මතුපිට ඔපය හා ධර්ම ප්‍රතිවේධය

Buddhism-6.jpg

බුදුරදුන්ගේ ඉගැන්වීම් බුද්ධාගම බවට පත්වීමෙන් විශාලම හානිය සිදුවී ඇත්තේ ධර්ම ප්‍රතිවේධයටයි. මේ හේතුව නිසා ධර්ම ප්‍රතිවේධය නැත්තටම නැතිව ගොස් තිබේ.මෙසේ පවසද්දී එසේ නම් මෙකල ධර්ම ප්‍රතිවේධය කළ නොහැකිදැයි ඔබට පැණයක් ඇතිවිය හැකිය.නමුදු මා කියනුයේ ඊට අදාළ වූවක් නොවේ.මගේ අරමුණ ධර්ම ප්‍රතිවේධය පිළිබඳව සාකච්ඡා කිරීමයි.මටද ගැටලුවක්ව ඇත්තේ ධර්මය මේ ආකාරයට වෙනස්ව යාමයි. සත්‍ය වශයෙන්ම වෙනස්ව ගොස් ඇත්තේ ධර්මය නොව ධර්මය විග්‍රහ කරන පිළිවෙලය.ධර්ම විග්‍රහය හුදු වචනාර්ථ විග්‍රහයකට පමණක් ලඝුවීම මෙහි ඇති බරපතලම ගැටලුවයි.කාලයක් බුද්ධ වචනය මුඛ පරම්පරාගතව පමණක් ආරක්ෂා විය. එකල මුද්‍රණ ද්‍රව්‍ය ඉතාම දුර්ලභ විය.පහසුවෙන් වඩා බහුල ලෙස මෙකල මෙන් පතපොත මුද්‍රණය කරගැනීමේ පහසුකම් එකල නොවූ බැවින් කටපාඩම්කර වණපොත්කර මතක තබාගෙන ස්මෘතියෙන් බුදුරදුන්ගේ ඉගැන්වීම් රැක ගැනීමට සිදුවිය.එකල රහතන්වහන්සේලාද විසූ බැවින් කටපාඩම්කර පාරම්පරිකව පවත්වාගෙන එන ධර්මය අර්ථ විග්‍රහ කිරීමේදී සුවිශාල ගැටලු මතු නොවුනි.නමුදු රහතන්වහන්සේලා අතර වුවද යම්යම් ධර්ම කරුණු සම්බන්ධව විවිධ විග්‍රහ විශ්ලේෂණ තිබී ඇත. ඒ බව පළමු ධර්ම සංගායනාවෙන් පසුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හා පුරාණ තෙරුන් අතර පැවති සාකච්ඡාව අනුව පැහැදිලි වේ. එම ධර්ම සංගායනාව සඳහා සහභාගී කරගනු ලැබුවේ සිව් පිළිසිඹියාපත් මහරහතන්වහන්සේලා 500 ක් පමණකි. එකල ඊට වඩා විශාල ප්‍රමාණයක් මහරහතන්වහන්සේලා වැඩ සිටි අතර තෝරාගත් රහතන් වහන්සේලා පමණක් ඇතුළු නුවර වෙනම ස්ථානය රැඳී සිටිමින් සංගායනා කළ අතර සෙසු අය එයින් පිටත දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඇතුලට පැමිණීම වලක්වා තිබිණි.මෙලෙස සිදුකරනු ලැබූ එම සංගායනාවෙන් පසු ඉවතට වැඩි එම සංගායනාවේ මුලසුන හෙබවූ මහා කාශ්‍යප රහතන්වහන්සේහට පුරාණ හා ගවම්පති නම් මහසංඝස්ථවිරයන්වහන්සේලා මුණ ගැසෙයි. උන්වහන්සේලාගේ පිළිතුරනම් සංගායනාව මැනවින් පැවතියේ වුවද ඒ ධර්මකරුණු බුදු මුවින්ම ඇසූ පරිදි තමන් ධාරණය කරගන්නා බවයි. මේ ප්‍රකාශය අනුව පුරාණ හා ගවම්පති යන ථෙරවරුතුළ ධර්ම සංගයනාව පිළිබඳව ප්‍රසාදයක් තිබී නැතිබව හෙළි වේ. මෙහි මහා කාශ්‍යප හිමියන් මේ ථෙරවරු අමතා ඇත්තේ ඇවැත්නි( ආවුසෝ ) යනුවෙනි. ශාසන සම්ප්‍රදාය අනුව එසේ අමතනු ලැබිය හැකිවනුයේ සීලය,ගුණය,උපසම්පදා ආදියෙන් සමාන අය අතර පමණකි.එසේ නම් මහසංඝ ස්ථවිරයන්වහන්සේලා අතර පවා මහ කාශ්‍යප හිමි මූලික ස්ථානය ගෙන සිදුකළ ප්‍රථම සංගායනාව පිළිබඳව පිළිබඳව එතරම් ප්‍රසාදයක් තිබී නැතිබව පෙනී යයි.

