මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය අයට සිදුකරන ලොකුම ගෞරවය මේ රටේ කැළි කසළ ප‍්‍රශ්නය විසඳීමයි

  • මහනුවර කසළ කඳු දෙකක් නාය යෑමේ අවදානමක – පොල්ගොල්ල ජලාශය සහ මහවැලි ගඟට හානි
  • පාරිසරික වශයෙන් අස්ථාවර ස්ථානවලට කසළ බැහැරකිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති අවශ්‍යයි
  • කසළ පුනරුත්ථාපනය කිරීමට බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව සූදානම්
  • කැළි කසළ කළමණාකරණයට සෑම අයෙකුගේම පෞද්ගලික දායකත්වය අවශ්‍යයි

මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය පිරිස් වලට සිදුකරන ලොකුම ගෞරවය මේ රටේ කැළි කසළ ප‍්‍රශ්නය විසඳීමත්, ඒ සඳහා ශක්තිමත් නිර්භීත ඉදිරි පියවරක් තැබීම බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ඒ වෙනුවන් පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාව පදනම් කරගෙන අපි කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා, එය කිසිසේත්ම ප්‍රජාතන්ත‍්‍රවාදී උද්ඝෝෂණ මර්ධනය කිරීම හෝ ජනතාවගේ විරෝධතා මර්ධනය කිරීමක් නොව, සමස්ථ ජනතාවගේ සුවසෙත සඳහා අවශ්‍ය කරන විද්‍යාත්මක ඉදිරි පියවර තැබීමක් බවද පෙන්වා දෙයි.

කසළ කළමණාකරණය වෙනුවෙන් අත්‍යාවශ්‍ය නීති ක‍්‍රියාවලියක් සකස්කොට ඒ සඳහා සියළු දෙනාගේම එකඟතාවය ඇති කරගත යුතු බවද එය ඛේදවාචකයෙන් මිය ගිය පිරිස්වලට කරන ලොකුම ගෞරවයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ, කසළ කළමණාකරණය වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා අද(28) කැඳවා තිබෙන විශේෂ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘මීතොටමුල්ල කසළ කන්ද නාය යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපෑවේය. කාලයක් වගුරු බිමක් ලෙස ‘පොතුවිල්‘ කුඹුර නමින් හඳුන්වපු මීතොටමුල්ල කසළ කන්ද පිහිටි ස්ථානයට 1989 සිට කොලොන්නාව ප‍්‍රාදේශීය සභාව සහ ඒ අවට ප‍්‍රදේශ වලින් කැළිකසල ගෙනැවිත් දැමීමෙන් නිර්මාණය වූවකි. 2009 අපේ‍්‍රල් මාසයේ සිට මෙම ස්ථානයට කොළඹ නගර සභාවේ කැළි කසළ බැහැර කළ අතර ඊට අමතරව කිසිම දැනුම් දීමකින්, විධිමත් භාවයකින් තොරව අවට ප‍්‍රදේශවල කැළි කසළද (කඩුවෙල, බියගම, වත්තල, කෝට්ටේ ආදී ප‍්‍රදේශවල) මීතොටමුල්ලට බැහැරකොට තිබේ. 2009 සිට මේ දක්වා කසළ ටොන් මිලියන 3 ක් පමණ මෙහි එක්රැස් වී තිබෙන අතර කාලයාගේ ඇවෑමෙන් මේවා දිරාපත්වීම සහ අනෙකුත් කාරණා නිසා ඒ ප‍්‍රමාණය අඩු විය හැකිය. එනිසා අඛණ්ඩව එක දිගට මෙම ස්ථානයේ අක්කර 21 ක් පිරී යනතෙක් කැළි කසළ බැහැරවීම සිදුකොට තිබේ. කුණු කන්ද කඩාවැටීමේ අවස්ථාව වන විට එහි උස මීටර් 48.5 ක් විය.

