මෙහෙණි සසුන හා අෂ්ට ගරු ධර්මවල සාමාජික පසුබිම

සමාජ ප්‍රතිමාන සකස් වී ඇත්තේ සමාජයෙහි වෙසෙන බොහෝ දෙනෙකුගේ ‍විවිධ රුචි අරුචිකම් අනුව බැවින් සමාජ ප්‍රතිමාන අරබයා ගනු ලබන තීරණ කෙරෙහි සාරධර්ම හෝ සදාචාරමය ප්‍රස්තුත පිළිබඳ සැලකිල්ල යො‍මු කිරීම විවාදාපන්න කරුණක් වන්නට ඉඩ ඇත. විශේෂයෙන්ම සාරධර්ම හා සදාචාරාත්මක ප්‍රස්තුතයන් කෙරෙහි මිනිස් මනස යොමු කරවා එහි වර්ධනය සිදු කිරීමට ගනු ලබන්නා වූ ප්‍රයත්නයක දී හා ඊට අදාළ ක්‍රමික වැඩපිළිවෙළක් දියත් වන අවස්ථාවක දී ඊට සමාජ ප්‍රතිමානවල වල බලපෑම පිළිබඳව මහත් සේ අවධානයට ලක් කළ යුතු වේ. එය එසේ වන්නේ එකී වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගලා යෑමට නම් පවතින සමාජයේ බාධාකාරී අවස්ථාවන් හඳුනාගෙන ඊට නිසි පිළියම් යෙදීම තුළින් ඒ බාධාවන් මඟ හරවාගෙන කටයුතු කිරීමට ඒ අදාළ වැඩපිළිවෙළ දියත් කරන්නා හා ඊට මූලිකව කටයුතු කරන්නන්හට සිදු වේ. මේ හේතුව නිසාම අනවශ්‍ය හා එතරම් වැදගත් නොවන්නා වූ හා සමාජ ප්‍රතිමානයන් දැඩි සේ උල්ලංඝනය වන කාර්යයන් ප්‍රධාන කාර්යය සමඟ පටලවා ගැනීමට ආරම්භයේදීම ඊට මූළික වන්නන් අකමැත්තක් දැක්වීම ස්වභාවිකය.

කෙසේ වුවත්, සමාජ ප්‍රතිමාන ඛණ්ඩනය සිදු කළ යුත්තේ, මූළිකවම හුදෙක් සාරධර්ම හා සදාචාරමය ප්‍රස්තුතවල මතු ආරක්ෂාව තකා නම් අනිවාර්යයෙන්ම එය සිදු කිරීම අත්‍යවශ්‍යය. නැතහොත් සමාජ ප්‍රතිමාන බිඳ දැමීමේ අභිප්‍රාය හුදෙක්, අනිවාර්යය සාරධර්ම හා සදාචාර අවශ්‍යතාවයක් නිසා නොව, ඒ සඳහා නව්‍ය සමාජ ප්‍රතිමාන හඳුන්වාදීම අරබයාම පමණක් වන අවස්ථාවල දී, ඊට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සාරධර්ම හා සදාචාර වර්ධනයෙහි ලා ප්‍රො‍්ත්සාහී වන අය නොපෙළඹේ. එසේ වන්නේ බලවත් උත්සහයකින්, එකී නව්‍ය සමාජ ප්‍රතිමාන හඳුන්වාදීම හුදෙක් සාරධර්ම හා සදාචාර වර්ධනය කෙරෙහි එතරම් උපයෝගීතාවයක් නොදක්වන බැවිනි. ඊට අමතරව කිසිදු ඵලදායිතාවකින් තොරව අනවශ්‍ය අවදානමකට ද ආරම්භයේදීම මුහුණපෑමට සිදුවීම මෙවන් අවස්ථාවල දී තවත් අවාසියක් සේ එවන් පුද්ගලයන්හට පෙනී යා හැකිය.

