මෙරට ආර්ථිකයට තරුණ ශ්‍රම බලකාය බද්ධ නොවීම ආර්ථිකයේ සංවර්ධනයට සිදු වූ විශාල පාඩුවක්

Policy.jpg

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා

පැවති සියලු රජයන්ගෙන් සිදු වූ බලවත්ම අඩුපාඩුව රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසීමේදී තරුණ ශ්‍රමය නිවැරදිව බද්ධකර නොගැනීම බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

ජාතික තරුණ සේවා සභාවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ යොවුන් නිකේතනය විවෘත කර සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය. යුනිසෙෆ් ආයතනයේ මුල්‍ය දායකත්වය යටතේ අම්පාර දිස්ත්‍රික් යොවුන් නිකේතනය ඉදි කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ තරුණ දු දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම මෙහි අරමුණයි. නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව තරුණ සේවා මධ්‍යස්ථානයේ පරිගණක ඒකකය වෙනුවෙන් පරිගණක ලබාදීම සහ වෘත්තීය පුහුණුව සාර්ථකව අවසන් කල තරුණ තරුණියන් සඳහා උපකරණ කට්ටල බෙදා දීමද සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

ජාතික තරුණ සේවා සභාව සහ යුනිසෙෆ් ආයතනය එක්ව ඉදි කල මේ ගොඩනැගිල්ල තවත් එක් ගොඩනැගිල්ලක් නොවෙයි. සියලු ජාතින් ආගම් එකතු කරන සහජීවනයේ ගොඩනැගිල්ලක් ලෙසයි මම දකින්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා එදා ජාතික තරුණ සේවා ආයතනය බිහිකළේ ජාතික සමගිය තුළින් තාරුණ්‍ය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුවයි.

එදා සමාජය ආගම,ජාතිය, දේශපාලනය, මෙන්ම විවිධ පටු අරමුණු වෙනුවෙන් බෙදී තිබුණා. ඒ නිසා තරුණ අසහනයන් වරින් වර ඇති වුන ආකාරය අපිට හොදට මතකයි. තාරුණ්‍යයේ දක්ෂතා ජාතික තලයට ගේන්න එදා අවස්ථාවක් තිබුණේ නැහැ. උතුරේ එදා පැවති යුද්ධයත් දකුණේ පැවති භිෂණයත් අපේ රට අගාධයකට තල්ලු කළා. ඒ නිසා රට යථා තත්ත්වයට ගන්න අපිට විශාල වැඩකොටසක් කරන්න සිද්ධ වෙලා තියනවා.

ජාතික තරුණ සේවා සභාව මම දකින්නේ තාරුණ්‍යයේ දක්ෂතා කුසලතා ජාතික තලයට ගේන වාහනය ලෙසයි. අපේ රජය යටතේ ගෙන යන නව වැඩපිළිවෙල හරහා ජාත්‍යන්තර සහයෝගය අපට ලැබෙමින් තිබෙනවා. යුනිසෙෆ් ආයතනයේ මේ ලැබෙන සහය එහි තවත් එක් අවස්ථාවක්. තරුණ දරුවන් ඒ අවස්ථා වලින් නිවැරදිව ප්‍රයෝජන ගත යුතුයි.

ගරු අගමැතිතුමා තාරුණ්‍ය ශක්තිමත් කිරීමේ වැඩ සටහන ගැන ඉතාමත් අවධානයෙන් කටයුතු කරනවා ඒ නිසා එතුමාගේ අමාත්‍යංශය යටතට තරුණ කටයුතු අංශය අරගෙන ඉතිහාසයේ කවර දාකටත් වඩා මුල්‍ය ප්‍රතිපාදන ඒ වෙනුවෙන් වෙන් කරමින් තරුණ ශ්‍රමය සවිබල ගැන්වීමට කටයුතු කරනවා. ජාති ආගම් භේද නැති කරලා ශ්‍රී ලාංකිකයන් විදිහට එකතු වෙලා මේ රට සංවර්ධනය කිරීමට තාරුණ්‍ය දායක කරගැනීමයි එතුමාගේ අරමුණ.

මෙරට ආර්ථිකය ගෝලීය ආර්ථිකය සහ සම්බන්ධ කිරීමේදී මෙරට තාරුණ්‍ය කුසලතා පුර්ණ ශ්‍රම බලකායක් ලෙස සංවර්ධනය කිරීම ඉතා වැදගත්. මෙරට තාරුණ්‍යට ඒ ශක්තිය තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මෙරට ආර්ථිකය සහ තරුණ ශ්‍රමය නිවැරදිව බද්ධ කර නොගැනීම පැවති රජයන්ට සිදු වූ විශාල අතපසු වීමක්. ඒ හිඩැස පුරවන්න ශක්තිමත් ශ්‍රම බලකායක් රටට අවශ්‍යයි අපි උත්සහ කරන්නේ ඒ ශ්‍රම බලකාය නිර්මාණය කරන්න.

අද ගමේ නායකත්වය තාරුණ්‍යයට භාරදීලා ගම දියුණු කරන වැඩපිළිවෙලට තරුණයා සහභාගී කරගෙන තිබෙනවා. ගමේ සංවර්ධනය සඳහා ප්‍රතිපාදන පවා ඒ තරුණ නායකයන්ට ලබාදෙනවා. ඒක සාර්ථක ව්‍යාපෘතියක්. ඒ වගේම youth got telant වගේ වැඩසටහන් තුලින් ගමේ තාරුණ්‍යයේ කුසලතා දක්ෂතා ජාතික තලයට ගේන්න කටයුතු කරමින් සිටිනවා. එහි නියම ප්‍රයෝජන ලබා ගැනීම තරුණ ඔබේ වගකීමක්.

තරුණ තරුණියන් විවිධ බලවේග වලට ඉක්මනින් ගොදුරුවන බව බොහෝ දෙනා පවසනවා නමුත් අපි ඒ තාරුණ්‍ය නිවැරදිව අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් අපිට පුළුවන් ඔවුන් රටේ අනාගත යහපත වෙනුවෙන් යොදවන්න. ඒ සඳහා රජය ලෙස අපි නව ව්‍යාපෘති ඉදිරියේදී හදුන්වා දෙන්න කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

යුනිසෙෆ් ආයතනයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය පවුලා බුලන්සියා, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය කේ. ඒ.එස්. කීරගල, අම්පාර දිසාපති තුසිත පී වනිගසිංහ යන මහත්මමහත්මීන් ද මෙහිදී අදහස් පල කළේය.

මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

scroll to top