මෙතෙක් අප ලඟා කරගත් දේ ඇතැමුන්ට “ළදරු පියවරවල්” වුවත් අපට නම් ඒවා “යෝධ පිමි” ය

mangala-un.jpeg

2015 ජනවාරි මාසයේ සිට මෙතෙක් අප ලඟා කරගත් දේවල් ඇතැමුන්ට “ළදරු පියවරවල්” ලෙස පෙනී යා හැකි වුවත් තමන්ට නම් ඒවා “යෝධ පිමි” බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ජිනීවා හිදී මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරය අමතමින් කියා සිටියේය.

ජාත්‍යන්තර සහභාගිත්වය ලබා ගන්නා ස්වභාවය, මට්ටම හා ඔවුන්ගේ භූමිකාව පිළිබඳව විවිධ මතිමතාන්තර පැවතියත් එකී විවිධ වූ මතවාදයන් නොතකා අවසානයේ දී ස්ථාපනය කරනු ලබන්නේ සියලුම පාර්ශ්වකරුවන්ගේ, විශේෂයෙන්ම වින්දිතයන්ගේ විශ්වාසය දිනා ගන්නා, සාධාරණ විනිශ්චය හා නිසි ක්‍රියාදාමය සහතික කෙරෙන යාන්ත්‍රණයක් බව සමරවීර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

සම්පූර්ණ කථාව

සභාපතිතුමනි,

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමනි,

උතුමාණනි,

සමභාවනීය නියෝජිතයිනි,

 

පසුගිය ඔක්තෝබරයේ පැවති මෙම කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා වගවීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වූ 30/1 යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දක්වමින්,රටක් ලෙස වෙන් ව, ස්වයං හුදෙකලාවට පත්ව සහ නුරුස්නාකාරී ලෙස ගත කළ වසර ගණනාවක කාල පරිච්ඡේදය 2015 ජනවාරි මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෝරා පත් කර ගැනීමත් සමඟ නිමාවට පත් කළේය.

1948 දී නිදහස් ලැබීමත් සමඟ “පෙරදිග ස්විට්සර්ලන්තය”ක් බවට පත්වීමේ හැකියාවකින් යුක්ත වූ ශ්‍රී ලංකාවට අතීතයේ දී රටක් වශයෙන් මුහුණ පෑමට සිදුවූ ඛේදවාචකයන්ට නැවතීමේ තිත තබමින්, අපි දැන් අපගේ ජනතාව සත්‍ය වශයෙන්ම අපේක්ෂා කරන සාමය හා සමෘද්ධිය උදාකර ගැනීම පිණිස නව රටක් ලෙස අභීතව ඉදිරියට යෑමට සූදානමින් සිටිමු.

මෙම වසරේ පෙබරවාරි 04 වැනි දින පැවති 68 වැනි නිදහස් දින උත්සවයේ දී ජනාධිපති සිරිසේන මහතා, නව ශ්‍රී ලංකාවක් සඳහා පසුබිම සකසමින් 30/1 යෝජනාවලියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට තමා දක්වන කැපවීම අවධාරණය කළේය.

අප රටේ, අප ජනතාවගේ හා අපගේ ආරක්ෂක හමුදාවල අභිමානය සුරකිනු වස් මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඇපකැප වී කටයුතු කරන බවත් ඉවසීමෙන්, ශික්ෂණයකින් හා සංයමයකින් හා යුතුව මෙම යෝජනා ක්‍රියාත්මක කරන බවත් මෙම යෝජනාවලියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව .ශක්තිමත් වනු ඇති  බවත් එතුමා ප්‍රකාශ කළේය.

මෙම වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුව පත් වී ප්‍රථම වර්ෂ පූර්ණය සමරන අවස්ථාව වන විට සතුටට පත්විය හැකි ආකාරයකින් ආවර්ජනය කළ හැකි ජයග්‍රහණ රැසක් දැක ගත හැකි වනු ඇත.

පළමු දින 100 තුළ දී සිදු කිරීමට හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් රැසක් තහවුරු කරගන්නා අතරවාරයේ අප රටේ ජනතාවට ප්‍රතිලාභ අත්වන අයුරින් ඵලදායි ආකාරයකින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින්, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට, මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීමට, සංහිඳියාව පෝෂණය කිරීමට සහ ආර්ථික සංවර්ධනය උදාකර ගැනීමට අදාළවන සියලුම පැතිකඩවල් පිළිබඳව කටයුතු කිරීම අප විසින් දැනටමත් ආරම්භ කර ඇත.

