මම කැමතියි සරදි‍යෙල් වගේ වෙන්න – පබ්ලිස්

ඔහු ගල්කිස්ස මහ හෝටලයේ සූපවේදීන්ගේ ප්‍රධානියාය. 78 වියේ පසුවන හේ නමින් පබ්ලිස් සිල්වාය. ශ්‍රී ලංකාවේ ආහාර ලෝකයට රැගෙන යාමේ ගෞරවය අවිවාදයෙන්ම හිමිවන්නේ ඔහුටයි.

ඉපැරණි ගල්කිස්ස මහ හෝටලයේම පුරුකක් බඳුවූ මේ මහා පුරුෂයා අප සමග දොඩමළු විය. ඔහු පැවසුවේ ඔහුට අවශ්‍ය සූර සරදියෙල් වැනි මිනිසෙකු වීමට බවයි.

ඒ සොරකම් කිරීමේ අර්ථයෙන් නොවේ. ලංකාවේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා කවුරුන්දැයි ඇසූවිට එක් වරම පිළිතුරු දීමට කෙනෙකුට අපහසු වුවත් සූර සරදියෙල් කවුරුන්දැයි ඇසූවිට ඕනෑම කෙනෙකු දන්නා බව පබ්ලිස් මහතා අප සමග කොක් හඬලාමින් පැවසීය. ඒ අර්ථයෙන් කවදා හෝ තමන්ද මිනිසුන්ගේ සිත් තුළ රැඳී තිබෙනු ඇතැයි විශ්වාස කරන බව හෙතෙම අප සමග පැවසුවේ සිය තියුණු ඇස් නටවමිනි.

1956 වසරේදී ගල්කිස්ස මහ හෝටලයට ගාල්ලේ රත්ගම සිට අඟුරු අදින්නට පැමිණි තමාට මෙතරම් දුරක් පැමිණීමට තෝ තැන්නක් වූ ගල්කිස්ස මහ හෝටලය හැරදමා මසුරං දුන්නත් වෙනත් තැනකට නොයන බව ඔහු පැවසුවේ ලොකු ලොකු ඔෆර් ලැබී නැත්දැයි අප විමසූ විට සිය කෘතවේදීත්වයේ තරම විදහා දක්වමිනි.

ගල්කිස්ස මහ හෝටලයේ අදෘශ්‍යමාන බලවේග පවා තමාට ආශීර්වාද කරන බවත් තමා පාසැල් ගියේ තුනේ පන්තියට පමණක් බවත් ඔහු පැවසීය.

සූපවේදියා ලෙස සිංහලෙන් භාවිතා කිරීම පරිවර්තන දෝෂයක් බව හෙතෙම පෙන්වා දුන්නේය. වේදියා යන්නෙන් අරුත් ගැන්වෙන විද්‍යාඥයා යන අර්ථය තම රැකියාවට කොහෙත්ම නොගැලපෙන බව ඔහු කීය.

වසරේ දින තුන්සිය හැට පහේම, උදෑසන 6.30 සිට සවස 6.30 වනතුරු සේවය කරන ලෝකයේ සිටින එකම සූපවේදියා තමන් වනු ඇති බවත් තමා මුදලාලිලාගේ සල්ලි වලට විකිණෙන්නේ නැති බවත් මේ පුරුෂයා පැවසුවේ අභිමානයෙනි.

“ඒ ගොල්ලට සල්ලි නෑ මාව මිලදී ගන්න තරම්“

යනුවෙන් ආචාර්ය පබ්ලිස් සිල්වා අප සමග කීය.

scroll to top