බස්නාහිර පළාතට නිශ්චිත රාජ්‍ය ආයෝජනයක් සිදු වී නැහැ

Champika.jpg

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය විසින් රුපියල් ලක්‍ෂ 13,860 ක ආයෝජනයකින් ඉදිකළ ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ තෙවන අදියරේ නිවාස 396 ක් අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘නිවාස යෝජනා ක‍්‍රමය විශේෂයෙන්ම කොළඹ නගරයේ අවවරප‍්‍රසාධිත දුගී ජනතාව වෙනුවෙන් සැලසුම් කළ ව්‍යාපාරයක්. නමුත් 2015 වන විට ආරම්භ කරපු ව්‍යාපෘති 20 කට ආසන්න ප‍්‍රමාණයෙන් බහුතරයක් අරමුදල් නොමැති කමත් නිසිආකාරයේ තාක්ෂණික ඇගයීමක් නොමැති කම නිසත් කඩා වැටුණා.එම අවස්ථාවේ මුළු රටේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය ඍන වර්ධනයක් තමයි පෙන්නුවේ. නමුත් අපි එම ගැටළු එකින් එක විසඳගෙන නාගරික සංවර්ධන අධිකාරියේ නව පාලනයක් යටතේ අපේ ජනතාවත් සමග සාක්ච්ඡා කර ඒ අයගේ අදහසුත් රැගෙන අපි මෙම කටයුත්ත කලා 2016 වසර පුරාවට. ඒ අවස්ථාවේදී මීට පෙර කොළඹ නගරයේ දුගී ජනතාවගේ නිවාස ඉවත් කරන්න ගියහම විශාල ගැටුම්වලට මුහුණ දෙන්න සිදු උනා. ජනතාව පාරවල්වලට ආවා. විරෝධතා පැවැත්වූ පිරිස් සුදු වෑන් වලින් පැහැරගෙන ගියා. ශ්‍රේෂ්ඨාධිකරනවලට උසාවි වලට ගියා. දැන් ඒ යුගය නිම වී තිබෙනවා.

අද අපේ ජනතාව මෙතනට ඇවිත් තිබෙන්නේ ස්ව කැමැත්තෙන්. ඒ වගේම අපි නිවාසයක් වෙනුවට ඒ අයට අද ජීවිතයක් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. අපේ දරුවන්ට අධ්‍යාපනය ගෙනයන්න. කලා කටයුතු සංස්කෘතික කටයුතුවලට සම්බන්ධකර ගන්න. අපේ වැඩිහිටියෝ ස්වයං රැකියාවලට යොමු කර ගන්න පමණක් නෙමෙයි නාගරික ප‍්‍රදේශවල වහල්ලු මෙන් ජීවත්වන අපේ ජනතාවගේ ඉහළ ජීවන මට්ටමක් ඇති කර ගන්නයි අපට අවශ්‍ය.

අපි දන්නවා මේ බේරේ වැව ප‍්‍රදේශය. ඒ වටේට දුගී ජනතාව පවුල් 400 ක් පමණ වාසය කරනවා. මේ බේරේ වැව අද නිවැරදිව තිබුනා නම් සිංගප්පූරු වැව වගේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය වෙන්න තරම් වාසනාවන්ත ස්ථානයකයි බේරේ වැව පිහිටා තිබෙන්නේ. කාලයකට පෙර වරායට මෙය අයිති වී තිබෙන විට දශක ගණනාවකට පෙර රටේ ආර්ථිකයේ ප‍්‍රධාන බඩු ගබඩා සියල්ලම දුම්රිය ස්ථානයයි බේරේ වැවයි එක්ක තමයි ගොඩනැගිලා තිබුණේ. අද මොකද තත්වය කොළඹ නගරයේ 70,000 ක් පමණ ඉන්න ජනාතවගෙන් 20,000 කට පමණ වැසිකිලි කැසිකිලි පහසුකම් නැහැ. අද එවැනි අවාසනාවන්ත තත්වයක හිටපු ජනතාව එතනින් ගලවා ගන්න නාගරික සංවර්ධන අධිකාරිය පළමු පියවර තැබුවා. අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අග‍්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළා මේ සඳහා රජයේ සහය අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියා. ඒ සහය අපට දැන් ටිකෙන් ටික ලැබෙමින් තිබෙනවා. මේ බේරේ වැව අවට ජනතාව වෙනුවෙන් ලැබුණු සහයෝගය නිසා අද ඒ අයට නොමිලේ නිවාස ලබාදීමේ හැකියාව අපට ලැබුණා. මේ බේරේ වැව අවට ප‍්‍රදේශය ප‍්‍රධාන ව්‍යාපාරික ස්ථාන බවට දියුණු කිරීම අපි මේ මාසයේදීම ආරම්භ කරනවා. මේ මාසයේ ඒ ව්‍යාපාරික දිස්ත‍්‍රික්කය ගොඩනැගීම ආරම්භ උනාම, තව වසර 10කින් ඒ බේරේ වැව වටේට වැදගත් මහා පරිමාණ ව්‍යාපාරික දිස්ත‍්‍රික්කයක් ගොඩනැගෙනවා. ඒ වගේම අපේ තව මාසයක් යන්න පෙර විශේෂයෙන්ම අපේ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය චාමර්ස් ගැලරි ඉඩමේ ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ අධිවේගී මාර්ග පද්ධතිය වරාය හරහා ප‍්‍රධාන මාර්ග පද්ධතියට ගෙන යනවා. ඒ වගේම කඩුවෙල සිට යන සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය චන්ද්‍රිකා කුමාරතුංග මාවත ගාවින් පටන් ගෙන බත්තරමුල්ල රාජගිරිය හරහා ගමන් කරවන්න බලාපොරොත්තු වෙනවා. එහි වැඩකටයුතු 2017 අග භාගයේදී ආරම්භ කරනවා.