සංහිඳියා යාන්ත්‍රණය ඵලදායි ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කරලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ, ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සම්බන්ධීකරණය කිරීම සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවා තිබේ.

අපේක්ෂා කරන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ක්‍රියාවලිය ඵලදායි අයුරින් යොදා ගැනීමට නම්, ඊට අවශ්‍යවන යාන්ත්‍රණ මනාව පෙළගස්වා, එම කටයුතු සමෝධානිකරණය කර සම්බන්ධීකරණය කළයුතු බවට රජය හඳුනා ගනියි.  යාන්ත්‍රණ පෙළ ගැස්වීමේ ක්‍රියාවලිය, ප්‍රමාදකිරීමේ උපක්‍රමයක් හෝ අධිකරණය යන සංරචකය ඉවත්කිරීමට අනුගමනය කරන විධි ක්‍රමයක් වන බවට ඇතැමුන් අනතුරු හැඟවීමට පටන් ගෙන තිබේ.  මෙය වැරදිය.  ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය දැනටමත් විශේෂඥ පුද්ගලයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර විමර්ශන කටයුතු සිදුකිරීමේ තාක්ෂණයන්, අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥභාවය, නඩුපැවරීමේ උපක්‍රම වැනි අදාළ යාන්ත්‍රණ සඳහා අවශ්‍ය පුහුණුව ලබාගැනීම හා ධාරිතා සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතියි.  සාකච්ඡා කිරීමෙන් අනතුරුව සකසනු ලබන සැලසුම් වලට අනුව, මෙම යාන්ත්‍රණ සඳහා අවශ්‍ය විශේෂඥභාවය ද ලබාගනු ඇත.

පූර්ණ වශයෙන් සිවිල් සමාජ නියෝජිතයින්ගෙන් සමන්විත වන කාර්ය සාධන බලකායක් පත් කරනු ලැබ ඇති අතර මෙමගින් සත්‍ය සෙවීම යුක්තිය, වගවීම හා හානිපූරණය යන යාන්ත්‍රණ සැලසුම් කිරීමට ප්‍රයෝජනවත් වන පරිදි, මහජනතාවගේ අදහස් හා මත පිළිබඳව සලකා බලනු ඇත.

ගැටුම් නැවත ඇති නොවීම අරමුණු කර ගනිමින් ප්‍රතිසන්ධානයට අදාළ පුළුල් ගැටලු  සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ කර්තව්‍යය සම්බන්ධීකරණය කරනු ලබන්නේ ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන කාර්යාලය විසිනි.  මෙම කාර්යාලය ජනාධිපතිතුමාගේ විෂයපථය යටතට ගැනෙන අතර එය මෙහෙයවනු ලබන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසිනි.

සත්‍ය සෙවීමේ ක්‍රියාවලියට අනිවාර්යෙන්ම ඇතුළත්විය යුතු අංගයක් වන අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ නිත්‍ය හා ස්වාධීන කාර්යාලයක් ස්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙන ලදී.  සංක්‍රාන්තිමය යුක්තිය පිළිබඳ වැඩසටහනේ පළමු යාන්ත්‍රණය දැනටමත් ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර එය පාර්ලිමේන්තුවේ  න්‍යායපත්‍රයට ද ඇතුළත් කර තිබේ.  මෙය ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ එක් සන්ධිස්ථානයක් ලෙස අපි දකිමු.

අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නුදුටු සහතික නිකුත් කිරීමට හැකිවන පරිදි 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන)  පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයීය අනුමැතිය ලැබී ඇති අතර මෙම මාසයේ මුල් භාගයේ දී එය ගැසට් පත්‍රයේ  පළ කරන ලදී.  මෙයද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන අතර ඒ පිළිබඳව ජුලි මාසයේ දී සාකච්ඡා කිරීමට නියමිතය.

