මීතොටමුල්ල යනු රෝගය නොවේ රෝගයේ ලක්ෂණයක් පමණි

දැන් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටි අවසන්ය. මිනිස් ජිවිත හා දේපල බිමට සමතලා වී රටම කතා කරන ඛේදවාචකයක් බවට එය පත්ව තිබේ. දේශපාලකයන්ට සහ බලධාරීන්ට එරෙහිව ජනතාවගේ හදවත් තුල වූ බුර බුරා නැගෙන විරෝධය ප්‍රදර්ශනය වෙමින් පවතී.

ලංකා ඉතිහාසය දෙස නැවත විමසා බැලීමේදී මෙවැනි ආන්දොලත්මක මාතෘකා සතියක් හෝ දෙකක් කතා කිරීමෙන් පසුව අත්හැර දමා නැවත පරණ පාරේම ගමන් කරන රටක් බවට පත් වී ඇත.

එම නිසා දැන් කාලය එළඹි ඇත්තේ මිතොටමුල්ලෙන් එහා ගිය අවංක විශ්ලේෂණයක් සිදු කර මෙම දැවෙන ප්‍රශ්න වලට කාලීන විසඳුම් සෙවීම සඳහා සඳහා සියලු දෙනා කැපවී කටයුතු කිරීමේ අවස්ථාවයි. විශේෂයෙන්ම බලය හා වගකීම බෙදී යාම, නවීන තාක්ෂණික සහ දැනුම භාවිත කර විසදුම් සෙවීම සඳහා සැබෑ නිපුනත්වයකින් හෙබි පුද්ගලයන් තෝරා ගැනීම අතිශය වැදගත්වේ. එපමණකින් නොනැවතී දැනට තිබෙන සංකීර්ණ පාලන ක්‍රම වෙනුවට කඩිනම් හා ප්‍රයෝගික විසදුම් සෙවීමට හැකි පාලන රටාවක් රට තුල ස්ථාපිත කිරීම වැනි ගැඹුරු කරුණු වලින් විසදුම් සෙවීම රටේ අවශ්‍යතාවය යි.

උදාහරණයක් ලෙස ගත් කල අපේ රටේ මහා පාරේ සිදුවන රිය අනතුරුවලින් දිනකට 7 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වන බව සංඛ්‍යා දත්ත වාර්තාවන් මගින් ප්‍රකාශයට පත්ව ඇත. මේ අනුව සතියක කාලයක් තුලදී මිය යන සංඛ්‍යාව 49 ක් වේ.

මෙම අනතුරු වැලැක්වීම සඳහා මෙරට මාර්ග නිති දැඩිව ක්‍රියාත්මක කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම සඳහා රුකුල් සපයන දඩ මුදල් පැනවීම කෙරෙහි අවධානය යොමු වීම මෙන්ම මාර්ග වල ප්‍රමිතිය ඉහල නැංවීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීම ද වැදගත් වේ.

අපේ රටේ එවැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට යාමෙන් සහ ප්‍රායෝගික නොවන විසදුම් ඉදිරිපත් කිරීම නිසාවෙනි.

මීතොටමුල්ල කුණු කන්දට මුවා වී යට ගිරියෙන් කෑගසන ඇතැම් පාර්ශවයන්ගේ ප්‍රකාශ වලින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම සාමජ ජාල වෙබ් අඩවිද පිරි ඉතිරි ගොස් ඇත. එහෙත් එම හැගීම් බර ප්‍රකාශ වලින් පමණක් ගැටලුවට විසදුම් නොලැබේ. එමගින් පෙන්නුම් කරන්නේද මෙරට ගැටළු වලට විසඳුම් ලබා දීමේ සංකීර්ණ භාවයයි.

පළාත් සභා, පළාත් පාලන ආයතන , මධ්‍යම රජය සහ විවිධ රාජ්‍ය නිලධාරීන් එකිනෙකාට වගකීම් පවරන තත්වයක් තුල නිශ්චිතව වගකිමට බැඳෙන පාර්ශව පිළිබඳව ගැටළුවක් මතුවී තිබේ. කුණු කන්ද ළඟ ගැට ගසා ඇති සුනඛයකු මෙන් ඇතමුන් මේ දිනවල කෑ මොර දෙන්නේ තවකෙනෙකු ලබා දෙන විසදුමකට ද හරස් කපමින් බව කිව යුතුය.

මේ වැනි ගැටළු වලට විසදුම් සෙවීමේදී වෙනත් රටවල ඒ සඳහා ලබා දී ඇති ප්‍රයෝගික විසදුම් පිළිබඳව අධ්‍යනය කර පිරි වැය අවම වන ක්‍රමවේදයන් තෝරා ගැනීමට යොමු විය යුතුව තබේ. ඒ සඳහා නිපුණත්වයෙන් හෙබි ප්‍රයෝගික සහ අල්ලසෙන් තොර දේශපාලනඥනයන් තෝරා පත් කර ගැනීම පොදු මහජනතාවගේ වගකීමයි.

මීතොටමුල්ල වැනි ගැටළු නිරාකරණය කිරීමේදී එය සරල පාලන රටාවක් හා කාර්යක්ෂම යාන්ත්‍රණයක් මගින් පමණක්ම පිළිතුරු සෙවිය හැකිය. සියලු දෙනා සතුටු කිරීමේ සහ සනසවාලීමේ ස්ථාවරත්වක් නොමැති සංකීර්ණ විසඳුම් ඉදිරිපත් කිරීම තුලින් ගැටලුව විසදීම වෙනුවට අප ලජ්ජාවට පත්වීමේ ඉඩ කඩ වැඩිය.

අප මෙම ඛේදවාචකය සති දෙක තුනකින් කතා කර අමතක කර දමනවා වෙනුවට ස්ථාවර හා ප්‍රයෝගික විසදුම් ලබා දීමේ ක්‍රමවේදයක් වෙත වහා යොමු විය යුතුය. සියලු පාර්ශව හැගීම් වලින් විසදුම් සෙවීම වෙනුවට ප්‍රභුද්ධ ඥනයෙන් යුතුව කටයතු කල යුතුව ඇත.

එමෙන්ම ජනතාව තමන්ගේ දේශපාලනඥනයන් තෝර ගැනීමේදී එය බාහිර කරුණු මත සිමා නොකොට ප්‍රයෝගික බුද්ධියෙන් හෙබි දේශපාලන චරිත තෝරා නොගතහොත් මේ වැනි ඉරණමකට මින් මතුවට ද ගොදුරු වීම වැළකිය නොහැකි බව සිහිපත් කර දෙනු කැමෙත්තෙමි.

නිරෝෂන් පෙරේරා,
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

scroll to top