බුදුරදුන් විසින් භික්ෂු සමාජ සංස්ථාව පිහිට වූ මුල් වකවානුව වන විට, සමකාලීන වෙනත් ආගමික ශාස්තෘවරුන් විසින්, සමාජ ප්‍රතිමාන හා සමාජ සාරධර්ම නිර්දය විචාරයට ලක් කරමින් පැවතිනි. විශේෂයෙන්ම කුල භේදය, සමාජ සංස්ථා, අධිපතිවාදී ආකල්ප හා වැඩවසම් සමාජ ක්‍රමයෙහි පැවති දුර්වලතා වැනි සමාජ ප්‍රතිමාන බලවත් ලෙස ආගමික කර්‍තෘරුන් අතින් විචාරයට ලක්විය. හුදෙක් විවේචනය කිරීමත් විචාරයට ලක් කිරීමත් පමණක්ම විනා, අනෙකුත් ආගමික කර්‍තෘවරුන් විසින් විවේචනයට හා විචාරයට ලක් කරන ලද සමාජ ප්‍රතිමාන සඳහා වඩාත් පරිපූර්ණ, ප්‍රයෝගික, ක්‍රමවත් හා ප්‍රත්‍යක්ෂ අර්ථකථනයන් ඉදිරිපත් කිරීමට ඔවුන් ද අසමත්වීම බුදු සමයෙහි පහළවීමට ඉතාමත් ප්‍රබල උපස්ථම්භනයක් සැකසූ කරුණක් වී තිබිණි. බුදුන්ගේ මුල්ම අනුගාමික පිරිස සැකසුනේ භික්ෂුන් වහන්සේලාගෙනි. අලුත් අදහස් වලට කන් යොමන හා විචාර පූර්වක ආකල්පයකින් කටයුතු කරන්නට කැමැත්තක් දක්වන මහත් තරුණ ජවයකින් සමන්විත භික්ෂු පිරිසක් උන් වහන්සේ වටා ඒකරාශි විය.

බුදුන් වහන්සේහට ද මූලිකවම අවශ්‍ය වූයේ එකල සමස්ත භාරතය පුරා ව්‍යාප්තව පැවති අති මහත් විවිධ ආගමික හා දාර්ශනික ඉගැන්වීම් හා තරඟකාරී ලෙස ස්වකීය ඉගැන්වීම් අති මහත් ජවයකින් හා වේගයකින් අඛණ්ඩවම භාරතයෙහි ගම් දනව් රාජධානි කරා ව්‍යාප්ත කර හැරීමටය. මූලිකවම බුදුන් වහන්සේගේ ධර්මය වටා එක් රැස් වූයේ රජවරුන් ප්‍රමුඛ කුලීන රාජකීය පිරිසත්, වෙළඳ පිරිසත්, ගොවීන්, ශිල්පීන් ඇතුළු විවිධ වෘත්තීකයින් පිරිසත්, සමාජයෙහි පහත් යැයි සම්මත කුලවල ජනතාවත්ය. සමස්ත භාරය පුරාම විවිධ ප්‍රදේශවල ස්වකීය ධර්මය අති මහත් වේගයෙන් ව්‍යාප්ත කර හැරීම සඳහා මුල් වරට තොරා ගනු ලැබූ භික්ෂු පිරිසත්, විවිධ කලාශිල්ප, ආගමික හා දාර්ශනික ආ‍කල්පවලින් හෙබි, උගත්, බුද්ධිමත්, නීරෝගී, ශක්තිමත්, දුෂ්කරතා මධ්‍යයෙහි කටයුතු කළ හැකි, ජව සම්පන්න තරුණයින් පිරිසක්වීම වීම එම ධර්මයෙහි සීඝ්‍ර ව්‍යාප්තිය කෙරෙහි සෘජුවම දායකත්වයක් සැපයීය.