මීතොටමුල්ල කුණු කන්ද කළමණාකරණය කිරීම භාරව තිබෙන්නේ කොළඹ නගර සභාවටයි. කොළඹ නගර සභාවේ ඉංජිනේරුවරුන් 70 කට වැඩි පිරිසක් සිටින අතර මේ සම්බන්ධව විශේෂඥ භාවයක් ඔවුන් සතුය. නමුත් මීතොටමුල්ල කසළ කන්ද කළමණාකරණය කිරීමට අවශ්‍ය කරන ප‍්‍රමිතිය හෝ කළමණාකරණය කිරීමට සිදු කළ යුතු අවම ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක කි‍්‍රයාවලි කිසිවක් මෙම ස්ථානයේ අනුගමනය කර නොමැත. එය ඉතා කණගාටුදායක කාරණයකි.

2014 වර්ෂයේ මෙම කසළ කන්දේම කොටසක් කඩාවැටීමට ලක්වූ අතර එහිදී අවදානමක් සහිත පවුල් 158 ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කොට තිබේ. නමුත් කසළ කන්ද විද්‍යාත්මකව කළමණාකරණය කිරීමේ ප‍්‍රමිතීන් ප්‍රමිතීන් කිසිවකු අනුගමනය කොට නොමැත.

මෙවැනි කසළ කඳු ගණනාවක් ගම්පල, කැළණියේ, පෑලියගොඩ, කරදියානේ, ගොහාගොඩ, කුරුණෑගල ප්‍රදේශවල නිර්මාණය වෙමින් පවතී. මින් මහනුවර පවතින කසළ කඳු දෙකක් නාය යෑමකට ඉතාම ආසන්නයෙන් පවතී. ඉන් පොල්ගොල්ල ජලාශයට සහ මහවැලි ගඟට විශාල හානියක් වීමට ඉඩ තිබේ. එහෙයින් විධිමත්ව කසළ කඳු කළමණාකරණයට ප‍්‍රමිතිකරණයකින් යුතුව කටයුතු කිරීම අදාල ප‍්‍රාදේශීය සභා, නගර සභාවල වගකීමකි. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ප‍්‍රමිතිකරණ නියෝග පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් මේ මස දී නිකුත් කිරීමට කටයුතුකොට තිබේ.

පරිසර පද්ධතියේ ඇතිවූ අස්ථාවර භාවයත් කසළ කන්ද නාය යෑම කෙරෙහි හේතු විය. ප‍්‍රධාන වශයෙන් 2014 ඇති වූ කඩා වැටීමත්, 2015 ඇතිවූ ගංවතුරත් හේතු විය. එමෙන්ම ගංවතුර බැස්සවීම සඳහා ඒ අවස්ථාවේදී අනුගමනය කරපු උපක‍්‍රම සහ කලින් අනුගමනය කර තිබූ කාණු කැපීම් වැනි අවිද්‍යාත්මක කි‍්‍රයාවලිත් කසළ කන්ද කඩා බිඳ වැටීමට හේතුවිය.

වගුරු බිම්වලට කසළ දැමීම කාරණා දෙකක් නිසා සිදු කෙරන අතර මිනිස් වාසයෙන් තොරවීම ඉන් එකකි. දෙවැන්න ඇතැම් අයගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන්ය. එහෙයින් මින් ඉදිරියට කසළ බැහැර කිරීමේදී පාරිසරික වශයෙන් අස්ථාවර ස්ථානවලට කසළ බැහැරකිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති අත්‍යාවශ්‍ය වී තිබේ.

ඉදිරි මාස 6 -7 ඇතුළත මෙම කසල පුනරුත්ථාපනය කිරීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවත් කි‍්‍රයා කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා විද්‍යාත්මක පිරිසකගේ සහයෝගය ලබාගැනීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වන සියළුම විද්‍යාත්මක ආයතන සම්බන්ධකොට තිබේ. ආපදා කළමණාරණ අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු සම්පාදනය කරන අතර ඉදිරි මාස 5 – 6 ඇතුළත නාය යෑමක් නොවන ආකාරයට, මෙය විධිමත්ව ස්ථාවර කිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා ජපාන උපදේශකවරුන්ගේ සහයද ලැබීමට නියමිතය.

