පාසල් සිසුන් දසලක්ෂයක් බලශක්ති කලමනාකරුවන් වශයෙන් පත්කරනවා…..

Ranjith-Siyambalapitiya.jpg

“අපි වසර 30කට පස්සේ විශාල නියගයකට මුහුණ දුන්නා. දැන් ඒක ටිකෙන් ටික අවසන් වීගෙන යනවා. මේ අසීරු අවස්ථාවේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන්න අපි විශාල උත්සාහයක් ගත්තා. මේ අවස්ථාවේ අපි මේ අසීරු අවස්ථාව ජය ගන්න අපි විදුලි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කළා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න කියල. ඒ සඳහා අපි ඔවුන්ට සහන සලසන්නත් පොරොන්දු වුණා. නමුත් මේ සඳහා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, විදුලි පාරිභෝගකයන් ලක්ෂ 55ක් අතරින් 337ක් පමණයි. මේක තමයි අපේ ජාතික හැගීම. ඒත් අපි ඒ තත්ත්වය යටතේ අඛණ්ඩව විදුලිය සැපයුවා. මිල වැඩිකළෙත් නැහැ. නමුත් මේ හේතුව මත අපි හිතුවා මෙවැනි ජාතික අවශ්‍යතාවකදිවත් ජාතික හැගීමකින් වැඩකරන පිරිසක් බිහි කරන්න. අපි හිතුවා පාසල් සිසුන් දසලක්ෂයක් තෝරාගෙන, ඔවුන් හරහා තමන්ගේ නිවසේ විදුලිය සංරක්ෂණය කරන්න ඔවුන්ට භාරදෙනවා. ඔවුන් තමාගේ නිවස, තමාගේ ඥාතියාගේ නිවස, අසල්වාසියාගේ නිවස ආදි වශයෙන් බලශක්ති කළමණාකරණය සඳහා යොමුකරනවා. මේ වෙනුවෙන් එම පාසල් සිසුන්ට ත්‍යාග, ශිෂ්‍යත්ව ආදිය පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නිවාස දසලක්ෂයක පාසල් සිසුන් දසලක්ෂයක් බලශක්ති කලමනාකරුවන් බවට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මොරගහකන්ද කළුගග සංවර්ධන ව්‍යපෘතිය යටතේ ඉදිවෙමින් පවතින මෙගාවොට් 25ක ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කිරිමට නියමිත ජල විදුලිබලාගාරයේ පසුගියදා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා…

“අපි සතුටු වෙනවා අපේ රටේ විශාලතම ජලාශයක්වන මොරගහකන්ද ජලාශයත් ඉතා වේගයෙන් වැඩ නිමවන ජලාශයක්. ඒ වගේම විදුලිබල උත්පාදනය පැත්තෙනුත් සතුටු වියහැකි තත්ත්වයක් තිබෙනවා. මෙගාවොට් 25 ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගරයක් වේගයෙන් නිම වෙමින් පවතිනවා. මේ යන ආකාරයෙන්ම වේගයෙන් වැඩ කෙරුණොත්, අපි බලාපොරොත්තුවන ආකාරයට ජලය පිරුණොත්, ලබන ජූනි මාසය වනවිට ජාතික පද්ධතියට මෙගාවොට් 25ක් එක්කිරිමට හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේක අපිට ඉතා විශාල ජයග‍්‍රහණයක්. පැය 24ම අඛණ්ඩව විදුලිය සපයන ආසියාවේ එකම රට අපේ රටයි. විදුලිබල මණ්ඩලය කියන්නේ සියයට සියයක්ම රජයේ ආයතනයක්. විදුලිබල මණ්ඩලය ඇමතිවරයාගෙවත්, සභාපතිවරයාගෙවත් වෙනත් කාගෙහරිවත් නොවෙයි. සමස්ත ජනතාවගේ” යැයි පැවසීය.

scroll to top