මේ ආණ්ඩුව කළුකඩකාරයෙක් වගේ ජනතාවගෙන් බදු අයකරනවා: JVP

jvp-silva.jpg

ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස පහත වැටී තිබියදී ආණ්ඩුව කළුකඩකාරයෙක් මෙන් ලාභ ලබමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ තෙල්වලට විශාල ලෙස බදු අයකරන බවට චෝදනා එල්ල කළ එක්සත් ජාතික පක්‍ෂය තමන් බලය ලබාගැනීමෙන් පසු බද්ද අඩුකිරීමට කටයුතු නොකළ බව එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“ඒ විතරක් නෙවෙයි ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවී තිබියදීත් එම සහනය පවා ජනතාවට ලබා නොදීමට පියවර ගෙන තිබෙනවා,”

“තෙල් සඳහා මිල සූත‍්‍රයක් ඉදිරිපත් කිරීමක් ගැන ආණ්ඩුව කියනවා. ආණ්ඩුවට ඕනෑකමක් නැහැ ජනතාවට මේ සහනය ලබා දෙන්න. ඒ නිසා ආණ්ඩුව මිල සූත‍්‍රයට මුවාවෙලා වාසි ගැනීමේ සූත‍්‍රයක් අනුගමනය කරමින් ඉන්නවා.”

මේ වනවිට පෙට‍්‍රල් ලීටරයක් රු. 117ක්ද ඞීසල් ලීටරයක් රු. 95ක්ද වෙන අතර පවතින මිල ගණන් අනුව පෙට‍්‍රල් බැරලයක් ඩොලර් 46.89ක් පමණ වේ.

“ඩොලර් 1ක මිල රු.145යි නම් පෙට‍්‍රල් ලීටරයක ගොඩ බාන මිල රු. 42.76ක් වෙනවා. ඞීසල් බැරලයක් ඩොලර් 35ක් වන අතර ගොඩබාන විට ඞීසල් ලීටරයක මිල රු.32ක් වෙනවා. ආණ්ඩුව මෙහෙයුම් ගාස්තුව වශයෙන් සෑම ලීටටයකින්ම රු.10ක් අය කරන්නේ නම් පෙට‍්‍රල් ලීටරක් රු.52ටත් ඞීසල් ලීටරයක් රු.42ක මිලකටත් ජනතාවට ලබාදෙන්න පුළුවන්,”

“නමුත් ආණ්ඩුව පෙට‍්‍රල් ලීටරයක් දැන් රු. 117ට අලෙවි කර බදු හා අතිරේක ලාභය වශයෙන් රු.65ක් ලබා ගන්නවා. ඞීසල් ලීටරයක බදු හා අතිරේක ලාභය රු.53ක් ලබාගන්නවා,”

“ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුව වගේම ඉන්දියානු අයි. ඕ.සී. සමාගමත් මිල අඩු නොකිරිම නිසා මේ වනවිට විශාල ලාභයක් ලබනවා. මේ ආණ්ඩුව ඉන්දියානු සමාගම ලබාගන්නා අමතර ලාභයෙන් බද්දක්වත් අයකර ගන්නේ නැහැ,”

“ජනතාවට සහන ලබා දෙනවා වෙනුවට ඉන්දියානු සමාගම්වලට සහන ලබාදෙමින් ඉන්නවා. මේ ආණ්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්.”

scroll to top