අද පවතින වියවුල් නාගරීකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස කසළ කළමණාකරණය ප‍්‍රශ්නයක් ලෙස මතුව තිබේ. කොළඹ නගරයේ ජීවත් වන ජනගහනය 650,000 කි. දිනකට 1,000,000 ක් ජනතාව කොළඹ නගරයට පැමිණෙති. කොළඹ නගරයේ ජීවත්වන අඩු ආදායම් ලාභීන් විසින් ජනනය කරන කසළ ප‍්‍රමාණය ඉතා අඩු ප‍්‍රමාණයක් වන අතර විශාල වශයෙන් වැඩි ආදයම් ලබන පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතන, හෝටල්, කර්මාන්ත ශාලා, වරාය, රෝහල් ආදී සෑම තැනකින්ම අති විශාල කසළ ප‍්‍රමාණයක් ජනනය කරනු ලබයි. නීතිමය වශයෙන් කසළ කළමණාකරණයට කොළඹ නගර සභාවට බලය තිබුණත් කොළඹ නගර සභාව ඒ සඳහා ඔවුන්ට හැකියාවක් නොමැති බව පෙන්වා දී තිබේ.

පළාත් සභා තුළ කසළ කළමණාකරණය පිළිබඳ යම් යම් නීති සම්මත කරලා කසළ කළමණාකරණ අධිකාරීන් පිහිටුවලා තිබේ. මීට අදාලව පරිසර අමාත්‍යාංශය මගින් ‘පිළිසරු‘ ව්‍යාපෘතියක් 2008 දී ආරම්භ කොට ඉතා සාර්ථකව අපි අප විසින් ක්‍රියාත්මක කළෙමු. එසේම 2009 අගභාගය වන විට කසළ කළමණාකරණ පද්ධති ඇතිකිරීමට අප විසින් කටයුතු කොට තිබේ. නමුත් අද වන විට එය ප්‍රමාණවත් නොවේ. කොළඹ, මහනුවර, කෝට්ටේ, දෙහිවල ගල්කිස්ස, මොරටුව ගාල්ල, මාතර, කුරුණෑගල වැනි මහනගර සභා වලට බලගතු මධ්‍යගත කසළ කළමණාකරණ අධිකාරියක් රටට අවශ්‍ය වී තිබේ.

දෙවනුව මූල්‍යමය ගැටළුව, ඇතැම් අය ප්‍රකාශ කරනවා ඇයි මේ කසළවලින් බලශක්තිය නිපදවන්න බැරි කියලා. මේ රටේ විවිධ අවස්ථාවල විවිධ සමාගම්වලට අවස්ථා ගණනාවක් ලබාදීලා තිබෙනවා කසල වලින් විදුලිය නිපදවන්න. එහෙම නැත්නම් කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණයට. විවිධ අවස්ථාවල් ලබාදීලා තිබෙනවා. ඇයි ඒවා අසාර්ථක වෙලා තිබෙන්නේ. ඒවා අසාර්ථක වෙන්න ප‍්‍රධානම හේතුව මේ අපේ රටේ තිබෙන කසළ කළමණාකරණය, තෙත සහිත කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ එය ප‍්‍රමිතියකට යුතුව පරිවර්ථනය කිරීමට අධික මුදලක් වැය වීම. සෑම කසළ ටොන් එකකටම මේ ආකාරයට විධිමත් පුනර්චක‍්‍රීයකරණයක් කරනවා නම්, රුපියල් 7,000 සිට 10,000 දක්වා මුදලක් අවශ්‍යයි. සෑම කසල කිලෝවකටම රුපියල් 7 ඉඳන් රු. 10 ක මුදලක් අවශ්‍යයි මේ කටයුත්ත කරන්න. කවුද මේක ගෙවන්නේ? ගෙවන්න කෙනෙක් නැහැ. ඒකත් ඉතාම ප‍්‍රභල ප‍්‍රශ්නයක් හැටියට අප ඉදිරියේ තිබෙනවා. දැන් පෞද්ගලික ආයතනවලට මේක ලබාදුන්නට ඒ පෞද්ගලික ආයතනවලට ඒක කරන්න හැකියාවක් ලැබිලා නැහැ. අපි ස්තූතිවන්ත වෙනවා විදුලිබල අමාත්‍යාංශයට ඉතාම හොඳ අය ක‍්‍රමයක් ලබාදීලා තිබෙනවා කසළ වලින් විදුලි නිපදවන්නන්ට රුපියල් 36.20 ක්. ඒක ඉතාමත් ම හොඳ තත්වයක්.

