ගවයින් රක්නා අයට බත් වැටුප් සැපැයිය යුතුය.(යෙ භොතො රඤ්ඤා ජනපදෙ උස්සහන්ති කසිගොරෙක්‍ඛ,තෙසං භවං රාජා බීජභත්තං අනුප්පදෙතු.) එවිට ඔවුහු ඒ ගොවිතැනෙහි මනා කොට නියැලෙත්. තව ද, රජතුමනි මේ ජනපදයෙහි ධාර්මික වෙළඳාමෙහි නියුතු වූවෝ වෙත්. වෙළඳාමෙහි නිරත වනු කැමැතියෝ ද වෙත්. රටේ ව්‍යවසාය සංවර්ධනයට නම් ඒ වෙළඳාමෙහි කැප වූවනට, ඊට කැමැතියනට මූලධනය (ප‍්‍රාග්ධනය) ඇතුළු වෙනත් මූල්‍යාධාර සපයා දියයුතුය.(යෙ භොතො රඤ්ඤා ජනපදෙ උස්සහන්ති වණිජ්ජාය, තෙසං භවං රාජා පාභතං අනුප්පදෙතු) එවිට ඒ වෙළෙන්දෝ මනා කොට වෙළඳාමෙහි නියැලෙත්. රජතුමනි,ඔබේ රාජ්‍යයෙහි අභිවෘද්ධිය පිණිස කැප වූ බොහෝ රාජ්‍ය සේවකයෝ ද වෙත්. ඒ රාජකාරියේ නියුතු වූවනට දිනපතා කෑම-බීම, මාසික වේතනය නො අඩු කොට, විෂම නො කොට, ඒ ඒ රාජකාරියට සරිලන පරිදි අනිවාර්ය කොට ගෙවිය යුතු ය. (යෙ භොතො රඤ්ඤො ජනපදෙ උස්සහන්ති රාජපොරිසෙ, තෙසං භවං රාජා භත්තවෙතනං පකප්පතු) එවිට ඒ රාජ්‍ය සේවකයෝ පාලක පක්‍ෂය කෙරෙහි තෘප්ත වූවාහු ස්වකීය සේවය ද නො මඳ කොට ලබා දෙත්. මෙසේ කළ පසු ඒ ඒ අය තම තමන්ට අයත් කාර්යයන් (සකම්මපසුතා) නිසි පරිදි කරති. ගම් පැහැරීම් ආදිය ද නො කරති. අපරාධයනට නිසි අවකාශ ද අවුරාල යි. එයින් රජයේ ආදායම ද වැඩි වේ. රටේ උපද්‍රව ද නතර වේ. එකල්හි මිනිස්සු සතුටින් දරුවන් උකුළෙහි තබා නටවමින් තම තමන්ගේ ගෙවල්හි දොරවල් හැර තැබූවන් සේ සැකෙන් බියෙන් තොර ව වසන්නා හ.

මෙහි (න ඛො පනෙතස්ස දස්සුඛීලස්ස එවං සම්මා සමුග්ඝාතො හොති’) ‘දස්සුඛීල සමුග්ඝාතය’ යන යෙදුමේ නියම අර්ථය තවදුරටත් විමසා බැලිය යුතු ය. බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක පරිවර්තනයෙහි ඊට දී ඇති සිංහල අර්ථය ‘සොර හුල’ යන්න යි. ඉංගිරීසි පරිවර්තනයෙහි පවා ‘bandits’යනුවෙන් ගෙන දාමරිකයා, මංපහරන්නා ආදී අර්ථ දී තිබේ. පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ පාලි සිංහල ආකාරාදියේ ‘දස්සු’ යනු සොරා, සතුරා ලෙසත්, ‘ඛීල’ යනු කණුව, උල, කොක්ක ලෙසත් අරුත් ගන්වා තිබේ. එහෙත්, මහාචාර්ය කඹුරුපිටියේ අරියේසන හිමිට අනුව මෙසේ දස්සුඛීල යන්න ‘සොර හුල’ යනුවෙන් පරිවර්තනය කිරීම නුසුදුසු ක‍්‍රියාවකි. එයින් පැරණි භාරතයේ ඓතිහාසික හා දේශපාලනික වැදගත්කම අවතක්සේරුවට කිරීමක් වෙයි. මේ කරුණ හරි හැටි වටහා ගැනීමට නම් ඉන්දු නිම්න සභ්‍යත්වයේ පටන් ගොඩනැගුණු ප‍්‍රාග්-බෞද්ධ භාරතීය සමාජ පසුබිම ගැන ද