මධ්‍ය මහා විද්‍යාල ප‍්‍රවාහය සහ තාක්‍ෂණික පන්තිය එකට මුසුවීමෙන් ලේ නොහෙලා සමාජ විප්ලවයක් කළ හැකියි.

හිටපු ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්‍ෂක ලේකම් තනතුරෙන් විශ‍්‍රාම ගැනීම සහ ජර්මානු තානාපති ධූරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් ”මෛත‍්‍රී මිතුරෝ” සංවිධාන කරනු ලැබූ විශේෂ උත්සවයකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම උත්සවය අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2014 නොවැම්බර් 18 දින දේශපාලන හේතුවක් මත එවකට දැරූ අමාත්‍යධූරයෙන් ඉවත් වී මාගේ නිල නිවස නැවත භාර දී කුලියට ලබා ගත් නිවසකට ගියා. අපි ගත්ත දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් අප අවට හිටි නිලධාරීන්, විවිධ පිරිස් අප මුණගැසීමට පවා බිය වී සිටි මොහොතක, එවැනි අවධානම් පසුබිමක ප‍්‍රථමයෙන් මා හමුවෙන්නට පැමිණි පුද්ගලයා වූයේ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හා අසේල ඉද්දවෙල මහතායි. පසුගිය ජනාධිපතිවරණයේ මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරමින් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඒ විශිෂ්ඨ ජනතා ජයග‍්‍රහණය ලබාගන්න මූලිකව කටයුතු කරනු ලැබුවා.

සමාජ විද්‍යාඥයින් අතර තියෙන මතයක් නම් සමාජයේ යම් යම් ක‍්‍රියාවලින් පුද්ගලයෙකුගේ හැකියාවන් වලින් නිර්මාණය කරනවාද, එසේත් නැත්නම් පුද්ගලයින්ගේ හැකියාවන් මතින් සමාජය නිර්මාණය කරනවාද කියන මතය, ඔවුන්ගේ තියෙන ජානමය හැකියාව, බෞද්ධයන්ට අනුව නම් පෙර කුසලය හේතුවෙන් යම් යම් ශක්තීන්, හැකියාවන් පුදගලයින්ගෙන් පුද්ගලයින්ට නිස`ගයෙන් එනවා. සමාජ ක‍්‍රියාකාරිත්වය සමාජයේ ඇතිවන විවිධ බලවේගයන් පුද්ගලයින්ගේ හැකියාවන් ඔපමට්ටම් වෙලා ඉබේම සමාජ නායකයන් බවට පත්වෙනවා. ඒ විතරක් නොවෙයි, ඒ සමාජ ක‍්‍රියාවලිය වෙනස් කරන්නත් හැකියාව ලැබෙනවා. කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා සුවිශේෂී සමාජ ක‍්‍රියාවලීන් දෙකක එසේත් නැත්නම් ප‍්‍රපංචනයන් දෙකක ප‍්‍රධාන චරිතයක්. ඉන් එක් සමාජ ප‍්‍රපංචයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. අපේ රටේ මධ්‍ය මහා සංකල්පයෙන් මෙරටට බිහි වූ සුවිශේෂ චරිතයක් ලෙස කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හඳුන්වා දෙන්න පුළුවන්. එදා ජේ.ආර්. ජයවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක් වූ එම්.එම්.සී. ආයතනය ජනසතු කරන්න කියා බලපෑම් කරමින් විශාල කැරලිකාරී තත්ත්වයක් ඇතිවුණා. ඒ අවස්ථාවේදී මාධ්‍යවේදියෙක් මාගෙන් විමසුවා කුමක්ද මේ සිදුවන්නේ කියා. මා එදා ප‍්‍රකාශ කළා 1948 දී රාජකීය විද්‍යාලයට නිදහස ලැබුණා. 1956 දී ආනන්ද විද්‍යාලයට නිදහස ලැබුණා. දැන් ඇතිවී තිබෙන්නේ ලේ වැගිරෙන කැරැුල්ලක්. වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිටි නල්ලඩි විදුහල දක්වා තමන්ගේ අධ්‍යාපන අයිතීන් දිනාගැනීම සඳහා කෙරෙන ලේ හෙළන විප්ලයක් බව ප‍්‍රකාශ කරනු ලැබුවා. එදා එම ක‍්‍රියාවලිය නිසා විශාල ජීවිත ප‍්‍රමාණයක් විනාශ වූනා. නමුත් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කිසිදු ලේ වැගිරීමක් නොමැතිව මේ රටට පෙන්වා දී තිබෙනවා මේ රටේ මධ්‍ය මහා විද්‍යාලවලින් බිහිවූ පිරිසට රටට අවශ්‍ය වෘත්තීය නායකත්වය දෙන්න පුලූවන් බවත්, ලේ නොසලා සමාජ විප්ලවයක් කරන්න පුළුවන් බවත් එතුමා ආදර්ශයෙන් පෙන්වා දී තිබෙනවා.