බොහෝ දෙනෙක් අපි මේ කසළ කන්ද ඉවත් කරන්න ආවා, අපට ඉඩ දුන්නේ නැහැ ආදී වශයෙන් ප‍්‍රකාශ නිකුත් කරමින් නොයෙක් ආකාරයේ මඩ ප‍්‍රචාර කරමින් ඉන්නවා. අපි කියන්න ඕනේ 2015 මේ රජය පැමිණි පසු නාගරික සංවර්ධන අධිකරියට ලබාදුන්නා වරමක් මුළු ලෝකෙන්ම කසළ සඳහා අයදුම්පත කැඳවන්න. කරදියානට, ගම්පහට වගේම මේ මීතොටමුල්ලට. මීතොටමුල්ලට ඒවන විටත් එක් ආයතනයක් තෝරාගෙන තිබුණා, 2012 සිට. එනිසා අපි අනෙක් ආයතනවලට කැඳවීමක් කළා. ඒ අනුව අපි කරදියාන කසළ අංගනය සඳහා 103 දෙනෙකුත්, ගම්පහ ප‍්‍රදේශයේ කසළ සඳහා 91 දෙනෙකුත් ලෙස 194ක් සමාගම් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ 5ක ලේකම්වරුන්ගේ සංවිධානය වූ ටෙන්ඩර් මණ්ඩලයක් මගින්, ඒ වගේම තාක්ෂණික ඇගයීම් මණ්ඩලයක් මගින් මේක තෝරලා අද මේ ආයතනවලට ඒක ලබාදීලා තිබෙනවා ඒ ආයතනවලට. අපි අද තීරණය කරලා තිබෙනවා පාරිසරික බලපත‍්‍රය ලැබිලා මසක් ඇතුළත ඒ වැඩකටයුතු ආරම්භ කළේ නැත්නම්, ඒ ඇත්තොත් මේ කසළ කළමණාකරණයේ කි‍්‍රයාවලියේ බලපත‍්‍ර විකිණීමේ කි‍්‍රයාවලියක් බවට පරිවර්ථනය කරනවා නම් ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කරලා රජය මැදිහත් වෙලා මේ කටයුත්ත කරන්න රජය දැන් තීරණය කරලා තිබෙනවා. ඒ වගේම අපේ රටකට ඉතාමත්ම ලාභදායී ගැලපෙන කි‍්‍රයාවලිය තමයි විද්‍යාත්මක කසළ රඳවනය.