ප්‍රථම සංගයානවට පසුව තවත් ධර්ම සංගායනා කීපයක්ම සිදුවිය. ඒවා අතර ථේරවාද සංගායනා හා මහායාන සංගායනා තිබේ. කෙසේ වුවද සංගායනාවක අරමුණ ධර්මකරුණු පිළිබඳව යම් නිශ්චයකට පැමිණීම, සංරක්ෂණය සඳහා කටයුතු යෙදීම, සාවද්‍ය මිථ්‍යා මතවාද බැහැර කරලීම හා ධර්ම ප්‍රචාරය සම්බන්ධ යම් වැඩපිළිවෙලක් යොදා ගැනීම ආදී කරුණු ඉටු කරගැනීමයි.නමුදු හුදු ධර්ම සංරක්ෂණය පිළිබඳව ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීම හා ධර්ම ප්‍රචාරක යාන්ත්‍රණය බලගැන්වීම ආදිය හැරුණුවිට ථේරවාදී ධර්ම සංගායනාවලින් අපේක්ෂිත සෙසු අරමුණු ඒ අයුරින් ඉටුකරගත හැකිවීදැයි ගැටලුවකි. සීමා කිරීම්, තහංචි, වාරණ (restriction) සත්‍ය ධර්මයකට අවශ්‍යද?බුදුන්වහන්සේගේ ඉගැන්වීම් බුදුන් ජීවමාන කාලයේදී පැවතුනේ කිසිදු වාරණයකට යටත්කර නොවේ.බුදුන්ගේ ඉගැන්වීම් නොඇලීමේ ක්‍රමවේදය පදනම් කරගත්තකි.අල්ලා ගැනීම් කිසිවකට සැබෑ දහමේ කිසිදු ඉඩක් නැත.බැඳීම් ඇලීම් ආදිය දෘෂ්ටිග්‍රහණයකට මඟපාදයි.එබැවින් හැකිතාක් අල්ලාගැනීම්වලින් වැලකී කටයුතුකිරීමට මූලික බුදු දහම දිරි දෙයි.සැබෑ දහම ඕනෑම දෙයක් සමඟ ගැටීමකට තුඩු නොදෙයි.ගැටීම පවතිනුයේ ඇලීමක් නිසාමය.මධ්‍යම ප්‍රතිපදාව සැකසී ඇත්තේ දෙඅන්ත ග්‍රහණය කරගැනීම වැලකීමට උපක්‍රමයක් ලෙසය. වැලකීමක් අවශ්‍යවනුයේ ගැටීමකට තුඩු දෙන්නක් අරබයාය.බුදු දහමේ මුලික හරය නම් දෘෂ්ටීන් බිහි කරගැනීම වැලකීමයි.සත්‍යාවබෝධයට දෘෂ්ටිග්‍රහණයෙන් වැලකීම අත්‍යවශ්‍යය.සිද්ධාර්ථ කුමරු සිය බිරිඳ දරුවා ඥාතිවර්ගයා රජකම ආදී සැපසම්පත් සියල්ල අත්හැර දමා වනයට පිවිස දුෂ්කර ක්‍රියාවල නිරතව හැරදැමීමේ ක්‍රියාවලියෙහි අවසාන ප්‍රතිඵලය ලෙස බුද්ධත්වය ශාක්ෂාත් කළසේක.බෝසත්හු දස පාරමිතා පරමත්ථ,උප පාරමි හා පාරමී වශයෙන් තෙකොටසකට සම්පූර්ණකරති.මෙහිදී හැරදැමීම තමා අයත් භෞතික වස්තුවල සිට අනුක්‍රමිකව ශරීරාවයව දක්වාද අනතුරුව ස්වකීය නාමරූප දක්වාද ව්‍යාප්තකරනු ලබයි.සත්‍යාවබෝධය අත්හැරදැමීමේ ක්‍රියාවළියේ අවසාන කූඨප්‍රාප්ති අවස්ථාවයි. එහිදී කිසිදු අයුරක ගැටීමක්,ඇලීමක්,වාරණයක් නොමැත.