යම්තම් ලැබෙන දෙයකින් කුස පුරවා ගනිමින් යොදුන් සිය ගණන් දිනපතා පා ගමනින් වැඩම කරමින්, ලෙඩරෝග ආදී අනේකවිධ අපහසුතා හා අතිමහත් දුෂ්කරතා අසීරුවෙන් විඳ දරා ගනිමින්, ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළ මෙහෙය වූවෝ බුදුන් වහන්සේගේ මුල්ම සංඝ පිරිසට අයත් භික්ෂූන් වහන්සේලා වෙති. ජීව විද්‍යාත්මකව මොළයෙහි අභ්‍යන්තර ව්‍යුහාත්මක ලක්ෂණ හා ශක්තිමත් දේහ ව්‍යුහයත්, දුෂ්කරතා විඳදරා ගැනීමට සුදුසු කායික යෝග්‍යතාවයත්, දිවාරාත්‍රී වෙනසක් නොමැතිව, විවිධ ස්ථානවල, හුදකලාව, අනාරක්ෂිතව දිවි ගෙවීමට හැකියාවක් ඇති බවත් වැනි කරුණු සලකා බැලු කල ඒ සඳහා උචිතම පිරිස වූයේ ද භික්ෂුන් වහන්සේලාය. බුදුන් වහන්සේ ද මුල් කාලීනව ධර්ම දේශනා කිරීම සදහා යොදා ගනු ලැබුවේ යම් යම් ශිල්ප ශාස්ත්‍ර පිළිබදව මනා උගත්කමක් සහිත එමෙන්ම පැවිදි දිවියෙහි අත්දැකීම් සහිත පුද්ගලයන් බව පස්වග තවුසන් හා තුන් බෑ ජටිල පිරිස වැනි අය පිළිබදව සලකා බැලූ කල පැහැදිලිවම පෙනී යයි. ධර්ම දූත මෙහෙයෙහි ක්‍රියාකාරී පක්ෂයෙන් ඉතා විශාල කාර්යභාරයක් හා කැප කිරීමක් සිදු කරන ලද  භික්ෂු පිරිසගේ දායකත්වය නිසා සංඝ සමාජයෙහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයින් ලෙස සලකන ලද්දේ හා ශාසන භාරධාරී තෙරවරුන් ලෙස වගකිව යුතු ස්ථාවරත්වක් දරණු ලැබූවේ ද බුදුන් වහන්සේ විසින් ද නොමඳ ප්‍රශංසාවට ලක් කරන ලද භික්ෂු සංඝයාම වේ.

ශ්‍රාවකයින් මාර්ගඵලාවබෝධයට පැමිණීම ස්වකීය පෞද්ගලික ආධ්‍යාත්මික දියුණුව අරඹයා වැදගත් වන නමුත්, භික්ෂු සංඝ සංස්ථාව පිහිටුවීමේ මූලිකම හා ප්‍රධනතම අරමුණ බුදුරදුන්ගේ ධර්ම පණිවුඩය මිනිසුන් අතරට වඩා වේගවත් ලෙස හා ප්‍රයෝගික ලෙස ගෙනයාමයි. හෙවත් ධර්ම ප්‍රචාරණ වැඩ පිළිවෙළයි. මෙම ධර්ම ප්‍රචාරණ යාන්ත්‍රණයෙහි කාර්මක්ෂමතාවය හා ඵලදායිතාවය සඳහා බුදුරදුන් විසින් තොරාගනු ලැබූයේ ද ‍යථෝක්ත කාර්යය සදහා උචිතම පිරිස වු භික්ෂු සංඝයායි. ප්‍රජාපතී ගෝතමී දේවියගේ ඇයැදුම හා ආනන්ද තෙරුන්ගේ ඒ සදහා කැපවීම කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂූණි සංස්ථාව ආරම්භ කිරීම සදහා බුදුරදුන් අවසර ලබා දෙන්නේ,  මුලින් පිහිට වූ සංඝ සමාජයෙහි සාමාජික ප්‍රතිමාන පද්ධතියට ඉන් ඇතිවි හැකි හානිකර තත්වයන් හැකිතාක් අවම වන පරිදි අෂ්ට ගරු ධර්ම නමින් හැඳින්වෙන ආචාර ධර්ම කොට්ඨාශයක ආවරණය ලබා දෙමිනි. භික්ෂුණි සංස්ථාව පිහිටුවීමේ මූලිකම අරමුණ වූයේ ඒ සදහා කැමැත්තක් දක්වන කාන්තා පිරිසට පෞද්ගලික ආධ්‍යාත්මික සාරධර්ම සංවර්ධනයට පහසු මඟක් පාදා දීම විනා භික්ෂු සංඝ පිරිස මෙන් පූර්ණකාලීන ක්‍රියාකාරී ලෙස ජව සම්පන්නව හුදකලාව දුර බැහැර ඉතාමත් අනතුරුදායක ප්‍රදේශවල පවා තනිවම පාගමනින් වැඩම කරමින් අති මහත් ගැහැට විඳදරා ගනිමින් ධර්ම ප්‍රචාරණයෙහි නියුක්ත වීම නොවේ.