එදා කොළඹ කුණු අපට එපා කියලා ගෙනගිය ව්‍යාපෘතියේ ප‍්‍රතිපළයක් හැටියට තමයි බ්ලූමෙන්ඩල් වල යෝධ කුණු කන්දක් ඇතිවුනේ. ඊට පසසෙත් නොයෙක් උත්සාහ දැරුවා මේ විද්‍යාත්මක කසළ අංගන ඉදිකරන්න. පානදුරේ මාලමුල්ලේ, ඒ වගේම මහර ගල්වලක, කඩුවෙල, ඒ වගේම අරුවක්කාරුවේ, ඒ අවස්ථාවේ අරුවක්කාරුවල කරන්න බැරි උනා යුද්ධමය තත්වය නිසා. නොයෙක් උත්සාහයන් දැරුවා ඒ හැම උත්සාවයක්ම මේ සමාජ විරෝධතා නිසා නැති උනා. දැන් ඒ සඳහා අපි අලූත් උත්සාහයන් දරමින් ඉන්නවා විද්‍යාත්මක කසළ රඳවනයක් කරන්න. ඒක තමයි එකම විසඳුම ඒ සඳහා ටොන් එකකට රුපියල් තුන්දාහක් පමණ වැය වෙන්නේ. අපි ඉල්ලා සිටිනවා සියළුම අයගෙන් කරුණාකරලා මේ විද්‍යාත්මක කසළ රඳවනයට විරුද්ධ වන්න එපා. මීතොටමුල්ල ඇතුළු ඒ ප‍්‍රදේශවල නාගරික ප‍්‍රදේශ විනාශ කර කර මේ කසළ කඳු ගොඩගැහීම වැලැක්වීමට විද්‍යාත්මක කසළ රඳවනයක්, එකක් නෙමෙයි කිහිපයක් රටට අද අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඒ සඳහා නිර්භීත පියවර ගැනීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තිබෙනවා. අපිට මතකයි මම පරිසර අමාත්‍යාංශයේ ඉන්න වෙලාවේ දොම්පේ ප‍්‍රදේශයේ කිරිඳිවැල මේක ඉදිකරන්න ගියහම විශාල විරෝධතාවයක් ආවා. පාරවල්වල වාඩි උනා. උපවාස කළා. නිලධාරීන්ට පහර දුන්නා. අපේ පක්ෂයේ අපේක්‍ෂකයින්ට ඡුන්දෙ දෙන්න එපා කිව්ව ඒ පළාත් සභා මැතිවරණයේදී 2009. නොයෙක් දේවල් සිද්ධ උනා. නමුත් අද මේ රටේ තිබෙන එකම විද්‍යාත්මක කසළ රඳවනය කිරිඳිවැල තිබෙන කසළ රඳවනය පමණයි. දැන් ඒක එදා හදන්න එපා කියලා පෙළපාලි ගිය අය දැන් අපේ හොඳ කසළ රඳවනයට පිටඒවා ගේන්න එපා කියලා පෙළපාලි යනවා. ඒක තමයි මේ රටේ ඛේදවාචකය. ඒක නිසා මේ සියළු පක්ෂ නියෝජනය වන මේ පාර්ලිමේන්තුවේ, මේ කොළඹ කුණු අපට එපා කියන මේ කසඩ දේශපාලනයෙන් ඈත් වෙලා අපි සියළු දෙනාම විධිමත් විද්‍යාත්මක විසඳුමකට එකතු වෙලා මේ මුළු රටේ ස්ථාන ගණනාවක විද්‍යාත්මක කසළ රඳවන ඇති කිරීමට දැන් යුගය අවස්ථාව එළඹිලා තිබෙන බව ප‍්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් අපේ සමාජයට අපේ පුද්ගලයින්ට විශාල වගකීමක් තිබෙනවා. අපි පුද්ගලයෝ හැටියට අපේ නිවෙස්වල කසළ නිර්මාණය කරනවා. ඒ කසළ ප‍්‍රමාණය අපට විධිමත් ක‍්‍රමවේදයක් මගින් අඩු කර ගන්න පුළුවන්. ඒ කසළ වලින් ඇතැම් දේ අපිට නැවත භාවිතයට ගන්න පුළුවන්. ඒ නිසා ඒ ප‍්‍රතිපත්ති අපේ නිවෙස්වලම අනුගමනය කරනවා නම් අපේ මේ කසළ පැමිණීම ඉතාමත්ම අඩුවෙනවා. විශේෂයෙන්ම කසළ වර්ගීකරණය කරලා අපේ නිවෙස්වල වගකීම අපි ඉටු කරනවා නම් මේ ප‍්‍රශ්ණයෙන් අතිවිශාල ප‍්‍රමාණයක් විසඳෙනවා. මම දන්නවා ඒ ආකාරයට කි‍්‍රයා කරපු වැදගත් පළාත් පාලන ආයතන ගණනාවක් තිබෙනවා අදාර්ශමත්ව. බලංගොඩ නගර සභාව, වැලිගම නගර සභාව, ඒ වගේ අපිට ආයතන ගණනාවක් සිහි වෙනවා. ආයතන දැන් අද වෙනකොට 150 ක් පමණ මේක කි‍්‍රයාත්මක කරනවා ප‍්‍රාදේශීය සභා 330න්. ඒවා සාර්ථකව කි‍්‍රයාකරපු සෑම තැනකම පෙනී ගිය දෙය තමයි මේ කසළ වර්ගීකරණය කරලා විධිමත් විදිහට කරනවා නම් 30% කින් පමණ කසළ පාරට එන එක අඩුවෙන විත්තිය.

