මෙකල මඟඵල ලැබිය හැකිද?

B1.jpg

බුදු දහම පිළිබඳ උනන්දුවක් දැක්වූව ද බුදු දහමේ සුවිශේෂි අනන්‍යතාවය පිළිබඳව එතරම් සාකච්ඡා වන බවක් නො පෙනේ. බුදු දහමේ සුවිශේෂී අනන්‍යතාවය යනු කුමක්ද? එනම් රාග, ද්වේෂ හා මෝහ යන කෙලෙස් සිතිවිලි යළි නැඟ නො එන පරිදි නිට්ටාවට ම ප්‍රහාණය කිරීමයි. බුදු දහම සෙසු ආගමික ඉගැන්වීම් අතරින් වෙනස් වන ප්‍රමුඛතම කාරණය නම් මෙයයි. නමුත් අද බුදු දහම පිළිබදව ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහ කිරීමට උනන්දු වන බොහෝ අය ඉතා ඉක්මනින් අමතක කර දමන කාරණය ද මෙයයි. බුදු දහමේ ගැබ් වන වචනයෙන් විග්‍රහ කිරීමට අසීරු කරුණ ද එයමය. බාහිර ඔපය ගරුකරන අවශේෂ සමාජයට ආකර්ශණීය නොවන කරුණක් නිසා දෝ කිසිවෙක් එතරම් විශාල සැලකිල්ලක් මේ කරුණ පිළිබඳව නොදක්වති.

නමුත් එම කරුණ පිළිබඳව කියාපෑමට ඇති ආකර්ශණීය වචනය කෙරෙහි නම් පමණට වඩා බැඳී යන බවක් දක්නට ලැබේ. එසේ පැවසීමට හේතුව හුදෙක් බාහිර ඔපය සලකා එම වදන නිරතුරු භාවිතයේ යෙදෙන බැවිනි. එම වදන නම් මාර්ගඵල අවබෝධයයි. නැතහොත් ප්‍රතිවේධ ධර්මයයි. මෙය ඇසූ සැණින් සිහිපත් වන්නේ රහතන් වහන්සේලාවය. මාර්ගඵල ලාභය යන්න වර්තමාන කාලයේ දී හුදෙක් බාල ජනප්‍රියත්වය තකා බහුලව භාවිතයේ යොදන ලද වචනයකි. මේ හේතුව නිසාම එම වදන ගැඹුරින් විග්‍රහ කිරීම පමණක් නොව එහි දී සිදු වන ගැඹුරු මානසික ක්‍රියාකාරීත්වය පවා නියමාකාර ලෙසට විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට අද බහුතර පිරිසකගේ අවධානය යොමු නොවන බවක් පෙනී යයි. ඒ වෙනුවට සිදු වන්නේ බාල, ලාභ ජනප්‍රියත්වය තකා මාර්ගඵල යන වදන ව්‍යවහාර කිරීම පමණකි. ඒ අනුව ඇතැම් ගිහි පැවිදි අය තමන් මාර්ගඵල ලාභීන් ලෙස පෙනී සිටින අතර ඉතා බොළඳ බාල වර්ගයේ ප්‍රසිද්ධියක් තකා උත්තරීතර මනුෂ්‍ය ධර්ම ප්‍රසිද්ධ වේදිකාවල අති උත්කර්ෂණයෙන් යුතුව අලෙවි කිරීමේ තරඟයක නිරතව සිටිති.