එවන් දුෂ්කර කාර්යයක නියැළි හුන් බුදුරදුන්ගේ මුල්ම ශ්‍රාවක පිරිස වූ භික්ෂුන් වහන්සේලා තමන්ගේ සෙසු පැවිදි පිරිස අතරින් මුල් තැනකලා සැලකීමට බුදුරදුන් ක්‍රියාකිරීම අසාධාරණ නොවේ. පෞද්ගලික සාරධර්ම සංවර්ධනය අරමුණුකර ආගන්තුකව පිහිටුවන ලද භික්ෂුණී සංස්ථා සාමාජිකාවන්ගේ ක්‍රියාකාරීත්වයෙහි හා මුල්ම ශ්‍රාවක පිරිස වූ භික්ෂූන් වහන්සේලාගේ සමාජ සේවා ක්‍රියාකාරීත්වයෙහි සමාජ ප්‍රතිමාන, සමාන ලෙසින් සැලකීම තත් භික්ෂු සංස්ථාවට සිදු කරනු ලබන අසාධාරණයක් වන අතර, තනිව හුදකලාව අනාරක්ෂිතව කාන්තාවකට කටයුතු කරන්නට අනුබල දීම ඒ අයගේ ජීවිත ද අනතුරට පත් කිරීමක් ද වේ. ඒ තත්වය බුදු නුවණින් දැන දැනම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට එවැනි දේ නොවළකා සිටිය හැකි ද නොවේ. හැරත් සමාජයෙන්; මිනිසුන්ගෙන් නින්දා ගැරහුම් අපවාදවලට මුහුණපෑමට ද සිදු වේ. ඒ අෂ්ට ගරු ධර්ම පණවා තිබිය දීත්, ආගන්තුක භික්ෂුණී සංස්ථාව නිසා  පසු කාලීනව මුහුණ ‍දීමට සිදු වූ උද්ගත වූ විවිධ අර්බුද හා ගැටළු මහත් රාශියක් පිළිබඳ තොරතුරු භික්ඛුණී විභංගය පුරා සඳහන්ව තිබේ.

  1. උපසම්පදාවෙන් වර්ෂ සීයක් ගත වූ මෙහෙණිය විසින් ද එදාම උපසම්පදා වූ භික්ෂුව දැක වැඳුම්, හුනස්නෙන් නැඟී සිටීම් අ‍ාදී සැලකිලි දැක්විය යුතුය.
  2. භික්ෂූන් නැති ප්‍රදේශයක හෝ අවාසයක මෙහෙණිය විසින් වස් නොවිසිය යුතුය.
  3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතුය. අවවාද දීමට භික්ෂුවකගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතුය.
  4. වස් අවසානයේ දී භික්ඛු භික්ෂූණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.
  5. ගරු ඇවතකට පැමිණි මෙහෙණිය විසින් උභතෝ සංඝයා කෙරෙහි මානත පිරිය යුතුය.
  6. දෑවුරුද්දක් ශික්ෂමානාවකව සිට එයට පසුවම උපසම්පදාව ලැබිය යුතුය.
  7. මොනම කාරණයකින්වත් මෙහෙණියක විසින් භික්ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතුය.
  8. මෙහෙණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ හැකිය. භික්ෂූන් විසින් මෙහෙණියන්ට අවවාද කළ මනාය. ඒ අවවාද මෙහෙණියන් විසින් පිළිගත යුතුමය.

( අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ගෝතමී වග්ගය ) හා ( චුල්ලවග්ග පාලි )

මෙහි 2, 3, 4, 5 හා 6 යන ගරු ධර්ම පැණවී ඇත්තේ භික්ෂූන් නොමැති ස්ථානය විසීමෙන් භික්ෂුණියන්ට සිදුවිය හැකි අනතුරුදායක තත්වයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරගැනීම අරමුණු කොටගෙනය. තත්වය එසේ තිබිය දී පවා ශික්ෂාපද 220 ක් අන්තර්ගත වන භික්ෂු ප්‍රාතිමොක්ෂය, පාරාජිකා, සංඝාදිසේස හා පාටිදේසනීය යන කොටස්හි අතිරේක ශික්ෂාපද 4 බැගින් ද පාචිත්තිය 74 කින් ද වශයෙන් භික්ෂුණි ප්‍රතිමොක්ෂයෙහි දී 304 ක් දක්වා ශික්ෂා ගණනින් වර්ධනය වූයේ භික්ෂූනීන් තුළ විද්‍යමාන විවිධාකාර දුර්වලතා හා විනය කඩවීම් සදහා අවස්ථානූකූලව පැණවුනු ශික්ෂා පද නිසාය. 3 න් කියවෙන පරිදි සෑම අර්ධ මාසකයක දීම භික්ෂුන් වෙතින් පොහොය විචාරීම හා අවවාද දීම පිණිස භික්ෂුවකගේ පැමිණීම සිදු වන්නේ නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලා ගැවසෙන ස්ථාන ආශ්‍රිතව හා නොදුරින් වාසය කරන කලය. 4 හා 5 න් කියවෙන්නේ ද භික්ෂුණී සංඝ පිරිස භික්ෂූ සංඝ පිරිස සමඟිව හා ආසන්නව විසීම අවශ්‍යතාවයයි. ඉන් අදහස් කරන්නේ නිරන්තරයෙන්ම භික්ෂුණී පිරිසේ ආරක්ෂිත බවයි. එසේම තත් යුගයෙහි වෙනත් ආගමික සංස්ථාවල පැවැති සමාජයීයය ප්‍රතිමානවල ස්වභාවය ද මෙහි දී සැලකිල්ලට ගෙන තිබේ. භික්ෂුණීන් විසින් සිදු කරනු ලබන සෑම විනය කටයුත්තක දීම භික්ෂූන්ගේ සහභාගීත්වය ලබා ගැනීම සාරිපුත්ත, මොග්ගල්ලාන වැනි දෑග සව්වන් හා අසූ මහ ශ්‍රාවකයින් වැනි තත් යුගයෙහි භික්ෂූන් විසින් ධර්ම ප්‍රචාරක කාර්යභාරය හේතුවෙන් සමාජය තුළ අත්පත් කරගෙන තිබූ මහජන අවධානය, ප්‍රසාදය, සැලකිල්ල හා සමාජ වටිනාකම ඒ භික්ෂූන්ගේ ඇසුර තුළින් භික්ෂූණීන්හට ද  ලබාදීම කේන්ද්‍රකොට ගෙන මෙම ගරු ධර්ම පැණවී තිබේ. මෙහි 6 න් කියවෙන සික්ඛමානාව  නම් උභය සංඝයාගෙන් උපසම්පදාව ලැබීමේ බලාපොරොත්තුවෙන් ප්‍රාණඝාත ශික්ෂා පදයෙහි සිට විකාල භෝජනා ශික්ෂා පදය දක්වා ශික්ෂාපද හය වර්ෂ දෙකක් නොකඩවා ආරක්ෂා කරන්නා වූ සාමනේරියයි. මෙම පැණවීම සිදු කර ඇත්තේ භික්ෂුණී සංස්ථාවෙහි මෙන්ම මූලික භික්ෂු සංස්ථාවෙහි ද සමාජයීයය ප්‍රතිමාන පිළිබදව මනාව වැටහීමක් ඇතිව, ඒවා සුරක්ෂිත වන පරිදි අධි ශීල ප්‍රතිපදාව හෙවත් උපසම්පදාව ලැබීමට යෝග්‍යතාවය හා ස්වකීය පෞද්ගලික ආධ්‍යාත්මික සංවර්ධනය පහසුවෙන් අත්පත් කරගැනීමට අවශ්‍ය මානසික කුසලතාවය සික්ඛමානාවන්හට පහසුවෙන් ලබා දීම පිණිසය.

