මිහිමත සිටින නියම දෙවියා කොළ පාටට තිබෙන ගහකොළයි – ඇමති චම්පික රණවක

Champika.jpg

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක ‘නොකිළිටි සැමතැන නිකසළ පුරවර’ වැඩසහන යටතේ කි‍්‍රයාත්මක වන සම්පත් කේන්ද්‍ර පිහිටුවීමේ වැඩසටහනට අනුව කොළඹ 05 ඉසිපතන විද්‍යාලයේ සම්පත් කේන්ද්‍රය හා කසළ පොල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අද අපේ ඉසිපතන විද්‍යාලයට වැදගත් දිනයක්. අපේ මේ සියලූම දරුවන්ට මතකයි පසුගිය අපේ‍්‍රල් 14 වෙනිදා මීතොටමුල්ලේ පවත්වාගෙන ගිය විශාල කසළ කන්ද නාය යෑමකට තුඩු දුන්නා. ඒකෙන් 24 දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූනා. ඒ අතරේ පාසල් ශිෂ්‍යයොත් කිහිප දෙනෙක් හිටියා. මට මතකයි මම පසුගියදා ඞී.එස්.සේනානායක විද්‍යාලයට ගිය අවස්ථාවේ ඒ විදුහල්පතිතුමා ප‍්‍රකාශ කළා මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා ඞී.එස්. සේනානායක විද්‍යාලයේ පුතෙකුත් අභාවප‍්‍රාප්ත උන බව. ඒ අවස්ථාවේදී විදුහල්පතිතුමා ඒ පාසලේ දරුවන්ට අධිෂ්ඨානයක් කරනු ලැබුවා. මින් ඉදිරියට කොළඹ නගර සභාවට එම විද්‍යාලයෙන් කසළ ලබා නොදෙන්නට, මීතොටමුල්ල වගේ කසළ කඳු ඇතිවෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා. ඔවුන් එම පොරොන්දුව ඉතාම හොඳින් ඉටුකරගෙන යන බව මේ කොළඹ නගරයේ කසළ කළමනාකරණය පිළිබඳව කටයුතු කරන කොට අපට පෙනෙනවා.

අනාගතයේදී මේ දරුවන්ට භයානක ගැටළුවලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. කොළඹට ගංවතුර රටේ අනෙකුත් ප‍්‍රදේශවලට නියඟය. ඉතාම කණගාටුයි කියන්න මම පුවත්පත්වල දැක්කා සමහර පළාත්වල කෑම හිඟවෙලා දවසකට එක වේලක් කන පවුල් දශ ලක්‍ෂයක් ලංකාව ඇතුලේ ඇතිවෙලා තිබෙනවා මෙය ඉතා කණගාටුදායකයි. මේ වසරේ පළවෙනි 6 මාසේ වී අස්වැන්න 42% කින් අඩු වෙලා තිබෙනවා. පොල්ගස් දෙලක්‍ෂයක් මැරිලා. මේ තත්වය අනාගතයේ දී ඉතාම බලගතු ලෙස අපට දැනෙන්නට පුළුවන්. අපි ඒ කාලේ කිව්වේ කාන්තාර නැති, ගිණිකඳු නැති සයුරෙන් වට වූ මුතු ඇටය කියලා. නමුත් අපට විශාල ජල ගැටළුවකට මුහුණ දෙන්න සිදුවෙනවා. කැළි කසළ අපේ තෙත්බිම්වල ගිහින් දැම්මොත් තවත් ගැටළු ගණනාවක් එමගින් ඇතිවෙනවා. පස ඒ වගේම විශාල හෝදා පාලූවකට නාය යෑමකට අද ගොදුරුවෙලා තිබෙනවා. මේ ගැන අපි හිතන්න වෙනවා. සමහර අධිවේගී මාර්ගවලට විරුද්ධව යන උද්ඝෝෂණ හුඟක් අය වාර්තා කරනවා. මම හිතනවා කඳුකර ප‍්‍රදේශවල අධිවේගී මාර්ග තැනිය යුතු නැහැ. මොකද ඒ ප‍්‍රදේශවල ජනගහණය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ ප‍්‍රදේශවල තිබෙන අනතුරු දායක භාවයත් වැඩිවෙනවා. මැයි 16 ගාල්ල කළුතර රත්නපුර දිස්ත‍්‍රික්කවල ඇති වූ නාය යෑම්. මිලිලීටර් 500 ක වැස්සක් අඛණ්ඩව වැස්සොත් මහනුවර, නුවරඑළිය, බදුල්ල මේ  ඕනැම නගරයක් සදහටම වැසී යන්න පුළුවන්.