සියලු පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කරවීම්වලින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කරනු ලැබූ අතර, එම සම්මුතියේ විධිවිධානවලට බලාත්මකභාවය ලබා දීම සඳහා වන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හා ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා එළඹෙන ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

පුළුල් සාකච්ඡා තුළින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලද තාක්ෂණික සහාය උපයෝගී කර ගනිමින්, ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අවතැන්වීම් සම්බන්ධයෙන් කල්පවත්නා විසඳුම් ලබාගැනීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකසා ඇත.  මෙම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයීය අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති අතර මහජනතාව අතට ද පත්කර තිබේ.

මානව හිමිකම් සුරැකීම හා ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා  ශ්‍රී ලංකාව දක්වන ඇපකැප වීම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇති බැඳීම්වලට අනුව කටයුතු කරමින්, බොහෝ විවේචනයන්ට හා අනිසි භාවිතාවට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සකස් කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ නව නීතිකරණයේ පළමු කෙටුම්පත පිළිබඳව වැඩ කටයුතු, අදාළ කමිටුව විසින් අවසාන කරනු ලබමින් සිටියි.  මේ සඳහා අවශ්‍ය වූ තාක්ෂණික සහාය, එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැළැක්ව්මේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලබා ගැනීමට ඉල්ලීම් කර තිබේ.

වධහිංසා කිසිසේත්ම නොඉවසීමේ ප්‍රතිපත්තියක් රජය විසින් අනුගමනය කළද, එවැනි සිදුවීම්වල අඩුවක් මිස නැවතීමක් දක්නට නොමැත.  මෙම ගැටලුවේ බරපතළකම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ පොලිස් කොමිසමේ ද සහාය ඇතිව පොලිස් නිලධාරීන් සඳහා වූ පුහුණු වැඩසටහන් පැවැත්වීමට අමතරව මහජනතාව දැනුම්වත් කිරීමටත්, ඊට අවශ්‍ය කරන මහජන දේශන පැවැත්වීම ආරම්භ කිරීමටත් කටයුතු කරමින්, නඩු පැවරීම සහ දඬුවම් පැමිණවීම් ඇතුළුව වධහිංසා වැළැක්වීම් හා මුලිනුපුටා දැමීම ඉලක්ක කරගත් වෙනත් විවිධ පියවර අනුගමනය කිරීමට අපේක්ෂිතය.

2017-2021 වසර සඳහා වූ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලත් අන්තර් අමාත්‍ය කමිටුවක් වෙත පවරා තිබේ.

පසුගිය සතියේ හමුදාව විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාරයට මුදාහළ ඉඩම් අක්කර 701 න් අක්කර 201.3 ක් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත ලබා දීම ජුනි 25 දින සිදුවිය.  සිවිල් ජනතාවගෙන් ලබාගත් සියලු ඉඩම් 2018 වන විට සම්පූර්ණයෙන්ම යළි මුදාහැරිය යුතු බව රජය හමුදාව වෙත දැනුම් දී ඇති අතර ජාතික ඉදිකිරීම් හා සංවර්ධන කාර්යයන් සඳහා අවශ්‍යවන යම් බිම් කොටස් වෙතොත්, ඒවායේ අයිතිකරුවන් සඳහා සම්පූර්ණ වන්දි ගෙවීම් සිදුකළ යුතු බව ද දන්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සහ සංහිඳියාව යන මූලික කුළුණු තුන මත නව ශ්‍රී ලංකාවේ නිර්මානය වී ඇත.  ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ද රජය මේවන විට කටයුතු කරමින් සිටී.  මෙම ව්‍යවස්ථාව මගින්, පසුගිය වසර මුළුල්ලේ දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ආරක්ෂා කරන අතරම විවිධ ජාතීන් විවිධ ආගම්වලට අයත් විවිධ භාෂා කථා කරන ජනතාව වෙසෙන විවිධත්වයෙන් පිරි රටක් වශයෙන් සියලු දෙනාටම සම අයිතීන්, සාධාරණය සහ අභිමානය භුක්ති විඳිය හැකි වන අයුරින් නිදහස දිනු දා පටන් අප රට වෙළා පැවති අඳුරු වළා පට ඉරා දමමින් ජාතියක් වශයෙන් යා යුතුව තිබූ ඒකීය ගමන් මග ඇහිරූ ඇතැම් බාධක පසෙකලා යළි පිබිදීමක් තහවුරු කිරීම අපේක්ෂා කරයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත මහජන අදහස් ලබා ගැනීම සඳහා පත්කළ මහජන නියෝජිත කමිටුවේ වැඩකටයුතු මේ වන විට සම්පූර්ණ කොට ඇති අතර එම වාර්තාව රජය වෙත භාර දී තිබේ.