මේ මෑතදී ආපු ජපන් විද්වත් පිරිස ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට පෙන්වලා දුන්නා මේ කසළ වර්ගීකරණය නිසා ජපානයේ 1960 ජනනය වෙච්ච කසළවලටත් වඩා අද පාරට වැටෙන කසළ ප‍්‍රමාණය 1/6 කට අඩුවෙලා කියලා. එදා 6 ක් කසළ තිබුණා නම් 1 ක් බවට අද අඩුවෙලා තිබෙනවා විධිමත් නිීති කි‍්‍රයාදාම මගින්. එනිසා අපේ සමාජ වගකීම පුද්ගලික වගකීම තමන්ගේ නිවෙස්වලම රාජ්‍ය ආයතනවලම, පුද්ගලික ආයතනවලම මේ කටයුත්ත කිරීම. එතනදී ගරු කතානායකතුමනි, සමහර ආයතන විශේෂයෙන්ම රජයේ රෝහල් සහ ඉලෙක්ට්‍රොනික කැළි කසල පිළිබඳව අපේ අවධානය තරයේ යොමු වෙන්න ඕනේ. අපි ඉතා කණගාටුවෙන් කියන්න ඕනේ මේ බේරේ වැව කුණ ගඳ ගහනව කියලා සමහර අවස්ථාවල චෝදනා එල්ල වෙනවා. බේරේ වැවට අද තිබෙන ලොකුම ප‍්‍රශ්නය කොළඹ මහ රෝහල. ඒ වගේම මහනුවර කැළි කසළ ඒ වැවේ සිට මහවැලි ගඟට ගෙනියන මැද ඇලට තමයි මහනුවර මහ රෝහලේ කැළි කසළ නිකුත් වෙන්නේ. ඒක සාහසික අපරාධයක්. මේ රෝහල්වල තිබෙන ඒ සායනික අපද්‍රව්‍ය විධිමත් විද්‍යාත්මක ක‍්‍රමයකට ඒ රෝහල් විසින්ම කළ යුතුයි. ඒක කිසිසේත්ම බැහැරට ගෙනියන් ඉඩ දෙන්න බැහැ. ඒ වගේම අද වෙනකොට විශාල වශයෙන් ජනනය වෙනවා ඉලෙක්ට්‍රොනික කැළි කසළ අපි එදා පිළිසුරු ව්‍යාපාරය යටතේ 2008 දී ඉලෙක්ට්‍රොනික කැළි කසළ එකතු කරලා ප‍්‍රතිචක‍්‍රීය කරන්න යොමු කළා. දැන් මේක එදාට වඩා ප‍්‍රභල ප‍්‍රශ්නයක් වෙනවා අනාගතයේ තවත් ප‍්‍රබල ප‍්‍රශ්නයක් වෙනවා. මොකද අනාගතය කියන්නේ තනිකරම ඉලෙක්ට්‍රොනික යුගයක්. එහිදී විශේෂයෙන්ම බැර ලෝහ නිකල් කැඞ්නියම් වැනි බැර ලෝහ මගින් තමයි උෂ්ණත්ව පාලනය කරන්නේ, මේ අපේ ජංගම දුරකතන වැනි හැම දේකම. ඉතින් මේවා සමාන පරිසරයට නිකුත් උනොත්, අනිවාර්යයෙන්ම අපේ වකුගඩු ඇතුළු ඒ රෝගාබාධවලට භයානක අකාරයට බලපාන්න ඉඩ තිබෙනවා. දැනුත් බලපාමීන් තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සමාන්‍ය කසළ ගොඩට නොගිහින් ඒක වෙනම ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් බව කියන්න ඕනේ. එ් අනුව සායනික අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිසිසේත්ම නගර සභාවල කසළවලට එකතු වෙන්න දෙන්න බැහැ. ඒවා වෙනම පරිවර්ථනය කිරීමට අපි සියළු දෙනාගේම කැපවීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම මේ කසළ වලින් විදුලිය නිපදවූවත් වෙන මොනවා කළත්, අපි මතක තබා ගත යුතුයි අවසාන කසළ බැහැර කිරීමේ ස්ථානයක් අවශ්‍යයි. මොන විදුලිය නිපදවූවත් අවසානයේ 20% ක් ඉතුරු වෙනවා. ඒ නිසා ඒ 20 තැන්පත් කිරීමට අපි විධිමත් ස්ථානයක් සකස් කිරීම කළ යුතුයි.

