බුදු දහම හා නූතන සමාජ අභියෝග

Buddhism-1.jpg

ලෝකයේ විවිධ ආගම් හා ඇදහිලි තිබේ. ශ්‍රී ලංකාව තුළ ද විවිධ ආගම් හා ඇදහිලි වර්ග ඇත. ආගම වැදගත් වන්නේ කිසියම් පුද්ගලයෙකු තුළ යහපත් ගුණධර්ම, අගයන් වර්ධනය කිරීම සඳහා එය උපකරණයක් ලෙස ක්‍රියාත්මක වන නිසාය. මේ අනුව ආගම් සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍යය. නමුත් වර්තමානයේ ආගම එය අරමුණෙන් බැහැරව ක්‍රියාත්මක වන අවස්ථා ද දැකගත හැකිය. එක ආගමකට අයත් පිරිසක් තමන්ගේ ආගම පිළිබඳව කතාබහ කිරීම ක්‍රියා කිරීම සාධාරණය යැයි පිළි ගන්නා සමාජය තවත් ආගමකට අයත් පිරිසක් ඒ ආකාරයෙන්ම තමන්ගේ ආගම පිළිබඳව කතාබහ කිරීම හා ක්‍රියා කිරීම ආගම්වාදී, අන්තවාදී, වර්ගවාදී යැයි බැහැර කිරීම අනුමත කළ නොහැකිය. සමාජයේ බහුතර පිරිසකගේ ආගමික පිළිවෙත් මඟින් සෙසු පිරිස්වල ආගමික පිළිවෙත් යටපත් නො කළ යුතු දෙයක් මෙන්ම සුලු පිරිසකගේ ආගමික වත්පිළිවෙත් මඟින් සමාජයේ බහුතර පිරිසකගේ ආගමික වත් පිළිවෙත් යටපත් කිරීම ද ඒ හා සමානව ම නොකළ යුතු දෙයක් බව ද අවධාරණය කළ යුතුව තිබේ. සුලුතර පිරිස තමන්ගේ ආගම් පිළිබඳව උත්කර්ෂණයෙන් යුතුව කටයුතු කරන විට සමාජයේ බහුතර පිරිසකගේ ආගමික අයිතිවාසිකම් යටපත් කර දැමීමට උත්සාහ ගන්නා විට එය අනුමත කළ නොහැකි ය. අද මෙරට සමාජය තුළ බහුලව ක්‍රියාත්මක වනු දක්නට ඇත්තේ බහුතර පිරිසක් ආගම පිළිබඳව සාධාරණය කල්පනා කරන විට ඉතාමත් සුලුතර පිරිසක් තමන්ගේ ආගමික ඉගැන්වීම් පිළිබදව අන්තවාදීව හා අධානග්‍රාහීව සිතීම හා ඒ අනුව ක්‍රියාකිරීමයි.