මේ අමාත්‍යාංශය අතිගරු ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා මට භාර දෙනකොට මමත් බලාපොරොත්තු උනා බලගතු අධිකාරියක්. මහනගර අධිකාරිය නමින් පිහිටුවයි කියා. නමුත් එවැනි අධිකාරියක් මේ පවතින දේශපාලන තත්වය තුළ පිහිට උනේ නැහැ. ඒ වගේම මහවැලිය වැනි අනෙකුත් ව්‍යාපාරවලට දුන්න වගේ රාජ්‍ය අරමුදල් ආයෝජනය උනේ නැහැ. නමුත් අපි අධෛර්යයට පත් වුනේ නැහැ. පෞද්ගලික අංශයෙත් රාජ්‍ය අංශයෙත් ශක්තියෙන් අපි පියවරෙන් පියවර ඒ අභියෝග ජයගෙන ඉදිරියට ගමන් කළා. අපි බොහොම සතුටින් කියනවා වසර දෙකක් වැනි සුළු කාලයක් ඇතුළත රජයේ ප‍්‍රධාන අනුග‍්‍රහයක් නොමැතිව ලංකාවේ විශාල ව්‍යාපෘති ගණනාවක් වරාය නගරය ඇතුළුව අපි අද කි‍්‍රයාත්මක කර ඉදිරියට ගෙනයන බව. එය මේ රටේ ඉතිහාසයේ කවදාවත් නොවූ දෙයක්. රටේ විශාලතම ව්‍යාපෘතිය අද කරගෙන යන්නේ රාජ්‍ය අනුග‍්‍රහය නොමැතිව. එය කිරීමට අපට නොයෙක් පරිසර ගැටළු, සමාජ ගැටළු, විරෝධතා මැදින් ඒ කටයුතු සාර්ථකව කරගෙන යන බව ප‍්‍රකාශ කරන්නේ බොහොම ආඩම්බරයෙන්. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, වෙන පැතිවල ගෙවල් හදන්න ගියහම ආණ්ඩුවේ ඇතැම් දේශපාලන නායකයෝ කියනවා අපේ ආසනයේ ජනතාව පිටට ගෙනයන්න එපා. ඒ වගේම මට මෙපමන ගෙවල් ප‍්‍රමාණයක් ඕනේ වගේ යම් යම් යෝජනා, යම් යම් බලපෑම් සිදු කරනවා. නමුත් මේ මන්ත‍්‍රීතුමා අපට බලපෑම් සිදු කර නැහැ. මම එකක් කියන්න කැමතියි. එවැනි බලපෑම්වලට අපි යටවෙන්නේ නැහැ. අපි ජනතාවට සේවය කරන්න ආවේ. දේශපාලන හිතවතුන්ට ගෙවල් බෙදන්න නෙමෙයි. අවශ්‍යතාවය මත අපේ ජනතාවට ගෙවල් බෙදන්නයි. එ වගේම මගේ ආසනය කියා දෙයක් නැහැ, කොළඹ වේවා පිට වේවා දුගී දුප්පත් ජනතාව අපේ ආසනවල මිනිසුන් හැටියට වැඩ කරන්න මිසක් මගේ ආසනය කියා බෙදුම්වාදී රේඛා ඇඳගෙන කටයුතු කරන්න අපි සූදානම් නැහැ. එවැනි බලපෑම්වලට අපි කිසිසේත්ම යටත් වෙන්නේ නැහැ. එවැනි අයට මේ කි‍්‍රයාදාමයට බාධා කරන්න අපි ඉඩ තබන්නෙත් නැහැ. ඒ යුගය ඉවරයි. ඒ යුගය නැවත ඇතිවීමට අපි ඉඩකට තබන්නේ නැහැ.