පානදුරේ මාලමුල්ලේ මේක කරන්න ගියා. ඒ වගේම අවිස්සාවේලලේ අවස්ථා දෙකකදී මේකට ඉඩ කඩ ලබාදුන්නේ නැහැ. ඒ වගේම නොයෙක් ප‍්‍රදේශවල මෙය කිරීමට ඉඩකඩ ලබාදුන්නේ නැහැ. නමුත් යුද්ධයෙන් පස්සේ, ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පස්සේ එදා ඉඳන් අදහස් කරගෙන හිටපු තැනක් තමයි මේ සිමෙන්ති සංස්ථාව සතු හිරිගල් කැඞීමට භාවිතා කරපු වලවල් පුත්තලමේ අරුවක්කාරු ප‍්‍රදේශයේ. මේ සම්බන්ධයෙන් 2014 අගෝස්තු මාසේ කැබිනට් අනුමැතිය ලබාගෙන වෙනම විද්‍යාත්මක වශයෙන් අධ්‍යනයක් කළා. පාරිසරික අධ්‍යනයක් කළා. ඒ සඳහා තෝරාගත්ත ස්ථානය අර ගඟේ වාඩිය ප‍්‍රදේශයේ 1960 ගණන්වල හිරිගල් කඩපු ස්ථානයක්. නමුත් වනජීවි දෙපාර්තමේන්තුව 2016 ජනවාරි මස 15 වෙනිදා දැනුම් දුන්නා ඒ ස්ථානය විල්පත්තුවේ පේ‍්‍රෂණ කලාපයේ තිබෙන්නේ එතනට කැළි කසළ බැහැර කරන්න විද්‍යාත්මක ක‍්‍රමයකට හෝ ඉඩ දෙන්න බැහැ කියලා. ඒ අනුව ඒ ව්‍යාපෘතිය පාරිසරික හේතු මත අපට අහිමි උනා. නමුත් අපි ඒක අධෛර්ය වෙලා නැහැ. අපි වෙනත් ස්ථානයක් ඒ වෙනුවෙන් තෝරාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් පරිසර අධ්‍යනය කරගෙන යනවා. ඉංජිනේරුමය අධ්‍යනය කරගෙන යනවා. ඉදිරි මාස දෙකේදී ඒක සාර්ථක උනොත් අපට එහි වැඩ කටයුතු ආරම්භ කරන්න රජය කැපවීමෙන් සිටින බව අපි ප‍්‍රකාශ කරන්න ඕනේ.