මෙරට තුළ බුදු දහම බහුල පිරිසකගේ ආගමයි. ඊට අමතරව දමිළ, ඉස්ලාම් හා කතෝලික ආගම් ද මෙරට සුලු පිරිසකගේ ආගම් ලෙස දැක්විය හැකිය. බුදු දහම පිළිගනු ලබන බහුතර ප්‍රජාවගේ සිතිවිලි ආකල්ප අවිහිංසාවාදී මට්ටමක පවතින විට ඊට සාපේක්ෂකව සෙසු ආගම් පිළිගනු ලබන ප්‍රජාවගේ ද ආකල්ප අවිහිංසාවදී මට්ටමක පැවතිය යුතුය. නමුත් කණගාටුවට කරුණ එය එසේ නො වීමය. මෙරට තුළ ඉතාමත්ම සූක්ෂම ව ආගමික අන්තවාදය හිස ඔසවමින් පවතියි. මෙය මතුපිටින් දැක ගැනීමට අසීරුය. කුඩා දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියේ පටන් වැඩිහිටි ප්‍රජාව දක්වා විවිධ මට්ටම්වලින් මෙම ආගමික අන්තවාදය මෙරට තුළ ක්‍රියාක්මක වන නිර්ලජ්ජිත ස්වරූපය දැකගත හැකිය. එය එක්තරා ආකාරයට මෝඩ දෙයකි. නමුත් සමාජයේ යටින් අද ආගමික අන්තවාදය ඉතාම මෝඩ ලෙස මිනිසුන් විසින් පිළිගන්නා ආකාරය දැකගත හැකිය. සත්‍ය වශයෙන්ම ඕනෑම ආගමක උපයෝගීතාවය කුමක් ද? මේ ලොව තුළ විවිධ ආගම් බිහිව ඇති පොදු මනෝවිද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක අවශ්‍යතාව නම් මානව සමාජයේ සාමූහිකත්වය රැක ගැනීමේ අවශ්‍යතාව එමඟින් සංතෘප්ත කිරීමයි. සංක්ෂේප වශයෙන් දැක්වුවහොත් ආගමේ උපයෝගීතාවය නම් සමාජ ඒකීත්වය ආරක්ෂා කිරීමයි.
නමුත් අද ආගම එය පරමාර්ථවලින් බැහැරට ගොස් ඇති බව ඉතා කණගාටුදායකව පෙන්වා දිය යුතුව ඇත. අද ආගම ක්‍රියාත්මක වන්නේ හුදෙක් ගෝත්‍රවාදය, ලිංගවාදය, කුලවාදය හා සමානව මානව සමාජය බෙදා වෙන් කිරීම සඳහාය. අද මානව සමාජය කුලවාදයෙන්, සමාජ පංති වශයෙන්, ගෝත්‍රික ආකල්පවලින් පටු සීමාවලින් බෙදී වෙන්ව දැකීම මිනිසුන් උත්සුක වෙමින් පවතියි. මීට අමතරව ස්ත්‍රීවාදය වැනි පටු ලිංගවාදී සීමාවන්වලින් තමන්ගේ පුලුල් දැක්ම මිනිසුන් විසින් සීමා කර ගනිමින් තිබේ. මෙය සත්‍ය වශයෙන්ව වැරදි නරක දෙයකි. සැබවින්ම සිදු විය යුතුව ඇත්තේ හැකි තාක් පුලුල්ව දැකීමට අවශ්‍ය දෘෂ්ටිමය හැකියාව හැකිතාක් සංවර්ධනය කර ගැනීමේ උපාය මාර්ග සෙවීම වුව ද සිදු ව ඇත්තේ හැකිතාක් තමන්ගේ දෘෂ්ටිය පටු කරවන සීමා කරවන දෘෂ්ටි ඉතා වේගයෙන් අති උත්කර්ෂණයෙන් යුතුව ජනතාව වැළඳ ගැනීමයි. නමුදු බුදු දහමේ සඳහන් වන සතර සති පට්ඨානය අනුව විදර්ශනා භාවනා චින්තය අනුව එය මානසික අභ්‍යාස කරන පුද්ගලයාගේ දෘෂ්ටිය මානව සමාජය ඒකීත්වයයෙන් සැලකීමට හැකිවන පරිදි හැකිතාක් පුලුල් කරවනු ලැබේ.

කොටින්ම විදර්ශනා භාවනා කරන පුද්ගලයාගේ දැක්ම අතිශයින්ම පුලුල්ය. එය හුදෙක් ආගමික, වාර්ගික, ගෝත්‍රික, ලිංගවාදී වැනි අන්තවාදී ආකල්පවලින් සපුරා බැහැර වූවක් වේ. පුරාණ යුගයේ මෙරට සිටි ජනතාව අතර පැවතියේ අපූරු සමාජ සුහදතාවයකි. මෙරට බහුතර ජනතාව අතර අපූරු සමූපාකාර පැවැත්මක් තිබිණ. සමාජ සහයෝගීතාවය ඉතා කාර්යක්ෂම ලෙස ප්‍රජාව අතර රැඳී පැවතිනි. කෘෂි කර්මය ප්‍රධාන ජීවනෝපාය ලෙස සැලකුනු මේ කාලවකවානුවතුළ ඊට අවශ්‍ය ප්‍රධාන ප්‍රාග්ධන අවශ්‍යතාවය වන මානව ප්‍රාග්ධනය සමූපකාර පැවැත්ම තුළින් වැටුප් හා වේතන ගෙවීමකින් තොරව ලබා ගැනීමේ අවශ්‍යතාව මේ මඟින් සම්පූර්ණ කරගනු ලැබිණ. එබැවින් එකල සමාජය තුළ ප්‍රජාවගේ සාමූහික ආකල්ප හා සමූපාකර පැවැත්ම ඉතා වැදගත් ලෙස සැලකිණි. අත්තම් ක්‍රමය වැනි කෘෂි ආර්ථිකය හා බද්ධ වූ සාමූහික චර්යා මඟින් මානව ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගත හැකි විය. නමුත් විද්‍යාව හා තාක්ෂණය දියුණු වීමත් සමඟම මිනිසුන්ගේ මානව ප්‍රාග්ධන අවශ්‍යතා සීමා විය. ඒ තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සෑම අංශයක්ම යන්ත්‍ර සූත්‍රවලට බාර දෙනු ලැබිණ. මානව ප්‍රාග්ධනය බහුලව භාවිතා වූ යුගයේ දී මානවයා තවත් මානවන් හා සමඟ කටයුතු කිරීම අවශ්‍යතාව වූ බැවින් යහපත් සංවේදී මානව සබඳතා පැවැත්වීම අතවශ්‍ය විය. නමුත් ඒ ස්ථානය යන්ත්‍ර සූත්‍ර අත්පත් කර ගැනීමත් සමගම තව දුරටත් ඒ ආකරයෙන්ම මානව සබඳතා පැවැත්වීමේ උපයෝගීතාව හීන වී යන්නට විය. අද පවතින බෙදී වෙන් වූ ආකල්ප පහළ වීමට මෙය ප්‍රධාන දායකත්වයක් සපයනු ලැබීය. අද මෙය කෙතරම් දුරට උග්‍ර මට්ටමකට පත් වී ඇත්ද යත් පවුල යන ප්‍රධාන සමාජ ඒකකයට පවා පහර ගසා විනාශ කරන මට්ටමට පත්ව තිබේ.