කණගාටුවට කරුණ නම් මේ වාණිජ ප්‍රවාහයේ මුදල් සෙවීමේ උත්සාහක නිරතව සිටින ඇතැම් ජන සන්නිවේදන මාධ්‍යයන් පවා මෙවැනි අඳබාල උත්සාහයන්වලට උඩගෙඩි ලබාදීමයි. නිවැරදි දේ තුළ උත්කර්ෂණය නැති බැවින් ආකර්ශණයක් ද නැත. වැරදි දේ උත්කර්ෂණයට නංවා ඉදිරිපත් කිරීම තුළ ආකර්ශණය ඉපිදවිය හැකිය. ඒතුළ වැඩි අලෙවිය ද තිබේ. මෙබඳු ඇතැම් ජන සන්නිවේදන මාධ්‍යයන් ක්‍රියාත්මක වන්නේ වැඩි අලෙවිය ඇති නිවැරදි නොවන බාල වර්ගයේ උත්කර්ෂණ පාදක කරගෙනය. විවිධ වර්ගයේ සෘද්ධි ප්‍රාතිහාර්ය, මවාපෑම්, සුවකිරීම් ආදි භෞතික වශයෙන් පිටතට ප්‍රදර්ශනය කළ හැකි විජ්ජාමය, ඇස්බැන්දුම්වලට කවදත් මේ වාණිජ භෞතික අර්ථ ක්‍රමයේ වැඩි වටිනාකමක් තිබේ. එම වටිනාකම බුදුරදුන් ජීවමාන කාලයේදීත් මේ ලෙසම තිබුණි. අද ද එය පතියි. හෙට ද පවතිනු ඇත. එය ලෝක හා සත්ව ස්වභාවයයි. සත්වයා සසරින් ගැලවීමට නොසිතන ප්‍රධාන හේතුවත් එයමැයි.

කිසිදු වාණිජ වටිනාකමක් නැති, යථාර්ථවාදී නිවැරදි සත්‍ය මාර්ගඵල අවබෝධයට වැඩි දෙනෙකුගේ අවධානය යොමු නොවීමේ නියම අර්ථය පිටුපස ඇති සැඟවුණු හේතුව ද මෙයමය. බොහෝ දුෂ්කරතා, අභියෝග මැද විදර්ශනා භාවනාවට එළඹ, අසීරුවෙන් භාවනාව ද වර්ධනය කර පසුව මාර්ගය අමාර්ගය තීරණය කරන අවස්ථාව පැමිණි විට දී බහුතර දෙනෙක් මාර්ගය යැයි අමාර්ගයත්, එසේම අමාර්ගය යැයි මාර්ගයත් තෝරා ගැනීමට හේතුවත් මෙයමය. මාර්ගඵල ලාභය පිණිස ඇති නියම මාර්ගය ආකර්ශණීය නැත. අමාර්ගය ආකර්ශණීයය. නියම මාර්ගය විඳීම, විඳ ගැනීම හෙවත් තෘෂ්ණාව ප්‍රහාණය කිරීමේ ක්‍රමවේදය බැවින් එය ආකර්ශණීය නොවේ. ආකර්ශණීය වැරදි මඟෙහි විඳීම, විඳ ගැනීම ඇති බැවින්ම තෘෂ්ණාව අප්‍රහීණය. මේ හේතුව නිසාම මාර්ගඵල ලාභී බව එකම ඉලක්කය කරගෙන විදර්ශනා භාවනාවට එළඹ ක්‍රියාකාරන ගිහි පැවිදි යෝගාවචරයෝ බෙහෝ දෙනෙක් වැරදි මාර්ගය යැයි නියම මාර්ගය අත්හැර නියම මාර්ගය යැයි වැරදි මාර්ගය තොරා ගන්නෝ වෙති. ඒ නිසාම මෙලොව මාර්ගඵල ලාභීහු දුර්ලභ වෙති.

