මීතොටමුල්ල කුණු කන්ද පිපිරීමේ අවධානමක් නැහැ

Champika-2.jpg
  • කමිටු තුනකින් අදියර 12 කින් මාස 05 ක් තුළ කෙටි කාලීන වැඩපිළිවෙල නිම කිරීමට සැලසුම්.
  • ප‍්‍රධාන නගර 07 ක කසළ රැඳවීම සහ කළමණාකරණය අදාල ආයතන සිදු නොකළහොත් ගැටළු ඇතිවන ලකුණු.

මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් දේශපාලකයින් මෙන්ම විවිධ ක්‍ෂෙත‍්‍ර සහ සමාජ කණ්ඩායම් නියෝජනය කරන අයගේ විවිධ අදහස් සමාජ ගත වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විද්‍යාත්මක සහ ප‍්‍රායෝගික වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ, මීතොටමුල්ල කුණු කන්ද පිපිරීමේ කිසිඳු අවධානමක් නැති බවයි. මීතේන් හිරවීමෙන් පිපිරීම් සිදුවන බවටත්, කන්ද නාය යන බවටත්, කන්දේ උස, කුණු ප‍්‍රමාණය මෙන්ම විවිධ විද්‍යාත්මක කරුණු කාරණා වැරදි දත්ත පදනම් කරගෙන සමාජගත නොකරණ ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටී.

මේ වන විට මීතොටමුල්ල කුණු කන්ද පුනරුත්ථාපනය කිරීම සඳහා කමිටු 03 ක් ආශ‍්‍රයෙන් අදියර 12 කින් කටයුතු කිරීම ආරම්භ කර ඇත. විද්වත් කමිටුවක්, ඉංජිනේරු කමිටුවක් සහ මෙහෙයුම් කමිටුවක් මහානගර සහ බසනාහිර සංවර්ධන අමාත්‍යාංශය මූලිකව කි‍්‍රයාත්මක වේ. එම කමිටු නියෝජනය කිරීම සඳහා භූ විද්‍යා සම්බන්ධයෙන් රටේ කටයුතු කරන සෑම ආයතනයක්ම නියෝජනය කෙරේ. එහිදී මොරටුව විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප‍්‍රමුඛව, භූ විද්‍යාව සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන මහාචාර්ය සමන් තිලකසිරි මහතාගේ ද උපදේශන දායකත්වය ලබා ගැනේ. ඊට අමතරව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මිනින්දොරු දෙපාර්තමේන්තුව, පතල් කැණීම් කාර්යංශය, ආපදා කළමණාකරණ අමාත්‍යාංශය, මධ්‍යම ඉංජිනේරු ආයතනය සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව මෙම සද්කාර්යයට පූර්ණ වශයෙන් දායක වේ. එක් එක් කමිටුව ආශ‍්‍රයෙන් ලබාදෙන නිර්දේශ ප‍්‍රායෝගිකව මහපොළවේ කි‍්‍රයාත්මක කිරීමෙ වගකීම ශ‍්‍රී ලංකා යුධ හමුදාව සිදු කරයි. අදාල නිර්දේශවල පළදායීතාව සහ නිරවද්‍යතාව පැයෙන් පැය අධ්‍යනය කිරීම සඳහා සැටලයිට් තාක්ෂණය සහ ශ‍්‍රී ලංකාවේ පළමු වරට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනේ.

අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ඉල්ලීම මත ජපන් විද්වත් කණ්ඩායම සිදු කළ පර්යේෂණයේ වාර්තාව සම්බන්ධයෙන් ද මෙහිදී අධ්‍යනය කෙරේ. අත්‍යවශ්‍යම වූ විටක ඉදිරි සහය සඳහා ජපන් රජයේ විද්වත් දායකත්වය ලබාගැනීමට අපේක්‍ෂිතය. මේ මොහොතේ දී සමස්ථ කටයුතු සිදු කරන්නේ දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

පූර්ණ වශයෙන් හානියට පත් නිවාස 98 ක් වෙනුවට දින 08 ක් ඇතුළත නව නිවාස ලබාදීමට වත්මන් රජයට හැකියාව ලැබිණ. මාධ්‍ය ඉදිරියේ ජනප‍්‍රිය සන්දර්ශන පැවැත්වූවත් ඒවා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම බාරගත්තේ නාගරික සංවර්ධන අධිකාරිය පමණක්ම බව ද සඳහන් කළ යුතු බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ය. කූණු කන්ද ස්ථාවර කර පුනරුත්ථාපනය කිරීම ඉදිරි මාස 05 ඇතුළත සිදු කරන බවටත් කසළ කොපමණ ප‍්‍රමාණයක් ඉවත් කරනවාද අදාල ඉඩම කුමන ව්‍යාපෘතියක් සඳහා යොදා ගන්නවාද යන්න පිළිබඳ තීරණය ඉන් අනතුරුව සිදු කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ය. අද වන විට රටේ ප‍්‍රධාන නගර 07 ක කුණු ගොඩගැසී අවධානම් ස්ථාන නිර්මාණය වෙමින් පවතී, එහිදී ප‍්‍රමුඛ වන්නේ මහනුවර, ගොහාගොඩ සහ ගම්පොළ ආශ‍්‍රිතව ගොඩනැගී ඇති කසළ කඳු දෙකයි. මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, පෑලියගොඩ සහ කැළණිය ප‍්‍රදේශවල ද එම තත්වය උදාවෙමින් පවතී. ඒ සඳහා ගතයුතු එකම කි‍්‍රයාමාර්ගය වන්නේ දැනට කි‍්‍රයාත්මක කමිටු 03 ආශ‍්‍රයෙන් සැකසෙන කසළ කළමණාකරණයට අදාල මාර්ගෝපදේශ වගකිව යුතු අන්දමින් එහි වගකීම් දරණ ආයතන ඉටු කිරීම පමණක් බවද චම්පික රණවක අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම අවස්ථාවට මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහේෂ් ජයවීර ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ධනංජිත් කරුණාරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සුමේධ රත්නායක, උපදේශක විද්‍යාඥ මංජු ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

scroll to top