එසේම මෙහි 1, 7 හා 8 යන ශික්ෂාපද පැණවී ඇත්තේ සමස්ත භික්ෂු සංස්ථාවට, භික්ෂු සංස්ථාව ආරම්භ කිරීම හේතුවෙන් සමාජ ප්‍රතිමාන පැතිකඩ තුළ පැණ නැඟිය හැකි කිසිදු ගැටළුවක් ඇති නොවනාකාරයෙනි. මෙහි විද්‍යමාන වන්නේ පුරුෂයා ගැහැණියට වඩා ශ්‍රේෂ්ඨය යන අදහසට වඩා ආරම්භක අවස්ථාවේ මූලිකවම පිහිටවනු ලැබූ භික්ෂු සංස්ථාවෙහි සාමාජයීය ප්‍රතිමාන පැතිකඩ පසුව පිහිටවනු ලැබු භික්ෂූණී සංස්ථාවෙහි ප්‍රතිමාන පැතිකඩ මඟින් ආරක්ෂා කරදීමකි. මේ අදහස මතුපිටින් ‍එක්වරම තේරුම්ගත නොහැකි ගැඹුරු අර්ථයකි. මෙහි නියම තත්වය තේරුම් ගත හැක්කේ මොස්තර හා අනුකාරකවාදී ස්වරූපයෙන් වර්තමාන ලාංකේය සමාජයෙහි ප්‍රචලිතව ඇති යල්පිනූ විවිධ බටහිර දාර්ශනික මතවාද අනුව නොව, මීට වසර දහස් ගණනකට පූර්වයෙන් භාරතීය සමාජ සංස්කෘතියෙහි භාෂා සංස්කෘතික මුහුණවර, සමාජයීය පසුබිම, තත් යුගයෙහි භාරතීය වෙනත් ආගමික හා සමාජ සංස්ථාවන්හි කාන්තාවට හිමි ස්ථානය වැනි කරුණු මනාව ගැඹුරින් හදාරා තිබීමේ සුදුසුකම් මත හා ඒ පිළිබදව අපක්ෂපාතීව විචාර පූර්වකව කරුණු ‍අවධානයට ලක් කිරීම අනුවය. භාරතය කේන්ද්‍රකරගත් අවිවාදිතවම ස්ත්‍රියට ගරු කරන ආසියාතික මාතෘ මූලික සමාජ ක්‍රමයක බිහි වූ, ලිංගභේදයකින් තොරව සියළු සත්ව වර්ගයාගේ විමුක්තිය පිණිස මඟ පෙන්වන බුදුසමයට බටහිර වික්ටෝරියානු පීතෘ මූලික සමාජ ක්‍රමයක පීඩිත ස්ත්‍රීන්ගේ විමුක්තිය උදෙසා බිහි වූ විවිධ කල්ලි හා ගුරු කුල වල අදහස්වලින් මතවාදී පෝෂණය ලැබීමේ අවශ්‍යතාවයක්ද මතු නොවන බව පෙන්වා දෙන්නේ ළාමක අදහස්වලින් වියුක්තව පොදු මනුෂ්‍යත්වයෙහි වටිනාකම අවධාරණය කරමිනි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top