මින් අදහස් වන්නේ මෙකල මාර්ගඵල අවබෝධය ලැබිය නොහැකිය යන්න නොවේ. ධර්මය අකාලිකය. ධර්මාවබෝධයට කාලභේදයක් නැත. බුදුරදුන් ජීවමාන කාලයේදී ලැබිය හැකි ධර්මාවබෝධය මෙකල ද එසේම ලැබිය හැකිය. නමුත් බුදුරදුන් හා සෙසු සිව් පිළිසිඹියාපත්, අග්‍රශ්‍රාවක රහතන්වහන්සේලා ජීවමාන කාලයේ දී ධර්මයට ලැබුණු රාජ හා ප්‍රභූ අනුග්‍රහ, උපදේශනය අද එසේම ලැබේ යැයි සිතීම අපහසුය. බුදුරදුන් හා සෙසු රහතන්වහන්සේලා ජීවමාන කාලයේ මාර්ගඵල ලාභය පිණිස වූ මාර්ගය හොඳින් එළිපෙහෙළි වී පැවතිනි. එය විශාල රුක්ෂ කපා කටුකොහොල් ඉවත්කර තැනූ මඟකට උපමා කළහොත් මෙකල එහි ගස්වැල් යළිත් වැවීගොස් කටුකොහොල් පිරී තිබේ. යම් කිසිවෙකුහට මෙකල මාර්ගඵල ලාභය පිණිස අවංක වුවමනාවක් ඇතිවී නම් බුදුරදුන් හා සෙසු රහතන් වහන්සේලා ජීවමාන කාලයේදී දරණ ලද උත්සාහයටත් වැඩි උත්සාහයක් මෙකල දී මාර්ගඵල ලාභය පිණිස දැරීමට සිදු වේ. පාලි භාෂාව හා ත්‍රිපිටක, අට්ඨකථා ගැඹුරින් අධ්‍යයනයකර විදර්ශනා භාවනාවද පුරාණයේ එක් එක් ගුරුකුලවල සිදුකළ ආකාරය සොයා දැන උගෙන ඒ අනුව ප්‍රායෝගික භාවනා අභ්‍යාසවල නිරත වෙමින් අපමණ දුක් ගැහැට විඳීමේ කැමැත්ත හා සූදානම මෙකල ඒ සඳහා උනන්දුව ඇති අයෙකුට අත්‍යවශ්‍ය වන මට්ටමක් මෙකල තිබේ. ඇතැම්විටක පාලි භාෂාවේ වචනවලට බුදුරදුන් හා රහතන්වහන්සේලා ජීවමාන කාලයේ ලබා දුන් අර්ථ වසර දහස් ගණනක් ගතවන විට වෙනස්වී ගොස් තිබීම නිසා බුද්ධ වචනය බුදුරදුන් ජීවමාන කාලයේ ධර්මදේශනා කළ අර්ථයෙන්ම තේරුම් ගැනීමේ බලවත් ගැටළු, දුෂ්කරතා මතුවේ. නිදසුනක් ලෙස විදර්ශනා භාවනාවට වැදගත් වූ “අනත්ත” යන පාලි වචනයට අද නිරුක්ති සපයා ඇත්තේ බුදුරදුන් එදා එය භාවිතා කරන අද අර්ථයෙන් නොවේ.

