පොදු ප‍්‍රවාහන සේවා සඳහා වෙනම මංතීරු ක‍්‍රමය 15 වන දා සිට කි‍්‍රයාත්මකයි

Lanes.jpg

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, කොළඹ නගරයේ කි‍්‍රයාත්මක කිරීමට යෝජිත බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය හමුව අද(11) දින බත්තරමුල්ල, සුහුරුපාය, 17 වන මහලේ පිහිටි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහාචාර්ය අමල් කුමාරගේ යන මහත්වරුන් ඇතුළු අදාල ආයතනයන් හි නිලධාරීන් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මීට මාස කිහිපයකට පෙර අප විසින් බස් ප‍්‍රමුඛතා මංතීරු පිළිබඳව රාජගිරිය මංසන්දියේ සිට බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා පර්යේෂණයක් සිදුකලා. එමගින් ලබාගත් අත්දැකීම් සියල්ල පදනම් කරගෙන පියවරෙන් පියවර කොළඹ නගරයේ ප‍්‍රධාන මාර්ගවල ප‍්‍රමුඛතා බස් මංතීරු හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. මෙරට නාගරීකරණයේ ප‍්‍රධාන ගැටළු 03ක් තිබෙනවා. එකක් කැළි කසළ, කොළඹ නගර සභා බල ප‍්‍රදේශය තුළත්, කෝට්ටේ, කඩුවෙල, දෙහිවල ගල්කිස්ස කියන ප‍්‍රදේශවල කසළ පිළිබඳව විධිමත් අපහරණය අප විසින් බාර ගත්තා. දින තුනක් ඇතුළත කොළඹ නගරයේ පාලනය කළා. මේ විට ඉතාම විධිමත්ව එම කටයුතු සිදුවෙනවා. යුද හමුදාව පාවිච්චි කරේ නැහැ, නගර සභාවේ පවතින කසළ කළමනාකරණ කි‍්‍රයාවලියම අපි පාවිච්චි කර එම කටයුතු සිදුකළා. 100% ක් දිගුකාලීනව විසඳලා නැහැ. ඒ සඳහා වසරක් හෝ දෙකක් ගතවේවි. එම කාලය ඇතුළත තාවකාලික විසඳුමක් ලබාදී තිබෙන බව පැවසීය.

ඊ ළඟට දැවෙන ගැටළුව තමයි කොළඹ නගරයේ නිවාස ගැටළුව. ඒ සඳහා තිරසර වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. අපි දැන් තිරසර වැඩපිළිවෙලකට එළඹිලා තිබෙනවා. එමගින් 2020 වන විට අඩුම තරමින් නිවාස 25,000 ක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියත් නිවාස සංවර්ධන අධිකාරියත් එක්ව සහ වෙන වෙනමත් විශාල වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. එමගින් 2023 වන විට මධ්‍යම පාන්තික නිවාස ගැටළුව විසඳීමටත් කටයුතු කරනවා. මෙම ගැටළුවත් අපි විසඳීමට සැලසුම් කර ඇත්තේ එතනින් මෙතනින් ගත් තීරණ හා පුද්ගලික අංශයට අවසර දීමෙන් නෙමෙයි. ඉදිරියේදී මෙම ඉදිකිරීම් තුළින් ප‍්‍රවාහනයට ඇතිවන බලපෑම ද සොයා බලන බවට අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී ඉදිකිරීම්වලදී ප‍්‍රවාහනය පිළිබඳ ඇගයීමක් ඇති ඉදිකිරීම්වලට පමණක් අවසරපත් ලබාදීමට කටයුතු කරනවා. නිවාස ඉදිකිරීම සඳහා වෙනදා නාගරික සංව්ධන අධිකාරිය ඉදිරිපත් කළ නිර්ණායකයන්ට අමාතරව මෙවර අප විසින් නව නිර්ණායකයන් ඉදිරිපත් කරනවා. එනම් මාර්ග තදබදයෙන් ඇතිවන බලපෑම අවම කිරීමේ සහතිකයක් නිකුත් කිරීම යන නව කොන්දේසියක් පනවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය. මෙම කොන්දේසියට එකඟ නොවන අයට කිසිසේත් ඉදිකරීම් සඳහා අවස ලබා දෙන්නේ නැහැ. කොළඹ, කෝට්ටේ, ශ‍්‍රී ජයවර්ධනපුර, දෙහිවල – ගල්කිස්ස යන අධි නාගරික ප‍්‍රදේශයන් හි කිසිම පදනමකින් තොරව ඉදිකිරීමක් සිදු කිරීමට අවසර නොදෙන බව අවධාරණය කළේ ය.

මෙම නොවිධිමත් ඉදිකිරීම් කි‍්‍රයාවලිය තුළින් වශාල රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා. මෙම නව සහතිකය තුළින් රථවාහන තදබදය අඩු වීමට යම් බලපෑමක් ඇතිවෙතැයි විශ්වාස කරනවා. එය සාමාන්‍ය ජනතාව බල නොපාන බව අමාත්‍යවරයා පැවසීය.