යම් තරමක හැඳිනීමක් තිබිය යුතු ය. ආර්ය සභ්‍යත්වය භාරතය තුළ වැඩෙන්නට පටන් ගැනීමත් සමඟ එහි ස්වදේශික බලය බිඳ වැටිණ. ස්වදේශිකයෝ ආර්යයන්ගේ දාසයන්, කම්කරුවන් බවට පත් වූ හ. කාලවර්ණ සමක් සහිත ඔවුහු ආර්යයන් විසින් හ`දුන්වනු ලැබුවේ ‘දශ්‍යු’ නමිනි. සංස්කාත ‘දශ්‍යු’ යන්න පාලියට ගැනෙන්නේ ‘දස්සු’ නමිනි. සිංහලෙන් ‘දාස’ යන්න යි. ඒ අනුව භාරතීය කම්කරු පන්තිය, එනම් ශ‍්‍රමය කැප කරන්නෝ දශ්‍යුහු ය.‘ඛීල’යන්න කණුව අර්ථයෙන් සලකා බලන විට ‘දස්සුඛීල’ යනු දශ්‍යුන්ගේ නො සෙල්වෙන බලය යි. ඒ අනුව අරියසේන හිමි යෝජනා කරන්නේ :(strength of the poor or oppressed people)යනුවෙන් ගෙන දිළින්දන්ගේ හෙවත් පීඩාවට පත්වූවන්ගේ බලය යනුවෙන් දස්සුඛීලය අරුත් ගැන්වීම වඩාත් සුදුසු බවයි.නූතන සමාජවාදී ලේඛනයන්හි වඩාත් ව්‍යවහාරයට ගැනෙන ‘the proletariat’යන අරුත්දෙන ‘කම්කරු ජනතාව’යන්නද දස්සුඛීලයට සුදුසුබව එහි වැඩිදුරටත් පෙන්වා දෙයි.

‘සමුග්ඝාත’ නම් මුලිනුදුරා දැමීම යි. එහෙයින් දස්සුඛීල සමුඝ්ඝාතය ‘පීඩිත පන්තියේ බලය මුලිනුදුරා දැමීම’ යන අර්ථය දේ ද? එය එසේ කීමෙන් පීඩිත පන්තියේ බලය මර්දනය කිරීමට බුදු දහම විසින් රජයට උපදෙස් සැපැයෙතැ යි වැරදි වැටහීමක් ඇති විය හැක. එහෙත් එසේ නො වේ. ‘ඛීල’ යනු හුල, කණුව යන අර්ථ දෙන බව කලින් කීවෙමු. කණුව නො සෙල්වෙයි.එනම්, ක‍්‍රියාත්මක නො වන යන අර්ථය යි. එසේ නම් දස්සුඛීලය හඳුනා ගත යුත්තේ කෙසේ ද?වැඩකළ යුතු ජනතාව නිසි වැඩෙහි නො යෙදීම නිසා නිෂ්පාදන කාර්යය අඩාල වීම යි. නිෂ්පාදන කාර්යය අඩාල වූ විට බිඳ වැටෙන්නේ රටේ ආර්ථිකය යි. බිඳ වැටුණු ආර්ථිකයක් තුළ නිසි ආකාරයෙන් පඩිනඩි ගෙවීමට රජයකට නො හැකි ය. ආහාර හිඟය ද ඇති වේ. නිෂ්පාදනයේ ශ‍්‍රම ශක්තිය හීනවූ බැවිනි.ඒ අනුව නිෂ්පාදන කාර්යය සඳහා ශ‍්‍රම ශක්තිය ක‍්‍රියාත්මක නොවීම යන වාචික අර්ථය දස්සුඛීල යන්නෙහි ගැබ්ව ඇත.එය දරිද්‍රතාවට හේතුවයි.ඒ දරිද්‍රතාව අරගලයේ ආරම්භයයි.එසේ නම් දස්‍යුඛීල සමුග්ඝාතය යනු කුමක් දැයි දැන් පැහැදිලිය. නිෂ්පාදන කාර්යය අඩාල නොවනු පිණිස වැඩකළහැකි ජනතාව අදාල කාර්යයේ නිසි පරිදි යෙදැවීමයි.වැඩ නොකිරීමට ඇති ඉඩකඩ අවුරා දැමීමයි.දිළිඳු බව උදුරා දැමීම යි. ‘සකම්පසුතා’ යනු එය යි. දිළිඳු බවින් පෙළෙන ජනතාවගෙන් අයබදු ගැනීමෙන්, දඬුවම් පැමිණවීමෙන්, නිග‍්‍රහකර රටින් පිටුවහල් කිරීමෙන් රටක් සුඛිත මුදිත නොවේ. එහි වගකීම පැවැරී ඇත්තේ රජය වෙත ය.