වර්තමානයේ මේ පාලි අත්ත වන වචනය විග්‍රහ කරනුයේ හුදෙක් අනාත්ම යන්න ලෙසය. නමුදු බුදුන් වහන්සේ එකල ඉන් අදහස් කර ඇත්තේ සත්ව පුද්ගල පඤ්ඤත්තියෙන් තොර සිව් ආහාර හේතුප්‍රත්‍ය මත හටගෙන ක්‍රියාත්මකව ඇති ඇස්, කණ නාසාදී පංච ඉන්ද්‍රියන්හි ක්‍රියාකාරීත්වයයි. එය එසේ නො ගැනීම අත්ත යන්නයි. එවිට අත්ත මිත්‍යා දෘෂ්ටියය වන විට අනත්ත සම්මා දිට්ඨිය වේ. නමුදු විපස්සනා භාවනානුයෝගියාහට අනත්ත ලෙස මාර්ගාංගයක් ලෙස සම්මාදිට්ඨිය වැඩීමෙන් පසු එහි ඵලය ලෙස ඇති වන විමුක්තිය ශූන්‍යතාවයයි. යමෙකු රහත්වීමේදී සත්ව පුද්ගල පඤ්ඤත්ති අත්ත මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වේ. ආහාර හේතුප්‍රත්‍ය මත හටගෙන ක්‍රියාකරන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්ව ලෙස පමණක් අවබෝධවීම හා සත්ව පුද්ගල පඤ්ඤත්ති මිත්‍යාදෘෂ්ටිය දුරුව යෑම මෙහි ශූන්‍යතා විමුක්තිය හා අවබෝධය ලෙස දැක්වේ. මෙහි පෙන්වා ඇත්තේ එකම වචනයක් පිළිබඳව පමණකි. නමුත් මේ ආකාරයට බුද්ධ වචනය එදා බුදුන් ව්‍යවහාර කළ අර්ථයට වඩා සෑහෙන ප්‍රමාණයට වෙනස්ව ගොස් තිබේ. එසේ වෙනස්ව යෑම වළක්වා ගැනීම සඳහා වරින්වර කාලෝචිතව අට්ඨකථා, ටීකා, ගැටපද ආදි අර්ථ විග්‍රහ පිණිස කෘති සකස්ව ඇතත් කිසියම් භාෂාවක් වාග්විද්‍යාත්මක පරිණාමයේ දී සිදුවන අර්ථ වෙනස්වීම් මුලුමනින්ම වළක්වා ගැනීමට ඒවා ප්‍රමාණවත් නොවේ. වාග්විද්‍යාව යනුවෙන් හැඳින්වෙන විෂයේදී ඉතා ගැඹුරින් ඕනෑම භාෂාවක සිදුවන මේ වෙනස්වීම් ශාස්ත්‍රීයව විග්‍රහ කරනු ලැබේ. එසේම පුද්ගල අනුභූතිය වෙනස් බැවින් එකම වචනය සංජානනය කරගනු ලබන ආකාරයද වෙනස්ය. මේ නිසා වචනය භාවිතාකර ප්‍රායෝගික අවබෝධයක් විග්‍රහ කිරීම අති දුෂ්කරය.එය රිය පුහුණුව,පිහිනීම, පොතකින් උගන්වනවාට වඩා දුෂ්කරය.

සාමාන්‍ය මිනිස්සු ඇස, කණ නාසාදී ඉන්ද්‍රියයන් සන්තර්පණයට සතුටු වෙති. නමුත් මාර්ගඵල අවබෝධය පිණිස මාර්ගය වැටි ඇත්තේ මේ සාමාන්‍ය මිනිස් කැමැත්තට ප්‍රතිවිරුද්ධ අතට සිදුකළ යුතු ගමනක් ලෙසය. අද බහුතර පිරිසක් මාර්ගඵල යන වචනය අල්ලාගෙන මහාලොකු කලබලයක් සිදු කරති. එසේ කිරීම තුළින්ම ඒ අයගේ හිස්බව අඳබාල බව ප්‍රදර්ශනය වනවා විනා ඉන් ගතයුතු සැබෑ හරයක් නැත. තමන් හිස් පුද්ගලයන් ලෙස අන් අය අබිබවා කැපී පෙනෙන පරිදි ඉස්මතුවීමට දඟලන වෑයමතුළදීම ඒ අයට කිසිදු උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් නොමැතිබව පෙනී යයි. නමුදු විශාල පිරිසක් එබඳු අය පිරිවරා අනුගාමිකයන් ලෙස කටයුතු කරන බවක්ද පෙනී යයි.ඊට ප්‍රධාන හේතුව ද විඳගැනීම හා විඳගැනීමේ කැමැත්තයි. ඒ කැමැත්ත හුවා දක්වා විශාල පිරිසක් පහසුවෙන් පොළඹවාගත හැකිවීම එබඳු අය පිටුපස සුවිශාල අනුගාමික පිරිස් සිටීමේ හේතුවයි. මාර්ග භාවනාව එනම් විදර්ශනා භාවනාව විඳීම,විඳ ගැනීම හෙවත් තෘෂ්ණාව දුරුකිරීම පිණිස සිදු කරන මානසික අභ්‍යාසයයි.