විවාහය, පවුල යන කුඩාම සමාජ ඒකකය පුපුරවා හරින මට්ටමක වර්තමානයේ පුද්ගල හා සමාජ ආකල්ප දුර්වල වෙමින් හා සංවිධාන්තමකව දුර්වල කරමින් පවතියි. ඇතැම්විට එය නව යටත් විජිතකරණයෙහි එක්තරා මොළ ශෝධකරණ උපායක් ලෙස ද හැඳනගත හැකිය. ඒ යටතේ ස්ත්‍රි පුරුෂ දෙදෙනෙකු විවාහ වී දූදරුවන් ලබා ඇති කර ගන්නා පවුල් ඒකකය ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කර තිබේ. මේ යටතේ ස්ත්‍රි පුරුෂ ඔවුනොවුන්ගේ සාමූහික, මහජීවනකාරී සමූපාකාරී පැවැත්ම ඉලක්ක කර සෘණාත්මක ආකල්ප හා මොළ ශෝධකරණ ප්‍රහාර එල්ල කිරීමක් ස්ත්‍රීවාදය (Feminism) වැනි අධානග්‍රාහී දෘෂ්ටි තුළ අපට නූතන සමාජය තුළ බහුලව දැකගත හැකිය. ස්ත්‍රීවාදයේ ප්‍රධානතම අරමුණ සමාජයතුළ පැවතිය ස්ත්‍රි පුරුෂ සාමූහික, සමූපාකාර පැවැත්ම බිද වැට්ටවීම පිණිස අවශ්‍ය සෘණාත්මක මානසික ආකල්ප සමාජය තුළ ව්‍යාප්ත කිරීමයි. පුරාණයේ පටන් තිබූ සාම්ප්‍රදායික සමාජ ක්‍රමය තුළ උතුම් මාතෘත්වයට හිමිව තිබූ උසස් මානව සමාජ ඇගයුම ස්ත්‍රියකගෙන් වියුක්ත කර හුදකලා කර ස්ත්‍රී දේහයට අනවශ්‍ය වාණිජ වටිනාකම් ආරෝපණය කිරීම මේ මඟින් සිදු වේ.

සමලිංගික චර්යා ප්‍රවර්ධනය, ව්‍යාභිචාරය, දුරාචාරය වැනි සමාජ අපගාමී චර්යා ව්‍යාප්තවීමක් ද සාවද්‍ය සෘණාත්මක ආකල්ප තුළ උපයුක්ත වනු පැහැදිලිව පෙනේ. අද සන්නිවේදන මාධ්‍ය තුළින් බහුලව දැකගත හැකි සමලිංගික විවාහ, සමලිංගික චර්යා ආදී වැරදි දේ සඳහා අනවශ්‍ය පුලුල් සමාජ අගයක්, වැරදි පිළිගැනීමක් සමාජය තුළ ඇති කර වීමට නූතන සමාජය තුළ ක්‍රියාත්මක අන්තවාදීන්ට අවශ්‍යව තිබේ. කාමයෙහි වරදවා හැසීරීමෙන් වැළකීම තුළ බුදු දහමේ මෙකී ආකල්ප හා චර්යාවලට අදාළව යහපත් නිර්ණායක පැහැදිලිව පෙන්වා දී තිබේ. නමුත් නුතනයේ විවිධ ආගමික ලේබල් යටතේ ක්‍රියාත්මක වන ආගමික අන්තවාදය තුළ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ අගය ඉතා ලඝුකර දැමීමට කටයුතු කර තිබෙනු දැකිය හැකිය. මේ යටතේ බුදු දහමේ ඉගැන්වීම් හා බෞද්ධ ආගමික පිළිවෙත් අවඥාවට, ගර්භාවට ලක් කිරීමට ආගමික අන්තවාදීන් විසින් හිතාමතාම කටයුතු කරනු පෙනේ. බුද්ධ චරිතය, විවිධ ශ්‍රාවක චරිත හා බෞද්ධ ඉගැන්වීම් මේ යටතේ එබඳු කල්ලිවාදවල ඉලක්කගත පහර දීම් වලට යොමු කරගෙන තිබේ. බුදු දහමට ආගමික අන්තවාදී පහරදීම පැහැදිලිවම දක්නට ලැබෙන ස්ථානයක් ලෙස කාමය සම්බන්ධ බෞද්ධ නිර්දේශයන්ට පහර දීම මේ අනුව පෙන්වා දිය හැකිය.

