මෙරට හස්ති පරපුරේ අභිමානය ලොවට ගෙන ගියේ ඓතිහාසික දළඳා පෙරහැරයි. – ඇමති පාඨලී

Patali.jpg

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ ශ‍්‍රී දළඳා මාලිගා පරිශ‍්‍රයේ, නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 140 ක වියදමින් ඉදිකරන ලද නව ඇත්ගාල ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය දළඳා මාලිගාව වෙත පූජා කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අද මේ දළඳා මාළිඟාවට විදුලි බලය පිළිබඳව බියවීමට දෙයක් නැහැ. මුළු රටේම විදුලිය ඇණහිටියත් මේ පෙරහැර ආදී කටයුතු සඳහා විදුලිය ලබාදීමට අපි එදා කටයුතු කළා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ අනෙකුත් ගොඩනැගිලි ආදී කටයුතුත් සම්පූර්ණ කර දළඳා මාළිගාව අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක් බවට ඊ ළඟ කෙටි කාලය ඇතුළත පත් කරන්න. ඒ වගේම මහමළුව විධිමත් අයුරින් සංවර්ධනය කර ජලය බැසයාමේ කටයුතු ද විධිමත් අයුරින් සකස් කරන්න. ලබන වසරේ මහනුවර දළඳා මාළිඟාව, මහනුවර මහ රෝහල ඒ වගේම දුම්රිය ස්ථාන, බස්නැවතුම්පල ආදිය එකට සම්බන්ධ වූ මහා පරිමාණයේ මගී ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නත් කටයුතු කරනවා. එමගින් දළඳා මාළිඟාව පුදබිමට එන වන්දනීය පිරිසගේ මාර්ග පහසුකම තවත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඉදිරි කාලයේදී මේ ටොම්ලින් පාර්ක් එකත් දියුණු කරන්න අපි කටයුතු කරනවා.

අපේ බෞද්ධ සම්ප‍්‍රදාය එදා මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් ස්ථාපිත උනා. එදා උන් වහන්සේ ඓතිහාසික, වර්තමානයට ඉතාමත්ම ගැලපෙන බුදු වදනක් අපේ දේවානම් පියතිස්ස රජතුමාට ප‍්‍රකාශ කළා. ඒ තමයි රජවරු හිතන් ඉන්නවා තමන්ගේ රාජ්‍යයන් රට, මහපොළව, වැසියො ඒ අයට අයිතියි කියලා. නමුත් මිහිඳු මහ රහතන් වහන්සේ එදා අනුශාසනා කළා මහරජ නුඹ මේ මහපොළවේ භාරකරයා පමණයි. නුඹට පමණක් නෙමෙයි අහසේ සරණ පක්ෂීන්ට, පොළවේ සරණ අපා දෙපා සිව්පා, උරගාදී සියළුම සත්ව විශේෂයන්ට, ගහකොළට අයිතියි කියලා. එය නූතන පරිසර විද්‍යාවේ සඳහන් කරන ඒ මහා දර්ශනයන්ටත් ඔබ්බෙන් ගිය මහා දර්ශයක්. ඒ මත පදනම් වෙලා තමයි අපේ ශිෂ්ඨාචාරය ගොඩනැගුණේ. ඒ වගේම අපට ආඩම්බර වෙන්න පුළුවන් ගොඩබිම ඉන්න විශාලතම ක්‍ෂීරපායී සතා හස්තියා. දියේ ඉන්න විශාලතම ක්‍ෂීරපායී සත්වයා නිල් තල්මසා. ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ නිල් තල්මසයි හස්තියයි එකට දැක ගන්න පුළුවන් එකම රට අපේ රට. ඒ නිසා අපි ආඩම්බර විය යුතුයි. අපේ මේ පුංචි රට එය රැක ගැනීම ගැන.