වර්තමානයේදී හිංසාවාදී ක‍්‍රියාවලීන් නැවත ඇතිවී තිබෙනවා. එය රාජ්‍ය යාන්ත‍්‍රණයට අභියෝග කරන්න පුළුවන් දවස වැඩි ඈතක නොවේ. එනිසා අපි සමාජ ක‍්‍රියාකාරීන්ට කියන්න ඕනෑ කැරලිකාර විදිහට පාරේ ලේ හලන්නේ නොමැතිව සිය කුසලතාවයන් උපයෝගී කර ගනිමින් සමාජය යහමගට ගෙන ඒම සඳහා සමාජයට සේවයක් කිරීම සඳහා හැකියාව ඇති බව මෙවැනි ආදර්ශමත් චරිතයන්ගෙන් ඉගෙනගන්නා ලෙසයි. 1971, 88, 89 මධ්‍ය මහා විද්‍යාලවලින් බිහිවූ දක්‍ෂ පිරිසකගේ ජීවිත අහිමි වුණා. එම ජීවිත පුද දී කරන්නට ගිය වෙනසට වඩා වැඩි වෙනසක් වර්තමානයේ වෘත්තීයවේදීන් පසුගිය ජනවාරි 08 වෙනිදා අවිහිංසාවෙන් විප්ලයයක් සිදුකර ආකාරය පැහිදිලිව පෙන්වා දෙනු ලැබුවා.

අද චීනය පාලනය කරන සෑම දේශපාලන නායකයෙකුම තාක්‍ෂණ පන්තියට අයිතියි. ඒ හේතුව නිසා චීනය අද අනිත් රටවලට හැරෙන්නවත් නොදී ඉදිරියට ගමන් කරමින් සිටිනවා. තාක්‍ෂණ පන්තිය රටකට ඉතා බලගතු ප‍්‍රපංචයක් බවට පත්වී තිබෙනවා. අපේ රටේ තාක්‍ෂණ පන්තියෙන් එන අයට කරන්න පුලූවන් ලූණුගම්වෙහෙර බැම්ම හදන එක පමණක් නොවේ. රාජ්‍ය අමාත්‍යාංශ, සංස්ථා, ආයතන කාර්යක්‍ෂම ලෙස පාලනය කරන්නත් හැකියාව ඇති බව ඒ අය පෙන්වා දී තිබුණා. ඒ වගේම කණගාටුවෙන් ප‍්‍රකාශ කළ යුතු දෙයක් තිබෙනවා එනම් අපේ රටේ ස්වාධීන කොමිෂන් සභා කිසිවක මේ රටේ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, වාස්තු විද්‍යාඥයෙකුට සේවය කරන්න ඉඩක් ලබා දී නෑ. මේ සෑම කොමිසමකම පනතින් නියම වී ඇත්තේ නීතීඥයන්ට පමණයි. නමුත් මේ රට දුවන්නේ වෘත්තීයවේදීන් අතින්. මේ රටේ ගමන්මග තීරණය කරන්නේත් වෘත්තීයවේදීන්. ඒ අනුව, ඔවුන්ටත් මේ රටේ දක්‍ෂ පරිපාලකයන් විය හැකි බව ඔප්පු කරදී තිබෙන මොහොතක මේ මහා සමාජ ප‍්‍රපංචයන් දෙක ඉදිරියට ගෙන යෑම අපේ වගකීමයි.

scroll to top