මධ්‍යම ප්‍රතිපදා ධර්මයටද කිසිදු වාරණයක් තිබිය නොහැකිය.දෙව්දත් හිමි පංචවර නමින් ඉල්ලා සිටියේ බුදුදහමට වාරණ පණවන ලෙසයි.එය බුදුරදුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.නමුදු වර්තමාන සමාජය බුදුදහමට වාරණ පණවාගෙන තිබේ.මෙය අපට කැප අපට පමණකි.සෙස්සන්ට අකපැය යනාදී සාවද්‍ය අදහස් කරන ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ඇතැම්හු මේ අත්තනෝමති බුදුදහමේ ව්‍යාජයෙන් ඉදිරිපත් කරති.බුදුදහම ඉදිරියේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ නිමිති හුදු ව්‍යංජඤ්ජන පමණකි.බාහිර ඔපය අභ්‍යන්තර හරය මැඩපවත්වමින් පෙරට පැමිණීම ශාසන පරිහානිය සඳහා ප්‍රබලතම හේතුසාධකයයි.මෙකල පාලි ත්‍රිපිටක දහම බොහෝ දෙනෙකු අධ්‍යනය නොකරනබව සැබෑවකි.නමුදු එය ගැඹුරින් ශාස්ත්‍රාලීයය මට්ටමෙන් අධ්‍යයනය හා ශාස්ත්‍රීය පර්යේෂණ කළ අපවැනි තලතුනා වියේ පසුවන අය තවමත් දුලබව හෝ මේ සමාජයේ ජීවත්ව සිටිති. එබැවින් කිසිදු කරුණක් පිළිබඳව හරිහැටි නොදැන අන්තවාදී අතිධාවනකාරී සාවද්‍ය නිගමන ලබාදීමෙන් සපුරාවැලකිය යුතුය.

ඇස,කණ,නාසය,දිව,සම හා සිත යන ආයතන සියල්ලද එයට අරමුණු වන අරමුණුද අරමුණ ඇසුරින් හට ගැනෙන විඤ්ඤාණද සියල්ල ක්ෂණිකය.සියල්ල ත්‍රිලක්ෂණයට යටත්ය.සිය නාමකයද මේ සියලු දෙයින් අන්තර්ගතය.තමා සේ සලකන සියල්ලම පිටස්තරයෙකුගේ ඇසින් දැකිය යුතුය.සිතට දැනෙන අරමුණුද කයට දැනෙන වේදනා සියල්ලද හුදු ස්වකීය,තමාගේ හෝ තමා වශයෙන් නොදැක හුදෙක්ම තවත් නාමරූප ධර්මතාවයක්,නාමරූප ක්‍රියාකාරීත්වයක් හේතුප්‍රත්‍ය සමවාය නිසා පවතිනබව සලකා දැකිය හැකිනම් එහිදීම සක්කායදිට්ඨිය ප්‍රහාණය කළහැකි වේ.ධම්මසංගණීප්පකරණයෙහි සක්කාය දිට්ඨිය හුදු දෘෂ්ඨිය නිවැරදිකිරීමෙන්(දස්සනේන පහාතබ්බ) ප්‍රහාණය කළහැකි සංයෝජන ලෙස දක්වා ඇත.මේ ක්‍රියාදාමය විදර්ශනා භාවනාවයි.ප්‍රඥාවෙන් විදර්ශනාව ආරම්භවේ.ප්‍රඥාව පදනම්කරගෙන සීල හා සමාධි ශික්ෂා අභිවර්ධනය වේ.සාර්ථකව ගැඹුරින් සිදුකරන ධර්මසාකච්ඡාවක් මඟින් පවා මේ සක්කායදිට්ඨි ප්‍රහාණ අවස්ථාවකරා ළගාවීමේ හැකියාව පවතිනබව මලක ගැබ්වූ සුවඳ පිළිබඳ උපමාව මඟින් ධම්මපදයේ සඳහන්ය.