මේ දරුවන් සියලූ දෙනාම අධිෂ්ඨාන කර ගන්න  ඕනේ, කවුරු මොනවා කිව්වත් මිහිකතෙන් දෙන දඬුවම් ආපහු හරවන්න නම් අමාරුයි. එහෙම විද්‍යාවල් තාක්ෂණයවල් කවදාවත් බිහිවෙලා නැහැ. අපි පුංචි කාලේ කිව්වේ පරිසරය මිනිස්සුන්ට ජයගත හැකියි කියලා. නමුත් මිනිස්සු ඔප්පුකර තිබෙනවා පරිසරයට අපි කරන හානිවලින් පරිසරයෙන් අපට ලැබෙන දඬුවම් ආපහු හරවන්න අපට බැරි බව අද පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපේ කැළි කසළ අපි අවම කරන්න පුරුදු විය යුතුයි. අනෙක් කාරණය ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි සියළු දේ ප‍්‍රතිචක‍්‍රීයකරණයට නැඹුරු විය යුතුයි. කඩදාසි  හදන්නේ ගස් කපලා පල්ප හදලා ඒවයින් තමයි කඩදාසි හදන්නේ, එහෙම නැත්නම් වෙනත් ෆයිබර් එකකින්. කඩදාසි අවම කර ගැනීමෙන් කඩදාසි ප‍්‍රතිචක‍්‍රීයකරණයෙන් මේ ලෝකයේ වන වගාවට, එමගින් ඔක්සිජන් ලබාදෙන එකම දේ, ඔක්සිජන් මිනිසාට නිපදවිය නොහැකි. එය නිපදවන්නේ ගස්කොලන් මගින්. ඒ වගේම පොළවට වැටෙන වතුර ටික ආරක්‍ෂා කර දෙන්නේ කොළ පාටට හැදෙන ගස්කොලන්.  අපට අවශ්‍ය ආහාර ලබාදෙන්නේ ගස්කොළන් මගින්. මේ මිහිමත සිටින නියම දෙවියා කොළ පාටට තිබෙන ගස් කොළන්. අපේ ජීවිත ගොඩනැගිලා තිබෙන්නේ මෙයත් සමගයි. එනිසා අපි කඩදාසිවල පත්තර, පොතපත කියවන හැම වෙලාවෙම අපේ ජීවිත ගොඩනැගිලා තිබෙන දෙවියන් කපලා තමයි මේවා නිර්මාණය කර තිබෙන්නේ කියන එක හිතට ගත යුතුයි. ඒ නිසා ඒවා රැක ගැනීමට කටයුතු කළ යුතුයි.