ශ්‍රී ලංකාව දැන් ලෝකයට විවෘත වී ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව සමඟ උද්යෝගයෙන් මෙන්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි.  බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් සිදුවන අතුරුදන් කරවීම් පිළිබඳව කටයුතු කරන ක්‍රියාකාරී කණ්ඩායම, විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත සහ හිංසනයට එරෙහි විශේෂ නියෝජිත මෙහි පැමිණ ඔවුන්ගේ නිරීක්ෂණ අප සමඟ බෙදා ගැනීමට කටයුතු කළ අතර එම නිරීක්ෂණ පිළිබඳව කටයුතු කෙරෙමින් පවතී. සත්‍යය, යුක්තිය, හානි පූරණය ප්‍රවර්ධනය කිරීම  සහ යළි ගැටුම් ඇතිවීම වැළැක්වීම සහතික කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු එක් වසරක් තුළ තෙවතාවක් තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස අප හමුවට පැමිණ ඇත.  මහකොමසාරිස්තුමනි, පෙබරවාරි මාසයේ ඔබතුමා සාදරයෙන් පිළිගැනීමට අපි කැමැත්තෙන් බලා සිටි අතර, මහලේකම් බෑන්-කී-මූන් මහතා මේ වසරේ දී ද අප රටට පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

සාධාරණ ලෙස හෝ අසාධාරණ ලෙස අපට විවේචන එල්ලකරන පුද්ගලයින් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාටම අප රටට පැමිණෙන ලෙස ආරාධනයක් කිරීමට කැමැත්තෙමු.  නිවැරදි පදනමකින් එල්ලවන ප්‍රශංසා මෙන්ම විවේචන ද භාර ගැනීමට අප සූදානමින් සිටින අතර ඒවා තුළින් ආ ගමන් මග ලෙස ආපසු හැරී බැලීමත්, ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමත් අපගේ අපේක්ෂාවයි.

අප සතු එක් දුර්වලතාවක් නම් අපගේ ක්‍රමෝපායන් සහ සැලසුම් ඵලදායි ලෙස සන්නිවේදනය කිරීමේ නොහැකියාවයි.  මෙම අත්‍යාවශ්‍ය කාරණය සපුරාගැනීම සඳහා සන්නිවේදන මාවතක් ආරම්භ කිරීමේ කටයුතු දැනටමත් සැලසුම් කරමින් තිබේ.

සභාපතිතුමනි,

සංහිඳියාව එක් රැයකින් ඇති කිරීමට නොහැකි ය.ඒ සඳහා උත්සාහය, වෙහෙස වී කටයුතු කිරීම, දැඩි කැපවීම තිබිය යුතු අතර ප්‍රවේශම් සහගතව හා අඛණ්ඩව, ස්ථිර ක්‍රියාමාර්ගවල නියැලිය යුතුය. සංහිඳියාව යනු, ළඟාකරගත් පසු තවදුරටත් කටයුතු කිරීම අවශ්‍ය නොවේ යැයි සිතා අවසාන කළ හැක්කක් නොවේ. එය, නිරන්තරයෙන් වෙර දැරිය යුතු දීර්ඝ ගමනකි. එය, අපගේ ජාතිය පරම්පරා ගණනක් මුළුල්ලේ සිදුකළ යුතු වූ කැප කිරීමක් මෙන්ම පාලනයේ කේන්ද්‍රික පිළිවෙත විය යුතුව ඇති කාරණයකි. මන්ද යත්, මෙවර අප නැවතත් පසුබා ගියහොත් ගෙවීමට සිදුවන වන්දිය, වසර 30කටත් අධික කාලයක්  මුළුල්ලේ වැගිරූ ලේ කඳටත් වඩා වැඩි වනු ඇත.

පැරණි රෝමවරු පැවසුවාක් මෙන්, අප අද අනුගමනය කරන්නේ “festina lente” හෙවත් යමක් කඩිනමින් කරනවාට වඩා වඩාත් නිවැරදි ව කිරීමේ ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.  එහෙයින් අප අත් කර ගන්නා ප්‍රගතිය ඇතැමෙකුට වඩා ඉක්මන් ලෙසත්, ඇතැමෙකුට වඩා ප්‍රමාද ලෙසත් පෙනෙනු ඇත.