මෙහි දී පැහැදිලි කළ යුතු තවත් කරුණක් වන්නේ දස්සුඛීල යන්නෙන් හඟවන ලද්දේ තනි තනි සොරුන් නො වන බවය. ආයුධ අතැති ව, මිනිසුන් බිය වද්දමින් ගම් දනව් පහරන, රට තුළ ත‍්‍රස්තවාදය පතුරන සොර මුළකට යි. ජීවිකාව ගෙන යාමට වෙන මගක් නො වන තැන ඔවුන් තෝරා ගත් මාර්ගය එය යි. චක‍්‍රවර්ති සූත‍්‍රයෙහි (න හි දෙවෙ ජීවාමි) ‘දේවයිනි, දිවි රකිනු නො හැකි ව සොරකමට යොමු වූයෙමි’ යන සඳහනින් ද එය පෙනෙයි. ඒ සූත‍්‍රය අවධාරණය කරන්නේ දිළින්දන්ට ධනය නොදෙනවිට(එනම්, ජනතාවට ධනෝපායන මාර්ග සකසා දීමට ක‍්‍රමවත් සැලැස්මක් රජයකට නො මැති තැන) දිළිඳුකම වැඩිවන බවයි.එසේ දිළිඳුකම වැඩි වන කල්හි ජනතාව නිරායාසයෙන් ම සොරකමට යොමු වෙයි. සොරකම වැඩිවන විට ප‍්‍රාණඝාතය ද, මුසාවාදයද, කේලාම් කීම ද, කාමමිථ්‍යාචාරය ද, පරුෂ වචනය හා සම්ඵප්ප‍්‍රලාපය ද, අභිධ්‍යාව හා ව්‍යාපාදය ද, මිථ්‍යාදෘෂ්ටියද, අධර්මරාග,විෂමලෝභ,මිථ්‍යාධර්ම යන තුනද, මව් පියන්ට සත්කාර නො කරන බව, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයින්ට ගරු නො කරන බව, කුලයෙහි වැඩිහිටියනට යටත් පැවැතුම් නැති බව ආදී පාපධර්මයන් වැඩිදියුණුවට පත් වන බව වැඩිදුරටත් විස්තර කර දෙයි. ඉදින් කූටදන්ත සූත‍්‍රයේ හඳුන්වා දෙන සොරහුල ද ශිෂ්ට සමාජයට පිටුපා එසේ අධර්ම සමාදානයට, ත‍්‍රස්තවාදයට යොමු වූයේ ඔවුනගේ ශ‍්‍රමය හරි හැටි ප‍්‍රයෝජනයට ගැනීමට තරම් නියම ක‍්‍රියාපිළිවෙතක් රජය සතු නො වීමෙන් බව පැහැදිලි ය. එහෙයින් වඩා සංවිධානාත්මක ව ශිෂ්ට සමාජයේ ධර්මතා බිඳලීමට ඔවුහු නො පසුබට ව ක‍්‍රියා කළ හ. මේ දස්සුඛීලය තුළ හුදෙක් සොර මුලකැ යි කීමට වඩා වීශාල අර්ථයක් ගැබ් ව තිබේ. දිළිඳු බව, විරැකියාව, අනාරක්‍ෂිත හැඟීම, රජය විසින් නො සලකා හැර තිබීම නිසා උද්ගත වූ කලකිරීම, මිනිස් ජීවිතය කෙරෙහි රජයේ සැලකීමක් නැතැ යි නිගමනයට බැසීමට තුඩු දුන් සිද්ධීන් අත්දැකීමෙන් ලත් කෝපය, කෙසේ හෝ ජීවත්වීමට ඇති ආශාව මෙන්ම,ඒ නිසා අවි අතට ගැනීම, සමාජ ධර්ම බිඳ හෙලීමට සංවිධානය වීම යන මේ සියල්ල ඒ වචනය තුළ ගැබ් ව ඇත. ඒ නිසා දස්සුඛීල සමුග්ඝාතය යනු කිසි සේත් ම සොර මුලක් විනාශ කිරීම නො වේ. ත‍්‍රස්තවාදීන් මරා දැමීම හෝ දඬුවම් දීම ද නො වේ. රටේ පොදු ආර්ථික ප‍්‍රශ්නය සැලසුමක් මඟින් විසඳාලීමයි. රජයකට නිශ්චිත, ගලා යන ආර්ථික සැලසුමක්, ආර්ථික සංවිධානයක් තිබිය යුත්තේ එහෙයිනි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top