මාර්ග තදබදයට අප විසඳුම් සෙවිය යුතුයි. පසුගිය දශකය තුළ පැවැති රජයන් මාර්ග තදබදයට විසඳුම් සෙව්වේ උමං මාර්ග, අධිවේගී මාර්ග ඉදිකරමින් ගුවන් පාලම් ඉදිකරමින්, නමුත් අත්‍යාවශ්‍ය තැන්වල ගුවන් පාලම් ඉදිවුනේ නැහැ. එම අධික වියදම් සහිත සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමෙන් වාහන තදබදය අවම කිරීමට නොහැකි වූ බව පැහැදිලි වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

වාහන තදබදය අවම කිරීමට නම් පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමක් විය යුතු බවත්, ඒ සඳහා පියවර 3 ක් අනුගමනය කිරීමට බලාපොරොත්තුවෙන් පළමු වැන්න මහාපරිමාණ මට්ටමින් දුම්රිය, බස්රිය එකමුතු කරගෙන පොදු ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම. ඉන් එකක් වන කොට්ටාව බහුබිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මෙම වසරේදී ජනතා අයිතියට පත්කරනවා. බත්තරමුල්ලෙත් කොළඹ කොටුවෙත් ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරනවා. ලබන වසරේ කොළඹ තදාසන්න නගරයෙන් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

දෙවැනි පියවර ලෙස සැහැල්ලූ දුම්රිය හඳුන්වා දීම මෙම වසරේ මාළඹේ සිට කොටුව දක්වා ආරම්භ කරන අතර, කොටුවේ සිට කොල්ලූපිටිය දක්වා යා කෙරෙන මාර්ග ඇතුලූව මාර්ග 05ක් මෙම සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, තෙවන පියවර නම් අපේ පොදු බස් සේවාව ශක්තිමක් කිරීම, එනම් බස් ප‍්‍රවාහන තීරු ඒ වෙනුවෙන් තමයි දැන් අප කැපවී කටයුතු සැළසුම් කරමින් සිටින්නේ. මහාචාර්ය අමල් කුමාරගේ මැතිතුමාගේ මූලිකත්වයෙන් තවත් ආයතන ගණනාවක දායකත්වයෙන්, කොරියානු තාක්‍ෂණ උපදේශයන්ද එක්කර ගනිමින් මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා පැවසීය.

අපගේ පෙර අත්දැකීම් පාදක කර ගනිමින් අගෝස්තු 15 දින සිට මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, අගෝස්තු 22 සිට කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත්, අගෝස්තු 29 දින සිට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ (දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන්හොල් මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත්, සැප්තැම්බර් 5 සිට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව, කොටුව කොම්පඤ්ඤවීදිය දක්වාත්, සැප්තැම්බර් 12 සිට කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා සහ නොවැම්බර් 30 සිට බොරැල්ල සිට මරදාන දක්වාත් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩපිිළිවෙලට පාසල්, කාර්යාල ප‍්‍රවාහන සේවා ද ඇතුලත් කොට තිබෙන අතර එහි සාර්ථකත්වය මත ඊ ළඟ පියවර කරා ගමන් කරන බව අමාත්‍යවරයා පැවසීය.

මෙය රටට අලූත් අත්දැකීමක් මෙතුලින් පියවරෙන් පියවර පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් වන බවත් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන මුල් අවස්ථාවේදී විවිධ අපහසුතා ජනතාවට ඇතිවිය හැකි බවත්, නමුත් සියළු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම රටටම බලපාන මාර්ග තදබද ගැටළුවේදී අප විසින් දරන්නා වූ අවංක උත්සාහයට ඔබගේ සහයෝගය ලබාදෙන ලෙසයි.

ලැබෙන ජනතා ප‍්‍රතිචාර මත මෙම වැඩසටහන විධිමත් කරනවා. නමුත් අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරනවා. කාගේ හිත් අමාරුකම් ඇති වුනත් මෙය පොදු ප‍්‍රවාහන සේවයට මුල්තැන දීමට ජනතාව පුරුදු විය යුතුයි. ඒ වගේම රියදුරන් වෙනුවෙන් කාලය කළමනාකරණය කර ගනිමින් ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයද එකතුව පුහුණු සැසි පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පොදු ප‍්‍රවාහන සේවය ජනතාවට ගැලපෙන ලෙස වර්ධනය විය යුතු බවත් දැනට ධාවනය වන බස්රථ බොහොමයක් භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා නිපදවන ලද ආකෘතියට නිපදවූ ඒවා බවත්, වර්තමානයේ එම බස්රථ ඉවත් කොට නවීන පහසුකම් සහිත බස් රථ ජනතා ප‍්‍රවාහනයට යෙදවිය යුතු අතර පොදු ප‍්‍රවාහන සේවය රැක ගැනීමට නම් බස් හිමියන් අදාල පාර්ශවයන් ඒ සඳහා වැඩි අවධානය යොමුකළ යුතු බවද අමාත්‍යවරයා පවසා සිටියහ.

scroll to top