එහිදී තෙරුවරු කීපදෙනෙකු අතර මම වෙමියැයි සංඥාව පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් සිදුවේ.මම යන සංඥාව ඇත්තේ නාමරූපවල කුමන කොටසේදැයි වටහාගත නොහැකි නමුදු එබඳු හැගීමක් ඇතිබව පිළිගන්නා තෙරවරු ඒ සංඥාව මලක සුවඳට උපමාකරති.සුවඳ ඇත්තේ රේණු වල කොළවළ නටුවල යැයි නිශ්චිතව නොකියහැකි නමුදු සුවඳ පවතී යන අවබෝධයට පත් වන සියලු තෙරවරු සක්කායදිට්ඨිය ප්‍රහාණය කර ධර්ම ප්‍රතිවේධයට පත්වෙති.ධර්ම අවබෝධයෙහිලා බාහිර ව්‍යඤ්ජනවල කිසිදු අර්ථයක් නැත.අභ්‍යන්තර හරය එහිදී වඩා වැදගත්වේ.අද නැත්තේද එයයි. ධර්මාවබෝධයෙහිලා ගිහි පැවිදි ස්ත්‍රි පුරුෂ ආදියෙහි භේදයක් නැත.බුද්ධකාලයෙහි විසූ ඡත්තපාණි උපාසක, චිත්ත ගෘහපති වැනි අනාගාමී මාර්ගඵල ලාභී ගිහි උවසුවන් ඊට නිදසුන් වේ.රහතුන් හා අනාගාමී උතුමන් පමණක් වැඩ සිටින පංච ශුද්ධවාස බ්‍රහ්ම ලෝකවල ගිහි පැවිදි භේදයක් නැත.ඒවා සියල්ල විද්‍යමාන කාම සංකල්පය සහිත මනුෂ්‍ය හා දේවලෝකවල පමණකි.ගිහියෙකු වුවද බ්‍රහ්මචාරි ලෙස කටයුතුකරන්නේ නම් අනාගාමී වුවද ජීවිතාන්තය දක්වා ගිහියෙකුව විසිය හැක.මන්ද අනාගාමී වන විට කාමරාග හා පටිඝ සංයෝජන සමුච්ඡේද ප්‍රහාණය වන බැවිනි.ගිහියෙකුට විවාහ දිවියට එළඹ ලිංගික චර්යාවට අනුගතවීමට සිදුවන නිසා ගිහිබව උසස් මාර්ගඵල ලැබීමට හා එසේ ලැබ වාසය කිරීමට බාධාකාරීවීමට ඉඩ ඇත.ඒ මතුපිට සමාජ පිළිගැනීම අනුව පමණකි.නමුදු විවාහ ජීවිතයක් ගත කරන්නෙකුට වඩා පැවිද්දෙකු තුළ ලිංගික ජීවිතය පිළිබඳ අධි ඇගැයුමක්,උත්කර්ෂණයක් තිබිය හැක. විවාහකයෙකු ලිංගිකත්වය මහලොකු සැපතක් ලෙසට නොසලකන බැවිනි. මෙකල ගිහිසමාජය අතර පමණක් නොව පැවිදිසමාජය අතරද සැබෑවටම සිල්වත්ව ජීවත්වන අය සිටිනුයේ ඉතා අල්පවය. ඒ අනුව ගිහිපැවිදිබව අතර ඇති වෙනසවුවද මතුපිට ඔපය අනුව නොව අභ්‍යන්තර හරය අතින් සැබෑවට ප්‍රායෝගිකව පවතින වෙනසක්ද යනු සැක සහිත පසුබිමක ගුණය මතුපිටින් තීරණය කළ නොහැක. පුරාණ හා ඉසිදත්ත යන දෙදෙනා පිළිබඳව ආනන්ද තෙරුන්හට බුදුරදුන් දේශනා කළ කරුණ මෙයට නිදසුනක් ලෙස සැලකිය හැකිය.එබඳු තත්වකදී බුදුදහම ගැන ඇති වාරණ සැබවින්ම හාස්‍යජනක වේ.