ඒ වගේම ප්ලාස්ටික් පොලිතින් දැන් මධ්‍යම පරිසර අධිකාරියෙන් තහනමක් පනවා තිබෙනවා. නමුත් තවම පාවිච්චි වෙනවා. මේ ප්ලාස්ටික් පොලිතින් මේ තෙල් ගල් අඟුරු ගෑස්වල අතුරුඵලයක්. කඩදාසියක් නම් සති දෙකකින් තුනකින් පොළවට දිරලා යනවා. හැබැයි ප්ලාස්ටික් පොලීතින් නම් අවුරුදු 1,000 ක් ගියත් දිරලා යන්නේ නැහැ. මට මතකයි පරිසර ඇමති කාලේ මම පැල හිටවන්න හුඟක් තැන්වලට ගියා. ඒ හුඟක් තැන්වල පලවෙනි පස් පිඩැල්ල ගැහුවම හම්බවෙන්නේ ෂොපින් බෑග්. එවැනි තත්වයකට මේ රට අද පත්වෙලා තිබෙනවා. මේ පස ඇද වැටිලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ, අපේ දරුවන්ගේ වගකීමක් තිබෙනවා ප්ලාස්ටික් පොලිතීන් භාවිතයෙන් හැකිතාක් ඈත් වෙන්න. ඒ වගේම පිරිසිදු කර ඒවා ප‍්‍රතිකචක‍්‍රීයකරණය කරන අයට භාර දෙන්න. වීදුරුත් එහෙමයි. ඒ වගේම දිරායන කසළ හැකිතාක් දුරට අවම කරන්න, ඒවා වෙන්කර නගර සභාවට භාර දෙන්න.

ඒ වගේම මම ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ සෑම පුරවැසියෙක්ගෙන්ම මේ ප‍්‍රශ්නේ විසඳන්න බොරු දේශපාලන උද්ඝෝෂණ නිසා අපට බැරි උනා. දැන් අපි විද්‍යාත්මක විසඳුමක් දී තිබෙනවා. අපි කසළින් විදුලිය නිපදවන ව්‍යාපෘති 03 ක් කරගෙන යන්න අනුමැතිය දී තිබෙනවා. ඊ ළඟ අවුරුදු එකහමාරේදි එහි ප‍්‍රතිපල අපි බලාපොරොත්තු වෙනවා. එමගින් පමණක් මෙම ගැටළුව විසඳෙන්නේ නැහැ. අවසාන බැහැර කිරීමක් අවශ්‍යයි. ඒ සඳහා අරුවක්කාලූවේ අත්හැර දමා තිබෙන සිමෙන්ති තැනීම සඳහා හිරිගල් කඩපු ප‍්‍රදේශයක් අපි පාවිච්චි කරන්න යනවා. කරුණාකර එම ව්‍යාපෘතියට බෝඞ් ලෑලි අල්ලලා අපේ මේ පුංචි දූලා පුතාලගේ අනාගතය විනාශ කරන්න එපා. ඒවගේම ඒවට එරෙහි වෙන්න එපා කියන පණිවිඩය ලබාදෙනවා.

මේ ඉසිපතන විද්‍යලයෙත් අපි අධිෂ්ඨානයක් ඇතිකර ගත්තොත් අපි කුණු බිඳක්වත් එක ග‍්‍රෑම් එකක්වත් නගර සභාවට දෙන්නේ නැහැ. අපේ කසළ අපි කළමනාකරණය කරනවා අපේ පාසලේ කියලා. එය විශාල ආදර්ශයක් බවට රටට පත්වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාසලේ ඉන්න 4,500 කට අධික ශිෂ්‍යයින්ගේ නිවාස හාර දහසකට අධික ප‍්‍රමාණයෙත් ඒවායෙත් මේ වැඩපිළිවෙල අපේ දරුවෝ මුල්වෙලා කළහොත් විශාල වැඩපිළිවෙලකට රට ඉදිරියට ගෙනයන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ කසළ සම්පතක්. ඔබේ පුස්තකාලය දියුණු කරගන්න ඔබේ පාසල දියුණු කර ගන්න, ඒ කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණයට අයත් ඒ පිරිස් සමග එකට එකතු වී කටයුතු කළහොත් ඉසිපතන විද්‍යාලයට විශාල ජයග‍්‍රහණ ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා අපි හැමෝගෙම හිත, මෙන්ම අධිෂ්ඨානය ඉතාම අවශ්‍යයි මේ ජයග‍්‍රහණයන් ලබාගන්න. ඒ සඳහා අපි සියළු දෙනාම අත්වැල් බැඳගෙන එකට කටයුතු කරමු කියන පණිවිඩය ඉසිපතන විද්‍යාලයේ පුතනුවන් සියළු දෙනාමට ලබාදෙනවා යයි පැවසීය.

scroll to top