ඒනිසා ඔබ සියළු දෙනාට ආඩම්බර විය හැකියි තමන්ගේම නිවසකට ඇවිත් අලූත් ජීවිත ආරම්භ කිරීම ගැන. ඒ වගේම මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ බස්නාහිර පළාත කවුරු මොනවා කිව්වත් මේ පළාතට නිශ්චිත රාජ්‍ය ආයෝජනයක් සිදු වුනේ නැහැ. පසුගිය දශකයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තනි පුද්ගලයෙකුට රුපියල් විසිතුන් ලක්‍ෂයක ආයොජනයක් සිදුවී තිබෙනවා. කොළඹ සෑම පුද්ගලයෙකුටම ආයෝජනය වී තිබෙන්නේ රුපියල් හැත්තෑපන්දහසයි. හම්බන්තොටට සිදු කළ ආයෝජනය කොළඹට සිදු කළා නම් මේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා, ඒ වෙනුවට රටට ආයෝජන ඇතිවී ඉදිරියට යන්න තිබුණා. අපේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිවුනේ නැහැ. කටුනායක නව ගුවන්තොටුපල පර්යන්තය ඉදිකළා නම් ලබන අවුරුද්දේ අපේ උපරිම ධාරිතාවයට එය එනවා. නමුත් ගුවන්තොටුපල තිබෙන්නේ හැතැක්ම 300ක් ඈත මත්තල. නැගෙනිහර පර්යන්තයයි බටහිර පර්යන්තයයි කොළඹ වරායේ ඉදිකළා නම් දකුණු ආසියාවේ විශාලම වරාය වෙනවා. මුම්බායි වලින් එහාට ගිහින්. නමුත් වරාය තිබෙන්නේ කි.මි. 350 ක් ඈතට ගිහින් හම්බන්තොට. කොළඹ නගරයේ පවුල් 30,000 ක ජලය පිළිබඳ ගැටළුවක් තිබෙනවා. බි‍්‍රතාන්‍ය යුගයේ එලූ ජලනල තවමත් පරිහරණය කරන්නේ. මලාපවන පද්ධතියත් එසේමයි. මෙපමණ දියුණු කෝට්ටෙට මලාපවහන පද්ධතියක් නැහැ. මේ සියළු පහසුකම් සහිත කැලෑ නගර හම්බන්තොට තිබෙනවා. එය කණාගාටුවට කරුණක්. බස්නාහිර පළාතට, මේ ජනතාවට කරන ආයෝජනය රට ගොඩනගන්න කරන ආයෝජනයක් රටට ධනය උත්පාදනය කරන්න කරන ආයෝජනයක්.

රජයට උපදෙස් ලබාගැනීම සඳහා පැමණි අන්තර්ජාතික අයෝජන සමාගමක් වන ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් සමාගම බොහොම පැහැදිලිව කියලා තිබෙනවා ආණ්ඩුවේ ආයෝජන සැලැස්ම සම්පූර්ණයෙන්ම වැරදියි. මේවා ධනය ලැබෙන තැන්වල, ධනය උත්පාදනය කළ හැකි අයුරින්, පහසුකම් නැති මිනිසාට පහසුකම් ඇතිකිමරීට ආයෝජනය සිදු කළ යුතුයි කියා. එම යෝජනාවලියි අපි වසර ගණනාවක් කිව්වා සිදුවිය යුත්තේ එයයි කියා.

හෙට එන අයවැයෙන් නව යුගයක් බස්නාහිර පළාතටත් අතිගරු ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා යටතේ එයි කියා. මේ ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා පත් කරන්න 40% ක් ඡන්දය දුන්නේ බස්නාහිර පළාතෙන්. ඒ නිසා මේ බස්නාහිර පළාතටත් නිසි තැන ලැබේවායි කියා ප‍්‍රාර්ථනා කරන අතර ඒ තැන ලබාගැනීම සඳහා අපි අනවර්ථයෙන්ම එම අරගලය ගෙනයන බවත් ප‍්‍රකාශ කරනවා යයි’ පැවසීය.

scroll to top