2015 ජනවාරි මාසයේ සිට මෙතෙක් අප ලඟා කරගත් දේවල් ඇතැමුන්ට “ළදරු පියවරවල්” ලෙස පෙනී යා හැකි වුවත් අපට නම් ඒවා “යෝධ පිමි” ය.  අප පමණට වඩා සර්ව ශුබවාදීව, උද්‍යොගීමත්ව, බලාපොරොත්තු තබා ගෙන ඇතැයි ඇතැම්හු චෝදනා කරති. ඔව්, එය එසේම බව අපි පිළිගනිමු.  එසේ නොවුවහොත් අපගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අපි කටයුතු කරන්නේ කෙසේද?  වැදගත්වන කරුණ වන්නේ අපගේ සර්ව ශුබවාදී විශ්වාසය, මුලාව මත පදනම් නොවීමයි.  එය පදනම් වී ඇත්තේ මෙතෙක් අප විසින් ළඟාකර ගැනීමට සමත් වූ සත්‍ය ප්‍රතිඵල මත හා සමායෝජිත, ඒකාබද්ධ හා මනා ලෙස පෙළ ගස්වන ලද ආකාරයකින් විවිධ ක්‍රියාවලීන් සිදු කරගෙන යාමට අපට හැකියාව ලබාදෙන විස්තීරණ උපාය මාර්ගයක් ඔස්සේ අපගේ රජය කටයුතු කරගෙන යන බවට ඇති අවබෝධය මතය.

 

වහ වහා සිදුකළ යුතු කාර්යයන් හි නිරතවන අතරම, ජාත්‍යන්තර සහායද ලබා ගනිමින් අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමේ වඩා බරපතළවූත් විවාදාත්මකවූත් කර්තව්‍යය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ උපාය මාර්ග හා සැලසුම් පිළිබඳව ද අපි කටයුතු කරන්නෙමු.  ජාත්‍යන්තර සහාය සහ සහභාගිත්වය ශ්‍රී ලංකාවට ආගන්තුක වූවක් නොවේ.  මීට ඉහත ද බොහෝ විමර්ෂණ හා විශේෂඥයන් අප සමඟ කටයුතු කර තිබේ.

ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තර සහභාගිත්වය ලබා ගන්නා ස්වභාවය, මට්ටම හා ඔවුන්ගේ භූමිකාව පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. එකී විවිධ මතවාදයන් නිරෝගීමත් ප්‍රජාතන්ත්‍රවාදයක හා උපදේශන ක්‍රියාවලියක ලක්ෂණයකි.  කෙසේ වුවද එකී විවිධ වූ මතවාදයන් නොතකා අවසානයේ දී ස්ථාපනය කරනු ලබන්නේ සියලුම පාර්ශ්වකරුවන්ගේ, විශේෂයෙන්ම වින්දිතයන්ගේ විශ්වාසය දිනා ගන්නා, සාධාරණ විනිශ්චය හා නිසි ක්‍රියාදාමය සහතික කෙරෙන යාන්ත්‍රණයක් බව මට තහවුරු කළ හැකිය.

 

