මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති තුමාගේ වෙසක් පණිවුඩය

සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල යෙදුන පුන් පොහොය දිනය අප සියළු සිත් සතන් කරුණා දියෙන් පිරී සැනසෙන උතුම් දිනයයි.

මේ උතුම් දිනයේ වෙසක් සඳ රැසින් ශ්‍රී ලංකාද්වීපය නැහැවෙන්නේ අමා මෑණී බුදු පියාණන්ගේ උතුම් දහම් පණිවිඩයද ලොවට සිහිපත් කරවමිනි. ලෝක ජනයා වෙත ශ්‍රී ලංකාද්වීපයේ ජනතාවට දායාද කළ හැකි උතුම්ම දායාදය වන්නේ බුදු පියාණන්ගේ එම ථේරවාදී දහම් පණිවිඩයයි. සමස්ථ ලෝකවාසී බෞද්ධයෝ ජාත්‍යන්තර වෙසක් දිනය වශයෙන් පිළිගත් මෙම දිනය ලාංකිකයාට අර්ථවත් කළ හැක්කේ එම දහම් පණිවිඩය අනුව දිවි ගෙවන ජාතියක් බව ලොවට පෙන්වා දීමෙන් පමණයි. ඒ නිසා මේ දහම් දිවයිනේ දිවි ගෙවන සියළු බෞද්ධයෝ සිත් සතන් කරුණා මෛත්‍රියෙන් පුරා අවෛරීව කුසල් දහම් වැඩිය යුතුය. ඒ ශාන්ති වාදී මඟ ගත් බව ලෝකයාට පෙන්වා දිය යුතුය. එයින් සැනසෙන බව ලෝකයාට පෙන්වා දිය යුතුය. කරුණා දයා ගුණයෙන් සියළු සිත් සතන් පහන් වෙන සුභ වෙසක් මංගල්‍යක් වේවා.

scroll to top