මහනුවර නගරය පරිපූර්ණ මහානගරයක් හැටියට පියවරෙන් පියවර දියුණු කරනවා. – ඇමති පාඨලී

Champika2.jpg

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ මහනුවර නාගරික ජලසම්පාදන පද්ධතියේ ගබඩා පහසුකම් සහ බෙදාහැරීම් ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා මහානගර අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් රුපියල් ලක්‍ෂ 3,000 ක වියදමින් ඉදිකරන ලද දංගොල්ල භූගත ජල තටාකය, හීරැස්සගල පහල භූගත ජල තටාකය, පොම්පාගාරය හා හීරැුස්සගල මධ්‍යම භූගත ජල තටාකය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපේ ජනාධිපතිතුමා බලයට පත් වූ 2015 ජනවාරි 08 වෙනිදා සිට මහනුවර නගරයේ ආරම්භ කරපු ප‍්‍රධාන ව්‍යාපෘති අපට මේ ලෙස අවසන් කරලා ජනතාවගේ අයිතියට පත් කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. අපි මේ දිනවල සැලසුම් කරගෙන යනවා මහනුවර නගරය මහානගරයක් බවට පත් කරන්න. මහුනවර නගර සභා බල සීමාව පමණක් නෙමෙයි, අවට තිබෙන කඩුගන්නාව, වත්තේගම තුම්පනේ ආදී ප‍්‍රදේශ සියල්ල එකට එකතු කරලා එක නගරයක් හැටියට දශ ලක්‍ෂයක පමණ ජනතාවක් ජීවත්වන නගරයක් හැටියට දියුණු කරන්න. ඒ සැලසුම් දියත් කිරීම සඳහා අපට ජපානයේ ආධාර ලැබෙනවා. ඒ අනුව එම කටයුත්ත අපි කරගෙන යනවා, එහිදී ප‍්‍රධාන ගැටළු ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. එකක් මේ මහනුවර ජනාවාසවලට ජලය සැපයීම, දෙවෙනි කාරණය මේ මහනුවර ජනතාවගේ අප ජලය වැසි ජලය, මලාපවහන පද්ධතිය විධිමත්ව ඉවත් කිරීම ඒ සඳහා අපි විශාල වියදමක් මේ උපාය මාර්ගික නගර වැඩපිළිවෙල යටතේ දියත් කර තිබෙනවා. මිලියන දශලක්‍ෂ පහලොස්දහසක් මේ නගර සීමාවේ පමණක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ ප‍්‍රධාන අවධානය යොමු වී තිබෙන ප‍්‍රධාන ගැටළුව තමයි ඓතිහාසික මහනුවර නගරයේ මාර්ග තදබදය. එය මේ මුළු රටටම බලපාන ගැටළුවක්. ඒ අනුව අපි ක‍්‍රම දෙකකට ඒ සඳහා අපි කි‍්‍රයා කිරීමට කටයුතු කරනවා. එකක් නගරයේ පරිපාලනය වෙනත් ප‍්‍රදේශයකට ගෙනයාම. වාණිජ නගරය තවත් ප‍්‍රදේශයකට එනම් මාතලේ මාර්ගය ප‍්‍රදේශයට ගෙන යාම. ඒ වගේම පේරාදෙණිය විශ්ව විද්‍යාලය අවට ප‍්‍රදේශය වෙනම දියුණු කරන්න කටයුතු කිරීම. ඒ වගේම අපි කල්පනා කළා මහනුවරට ඉතා අත්‍යවශ්‍යයි පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම. දුම්රිය සහ බස්රිය. එය ලබන වසරේ ආරම්භ කිරීම සඳහා මේ දිනවල සැලසුම් සකස් කරමින් සිටිනවා. මහනුවර ගුඩ්ෂෙඩ් ප‍්‍රදේශය, ජාතික රෝහල, ඒ වගේම විලියම් ගොපල්ලව මාවත හා උඩ පේරාදෙණිය පාර, ඒ වගේම දුම්රිය ස්ථානය බස්නැවතුම්පල ශ‍්‍රී දළඳා මාළිගාව ප‍්‍රධාන වෙළඳ සංකීර්ණය මේ සියල්ල එකට යා කරන මහා ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්. ඒ මගින් මේ ප‍්‍රදේශයේ ගැටළු බොහොමයක් විසඳෙයි කියා අපි විශ්වාස කරනවා.

ඒ වගේම මේ නගරයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආශි‍්‍රිතව ආචාර්ය මාහාචාර්යවරු, රෝහල ආශ‍්‍රිතව වෛද්‍යවරු, උසාවිය ආශ‍්‍රිතව නඩුකාරවරු සහ නීතීඥවරු මෙන්ම ඉංජිනේරුවරුන් ආදී වැදගත් විද්වතුන් වෘත්තීවේදීන් ජීවත් වන විශාල නගරයක්. අපි සතුටින් ප‍්‍රකාශ කරනවා මේ වසර අවසන් වීමට පෙර මේ විද්වත් පිරිස සඳහා වෙනම නිවාස සංකීර්ණයක් සහිත නගරයක් අපි මහනුවර ඉදිකිරීමට බලාපොරොත්තු වන බව. එවැනි නගර කිහිපයක් රට පුරා කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. පළවෙනි නගරය බොරැල්ලේ ඇති කළා. දෙවෙනි නගර මහරගම සිදු කළා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පිළියන්දල ඒ වගේම රාගම ආදි ප‍්‍රදේශවල ඇති කරන්න. කොළඹින් පිටත පළවෙනි වියතුන්ගේ නගරය මහනුවර ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. කුරුණෑගලත් එවැනි නගරයක් ඇතිකිරීමට කටයුතු කරනවා. මෙමගින් මෙරට වෘත්තීයවේදීන්ට, උගතුන්ට එක තැනක හිඳගෙන විධිමත්ව නගරයකින් ලැබෙන සේවාව ලබාගෙන විදේශ ගත නොවී තමන්ගේ වෘත්තීය සේවාව රටටම ලබාදීමේ හැකියාව අපි උදාකරලීමට බලාපොරොත්තු වෙනවා. මහනුවරට තවත් ව්‍යාපෘති රැසක් එළඹෙන බවත් එමගින් මහනුවර නගරය පරිපූර්ණ මහානගරයක් හැටියට පියවරෙන් පියවර දියුණු කිරීමට කටයුතු කරන බවත් ප‍්‍රකාශ කරනවා’ යයි ප‍්‍රකාශ කළේ ය.

scroll to top