සෑම වසරකම ටොන් දහතුන් ලක්‍ෂයක් හිරිගල් කඩනවා. කොළඹ ඇතුළු මේ ප‍්‍රදේශයේම අවුරුද්දකට නිර්මාණය වෙන්නේ ටොන් හාරලක්‍ෂයකට ආසන්න කසළ ප‍්‍රමාණයක්. ඒ අනුව ඉතාම පහසුවෙන් ඒ හිරිගල් කඩන සෑම වලක්ම නැවත පිරවිය යුතුයි. විද්‍යාත්මක ක‍්‍රමවේදයකට එහි තිබෙන අපජලය ඉවත් කරන්න වැඩපිළිවෙලක් හදලා, ඒ තුළ ගැබ්වෙන මීතෙන්, කාබන් මොනොක්සයිඞ් වැනි වායූන් ඉවත් කරන වැඩපිළිවෙලක් හදලා විද්‍යාත්මක කසළ රඳවනයක් අද දොම්පේ ප‍්‍රදේශයේ තිබෙනවා වගේ කසළ රඳවනයක්, ඊට වඩා මහාපරිමාණ කසළ රඳවනයක් අපට එහි රැඳවිය හැකියි. එය ගොඩනැගීම සඳහා ඒ පසුගිය රජය විසින් යෝජනා කළ පරණ ස්ථානය ඒ පාරිසරික ඇගයීමෙන් අපට අහිමි උනත් අලූත් ස්ථානයක ඒ කටයුත්ත කරගෙන යන්න රජය කි‍්‍රයා කරන බව ප‍්‍රකාශ කරන්න ඕනේ. ඒ අනුව අපි පියවර ගණනාවක් අපි ඉදිරි කාලයේදී ළගාකර ගතයුතුයි. පළමුව සෑම නිවසකම කැළි කසළ කළමණාකරණයට, සෑම කෙනෙක්ගේම පෞද්ගලික දායකත්වය ඒ වගේම සමාජ දායකත්වය, ප‍්‍රාදේශීය සභා නගර සභා තමන්ගේ කැළි කසළ වගකීමෙන් යුතුව මේ මීතොටමුල්ලේ කළා වගේ වගකීම් විරහිතව නොවෙයි වගකීමෙන් යුතුව ප‍්‍රමිතියකින් යුතුව නඩත්තු කිරීම වගේම අනාගතය සඳහා රට පුරාම අත්‍යවශ්‍ය ස්ථානවල විද්‍යාත්මක කසළ රැඳවුම්කරණ ස්ථාන නිර්මාණය කිරීම, ඒ වගේම අපේ වරාය නගරය, ගොඩනැගෙන අලූත් තාක්ෂණ නගරය වැනි ඉහළ ගණයේ ස්ථාන සඳහ කසළන් විදුලිය නිපදනවන ඉහළ ගණයේ කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණ මධ්‍යස්ථාන ඉදිකිරීමට අපි කි‍්‍රයාකරණ බව ප‍්‍රකාශ කරමින් මේ ඛේදවාචකයෙන් මිය ගිය පිරිස්වලට සිදු කරණ ලොකුම ගෞරවය මේ රටේ කැළි කසළ ප‍්‍රශ්නය විසඳීම සඳහා අනාගතයේ ගොඩනැගෙන කැළිකසළ ප‍්‍රශ්නය විසඳීම සඳහා ශක්තිමත් නිර්භීත ඉදිරි පියවර තැබීමයි.

scroll to top