සැබෑම කාරණය නම් බුදුදහම පිළිබඳව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ කැමැත්ත තිබීමේ ප්‍රමාණ අනුව අනුන්ට වාරණ ක්‍රියාත්මකකිරීමට රුචියක් ඇතිකමයි.තමන්ට ලැබෙනදේ අනුන්ට ලැබෙනවාට අකමැති උදවිය වාරණයට කැමතිය.ප්‍රතිවේධ දහමට කාටවත් වාරණ පැණවිය නොහැකිය.අභ්‍යන්තර ගුණයට වාරණ පණවන්නේ කෙසේද?නමුදු වාරණ මඟින් තමන්ට අනභිමත අයට හිමිවන සාමාජික අයිතිවාසිකම් අහිමි කළහැකිය.ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ආදී සියලු මතුපිට භේද වාරණ පිණිස උපයෝගී කරගනු ලබනුයේ එබැවිනි.පංච ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල කිසිදු වාරණයකට ඉඩක් නැත.මනුලොව වාරණ නීති දැඩිවෙත්ම මිනිස් ලොව මිනිස්සුන් ලෙස හිමිවිය යුතු මානුෂික හිමිකම් අහිමිව යයි.මිනිස් ලොව උපතලබා මානසික,කායික සිරකරුවන් ලෙස වාරණවලට මැදිව ජීවත්වීමට වඩා විදර්ශනාවන් වඩා පංච ශුද්ධාවාස බ්‍රහ්මලෝක උත්පත්තිය ලැබිය හැකිනම් සිය සුදුසුකම්වලට පිළිගැනීමක් ලැබිය හැකි යැයි අවංක ප්‍රතිපත්තිගරුක අයට සිතිය හැකිය.සැබවින්ම ගරුකළ යුත්තේ ප්‍රතිපත්තිවලට මිසක වාරණ නීතීවලට නොවේ. එකිනෙකා තරඟකාරීව යම් දෘෂ්ටිවාදවල එළ්ඹ කෙස්පැළෙන තර්ක උපදවා වාරණ නීතිරීති පණවාගෙන මිනිස්සුන් රාමුගතකර කොටුකර තැබීමට දරණ හැම ප්‍රයත්න සාධාරණද නැත.පුද්ගලිකව මමද මානව සමාජයේ විද්‍යමාන කුල,පංති,ආගමික,ස්ත්‍රී පුරුෂ ආදී ලෙස බෙදාවෙන් කර අසාධාරණ ලෙස අනුන් පහත්කර තහංචි (restriction) යොදා සැලකීමට දැඩිව අකමැත්තෙමි.රතු ලේ ඇති අපි කවුරුත් මිනිසුන් ලෙස මානුෂිකව ගරුකර සැලකීමට කැමැත්ත දක්වමු.ප්‍රජාතන්ත්‍රවාදය උසස් ලෙස මානව සමාජයේ පිළිගැනීමට ලක්ව ඇති වත්මන් යුගයේ මෙබඳු තහංචි තිබිය යුතු නැත. බුදු දහමේ අගය වඩාත් වැඩිවනුයේ හැකිතාක් එහි දැක්ම පුලුල්වූ තරමටවිනා පටුවූ තරමටද නොවේ. සඳුන් හරයක් කැපූ තරමට වඩාත් සුවඳ හමන්නාක් සේ සිය දහම විමසූ තරමට වඩාත් දිවියට ලංවන බව බුදුරදුන් අපට දේශනා කර ඇත.එබැවින් මේ උතුම් මිනිසත්බවේ වටිනාකම වටහා ගනු මැනවි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top