හොඳ නරක වෙන් කර දකින මිනුම් දඬු තිබේ. නරක හොඳ දෙයින් වෙන් කර ගැනීම සේම හොඳ නරක දෙයින් වෙන් කර දැකීම සඳහා ද කිසියම් දැනුමක්, බුද්ධියක්, ප්‍රඥාවක් පුද්ගලයෙකුහට තිබිය යුතුය. බුදු දහම මඟින් අර්ථවත් වන්නේ මේ හොඳ නරක දේ පිළිබඳව පුද්ගලයා ලබන දැනුම, බුද්ධිය හා ප්‍රඥාව කෙසේ තිබිය යුතු ද යන්නයි. බුදු දහම හුදෙක් ආගමික ලේබලයක් පමණක් නොවේ. ආගම උපයෝගී කර ගනිමින් මේ රටේ සාමාන්‍ය අහිංසක පොදු මහජනතාව අතර වර්ග වාදය, ගෝත්‍රවාදය, කුලවාදය, ලිංගවාදය වැනි වැඩවසම් ගෝත්‍රික සෘණාත්මක ආකල්ප ව්‍යාප්ත කිරීමේ යම් සැලසුම්ගත සංවිධානාත්මක ප්‍රවණතාවයක් බලලෝභී අදෘශ්‍යමාන හස්තවල අනුදැනුම හා අනුග්‍රහය මත පදනම්ව පසුගිය කාලවකවානුවේ යටි පෙළින් ක්‍රියාත්මක වූ ආකාරය අපි හොඳින් දිටිමු. සමාජයේ ව්‍යාප්ත කිරීමට උත්සාහ දරණ ලද වැරදි සමාජ ආකල්පවල හරි වැරැද්ද පෙන්වා දී සමාජය දැනුවත් කිරීම සඳහා අවංක චේතනාවෙන් ඉදිරිපත් වූ අයහට ජාතිද්‍රෝහී, ආගම්ද්‍රෝහී ලේබලය අලවා ඔවුන් සමාජයෙන් කොන් කර එම නිවැරදි ආකල්ප යටපත් කර දමන්නට මේ පසුපස සිටි බොහෝ දෙනෙකුට කිසියම් කොන්ත්‍රාත්කාර වුවමනාවක් තිබූ ද බව අපි හොඳාකරව ම දන්නෙමු.

නමුත් කාලයාගේ ඇවෑමෙන් සියලු සංස්කාර ධර්මවල අනිත්‍ය බව පසක් කරමින් ඒවායේ ව්‍යාජත්වය හොඳින් අවබෝධ කරගත් නුතන සමාජයේ බහුතර උගත් බුද්ධිමත් ප්‍රජාවගේ විරෝධතාව මත එබඳු ව්‍යාජ ආකල්ප හා බොල් සමාජ මතවාද ක්‍රමිකව වියැකී යමින් තිබේ. උගත් බුද්ධිමත් ප්‍රජාව අතර දිනෙන් දින බුදු දහම ජනප්‍රිය වෙමින් පවතියි. නූතන බටහිර රටවල්වල විද්වතුන් අතර බුදු දහම ඉතා වේගවත්ව ව්‍යාප්ත වනු දැකිය හැකිය. සඳුන් හරය කපා පොඩිපට්ටම් කළ පමණට එයින් හමන සුගන්ධය වඩ වඩාත් ව්‍යාප්ත වන්නාක් මෙන් විචාරපූර්වක වූ පමණට බුදු දහමේ ව්‍යාප්තිය ද වේගවත් වන බව බුදු හිමියන් විසින්ද දේශනා කර තිබේ.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top