නියම මාර්ගඵල අවබෝධය නම් මේ විඳීම, විඳ ගැනීම, තෘෂ්ණාව ක්ෂය කිරීමයි. භාවනාවේ දියුණුව මැන ගැනීමේ හොඳම නිර්ණායක නම් කෙතෙක් දුරට භාවනානුයෝගියාගේ විඳීම,විඳගැනීම හෙවත් තෘෂ්ණාව තවත් ක්‍රියාත්මකව පවතින්නේදැයි සොයා බැලීමයි. බුදුරදුන් මේ සඳහා ප්‍රධාන නිර්ණායක හෙවත් මැන බැලීමේ අවස්ථා සතරක් පෙන්වා දී තිබේ. සෝවාන්,සකෘදාගාමි,අනාගාමි හා අර්හත් ලෙස මාර්ගඵල සතරක් ලෙස දක්වන්නේ එම අවස්ථා සතරයි.මුල්ම අවස්ථාව සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස හා විචිකිච්ඡාව යන සංයෝජන නැමැති විඳීමේ,විඳ ගැනීමේ තෘෂ්ණාව ක්‍රියාත්මක වන්නේදැයි බැලීමයි. දෙවන හා තෙවන අවස්ථා නම් කාමරාග ( කාමාශාව) හා පටිඝ (තරහව) තවමත් තමන්තුළ කෙතරම් දුරට ක්‍රියාත්මක වන්නේ දැයි මැනබැලීමයි. එහිදී මේ සංයෝජන දෙකෙන් හරි අඩක් දුරුවීම දෙවන අවස්ථාව වන සදෘගාමී මට්ටම ලෙස ද සම්පූර්ණයෙන්ම දුරුවීම අනාගාමී මට්ටම ලෙසද වටහා ගත හැකිය. සිව්වන අවස්ථාව නම් රූප රාග, අරූප රාග, මාන, දිට්ඨි, අවිජ්ජා යන සංයෝජන පහ දුරුවූ අර්හත් මඟඵල මට්ටමයි. ශුද්ධ විදර්ශනාව හෙවත් සුක්ක විපස්සනාව සිදු කිරීමේදී වුවද කෙලෙස් දුරුකිරීමේදී චිත්ත සමාධිය බලවත් බැවින් කෙළෙස් යටපත්වීම ද ඒ සමඟම සිදු වේ. මේ හේතුව නිසා විදර්ශනා භාවනාවේ යෙදෙන භාවනානුයෝගියෙකුහට දිගු කාලපරාසයක් තුළ කාමාශාව හා තරහව දුරුව ඇත්තා සේ දැනිය හැකිය. එසේම එයින් මුලාවට පත්ව දැන් මම අනාගාමී වූයෙමි යැයි වරදවා ගන්නා සිතිවිලි වුවද පහළ විය හැකිය. එවිට එවැනි සිතිවිලි ද අනිත්‍ය, දුක්ඛ හා අනත්ත වශයෙන් අවබෝධ කරගැනීමෙන් යළිත් මාර්ගයට පිවිස නියම විදර්ශනා භාවනාවට එළඹිය හැකිය. යටපත් කළ පටිඝය බුරා පනින රුදුරු දඩ බල්ලෙකු ලෙස ද කාමරාගය සර්පයෙකු ලෙසද යටපත්කළ මෝහය තමා රහත්ඵලයට පත්වී ඇති ලෙසද ඇතැමෙකුට භාවනාවේදී බාධාකාරීව දර්ශනය විය හැකිය. විදර්ශනා භාවනාව ප්‍රායෝගික ලෙස සිදුකරන ආකාරය පිළිබඳ කියයුතු කරුණු හා ලබාදිය යුතු උපදෙස් ඉතා විශාල බැවින් මෙහි ඒවා සංක්ෂේප වශයෙන් වුව ද දැක්වීම අපහසුය.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top