අප ඉදිරියේ ඇති මාවත සැබවින්ම අභියෝගාත්මකය. නමුත් එය, සංහිඳියාව ළඟාකර ගැනීම සඳහා අප තුළ ඇති අධිෂ්ඨානයෙන් හා ධෛර්යයෙන් බල ගැන්වී ඇත. ඇතැමුන් අපගේ අවංකභාවය පිළිබඳව සැකපහළ කරති. අප පරාජය වනතුරු බලා සිටින අය කිහිපදෙනෙක් ද වෙති.  අවංකවම අප රට ගැන උනන්දුවක් දක්වමින් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන අපගේ මිතුරන්ට, ප්‍රමාද වන සෑම තත්පරයක්ම කල්පයක් ලෙස හැඟී යා හැක.  රජය අතරමං වී ඇති බවත්, සාර්ථකත්වය සඳහා වූ දේශපාලන අභිප්‍රාය අත් හැර දමා ඇති බවත් සිතමින් ඔවුහු බියට පත්ව සිටිති.  එමෙන්ම, වැරදි තොරතුරු නිසා නොමග ගොස්, මෙතෙක් ළඟා කරගත් ජයග්‍රහණයන් පිළිබඳව අනවබෝධයකින් යුතුව රජය අවිශ්වාස කරන පිරිසක් ද වෙති.  එපමණක් නොවේ, අපගේ අසාර්ථකත්වය ප්‍රාර්ථනා කරන පිරිසක් ද වෙති.  ඔවුන් නම්, අතීත අඳුරු සෙවනැලි මත රැඳෙමින්, ශ්‍රී ලංකාව සංහිඳියාවේ මාවත ඔස්සේ ජයග්‍රහණය කරා යනු දකින්නට අකමැතිව, එම ප්‍රයත්නය අසාර්ථක වන තෙක් සිට ජයපැන් බොන්නට සූදානම්ව සිටින, බෙදුම්වාදයට සම්බන්ධ වූ දෙපාර්ශ්වයේම අන්තවාදී කණ්ඩායම් ය. අන්තවාදීන්ට මම කිසිවක් නොකියමි, නමුත් සංහිඳියාව, සංවර්ධනය අත් කරගැනීමටත්, නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් රජය එක්සත්ව, අධිෂ්ඨානශීලීව කැප වී සිටින බව අනෙක් සියලු දෙනාටම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.  මෙකී අතිශය අභියෝගකාරී, එහෙත් අපගේ ජාතියට අත්‍යාවශ්‍ය වූවක් වූ මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු පිණිස, ඔබගේ සැක සංකා ද මෙවලමක් කොට ගෙන අපි ඉදිරියට යන්නෙමු.

 

ම විසින් මීට පෙරද සඳහන් කරන ලද පරිදි ශ්‍රී ලංකාව දැන් සෙසු ලෝකයට විවෘතව ඇති අතර, මෙහි පැමිණ අප විසින් සිදු කර ඇත්තේ මොනවාද යන්න දැක බලා ගනිමින්, අපගේ මෙම ඓතිහාසික ගමනට සහාය ලබා දෙන මෙන් මම අපගේ සියලුම මිතුරන්ගෙන් ඉල්ලා සිටිමි.

 

ලබන වසරේ මාර්තු මස මා මෙහි නැවත පැමිණෙන අවස්ථාව වන විට, අප විසින් ගොඩනගන්නට අපේක්ෂා කරන නව ශ්‍රී ලංකාවේ ආකෘතිය මීටත් වඩා පැහැදිලි ලෙස අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැ යි මම විශ්වාස කරමි.

 

සභාපතිතුමනි, මෙම අභියෝගාත්මක ගමනේ දී අපට උපදෙස්, තාක්ෂණික සහාය, සම්පත් ලබාදෙමින් සහ ආයෝජන සිදු කරමින් ශ්‍රී ලංකාවට නන් අයුරින් සහාය ලබා දෙන සියලුම දෙනා විසින් ඉටු කරනු ලබන කාර්ය භාරය මගේ මහත් වූ ඇගැයීමට ලක්වෙයි. මහකොමසාරිස්වරයා හා ඔහුගේ කාර්ය මණ්ඩලය අප වෙත ලබා දෙන සහයද බෙහෙවින් අගය කරමු.  අපගේ ජයග්‍රහණයන් මහකොමසාරිස්වරයාගේ වාර්තාව මගින් පිළිගැනීමට ලක් කර ඇති බව පෙනී යයි. අතීතය දෙස ආපසු හැරී බලමින්, අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා ගැටලුවලට විසඳුම් ලබාදීමට අපට උපකාරී වන ආකාරයේ නිරීක්ෂණ ලබා දීම වෙනුවෙන් මාගේ ප්‍රශංසාව පුද කරන අතර, ආර්ථික හා සමාජ ප්‍රගතිය, සංහිඳියාව හා අපගේ ජනතාවට කල්පවත්නා සාමය උදා කර දීම අරමුණු කර ගනිමින් අප යන මේ ගමනේ දී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩ හා සමීප සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරමු. ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව, අපගේ මෙම කර්තව්‍යය සඳහා සහාය ලබා දෙන මෙන් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

 

ස්තූතියි.

scroll to top