ඒ වගේම අපේ හස්තීන් වඳවෙලා යනවා කියලා විශාල උද්යෝගයක් පැතිරිලා යනවා. මෙය වැරදි තොරතුරක්. මම පරිසර අමාත්‍යාංශයේ ඉන්න කාලේ මම අලි සංගණනයක් කළා. අපට පෙනී ගියා 1991 ඉඳන් 2008 දක්වා කාලය තුළ අලින්ගේ ජනහනය ආසන්නයෙන් දෙගුණ වෙලා කියලා. දැනට වන අලි ප‍්‍රමාණය ආසන්නයෙන් 7,000 කට ආසන්නයි. ඒක මේ ලෝකයේ අපේ වර්ග කිලෝමීටර් ප‍්‍රමාණයත් එක්ක බැලූවහම ලෝකේ තිබෙන ලොකුම අලි ගණත්වය තිබෙන්නේ අපේ රටේ. ඒ වගේම මේ අප‍්‍රිකාවේ අලි වගේ නෙමෙයි අපේ අලියා ඉක්මනින් හීලෑ කළ හැකියි. අපි‍්‍රකාවේ අලි හීලෑ කරන්න අමරුයි. අපේ අලියාගේ මේ හීලෑ වීමට එක් ප‍්‍රධාන හේතුවක් තමයි අපේ සංස්කෘතිය. ඒ තමයි අපේ හේන සහ වැව. ඒ නිසා තමයි මේ රටේ හස්ති පන්තිය මේ තරම්ම උදාර ජනතා සංගණයක් බවට පත් වුනේ. අපි දැකලා තිබෙනවා අපි‍්‍රකාවේ හෙලිකොප්ටර් යොදාගෙන අලි මරන හැටි. ඒ වගේම ඒ ඇත්දළ ගජමුතු එළියේ තියාගෙන විකුණන හැටි. ඕනම අප‍්‍රිකාවේ වනෝද්‍යානයකට ගියහම අලි මස්වල ඉඳන් ඇත්දල ගජමුතු මිලදී ගන්න පුළුවන්.

මේ රටේ අපි එය සංරක්‍ෂණය ඉතාම ඉහළ අයුරින් කර තිබෙනවා. ඒ වගේම වැරදි මතයත් තිබෙනවා අලි ඇතුන් දළඳා පෙරහැරටවත් නැහැ කියලා. තව කට්ටියක් කියනවා අලි ඇතුන් පෙරහැරේ ගෙනයෑම සත්ව හිංසනයක් හැටියට. අපි එකක් මතක තබා ගත යුතුයි. හස්තියා තමයි මිනිසා ළඟට දැනුමෙන් ඉහලම සත්වයා. දැනුම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙනවා පමණක් නෙමෙයි අපේ සංස්කෘතියේ එදා ඉඳන්ම හස්තියත් සමග අපේ මිතුදම ගැටගැහිලා තිබෙනවා. අපේ විතරක් නෙමෙයි බෞද්ධ සංස්කෘතිය තිබෙන මියන්මාරේ, තායිලන්තයේ, ඉන්දියාවේ මේ හැම රටකම හස්තියත් සමග සංස්කෘතික ගැටගැසීම තිබෙනවා. හස්තියත් අපේ ශිෂ්ඨාචාරයේ කොටසක්. හීලෑ හස්ති පරපුරත්, වනයේ සිටින හස්ති පරපුරත් දෙකම එකට රැකගෙන ඉදිරියට ගෙනයෑම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක්.

ඒ සඳහා ප‍්‍රධානම ස්ථානය මේ දළඳා මාළිගාව. දියවඩන නිලමේ තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය සිදු කරන ඒ කාර්යයට අපේ කෘතවේදීත්වය පළ කරමින්, ඉදිරි කාලයේදී දළඳා පෙරහැර පමණක් නෙමෙයි අපේ හස්ති පරපුර, අභිමානවත් හස්ති පරපුරක් බවට මුළු ලෝකයටම ඉදිරියට ගෙනයන්න මේ දළඳා පෙරහැර තමයි උපස්ථම්භක වෙලා තිබෙන්නේ. සංඛේතවත් වෙලා තිබෙන්නේ. ඒ සඳහා අපේ සෑම ඇප උපකාරයක්ම ලබාදෙනවා පමණක් නෙමෙයි මහනුවර නගරය විධිමත් නගරයක් හැටියට සංවර්ධනය වෙනකොට ඒ දළඳා පෙරහැරේ අගය ඊටත් වඩා ඉහළට එසැවෙන කොට අපේ හස්ති පරපුරේ අගයත් තවත තවත් ඉහළට එසැවෙන බව ප‍්‍රකාශ කරමින්, සම්බුද්ධ ශාසනය පවතින තුරාවටම, හස්ති පරපුරත් ඒ ආකාරයෙන්ම අපේ සංස්කෘතියේ වෙන් කරන්න බැරි ලකුණක් හැටියට ගමන් කරනවා ඇතැයි විශ්වාසය පළකරනවා යි පැවසීය.

scroll to top