පොදු ප‍්‍රවාහන සේවය ඉදිරියට ගෙනයෑම සඳහා අපි ඉදිරි පියවර තබනවා

CHampika-3.jpg
  • ප‍්‍රමුඛතා මංතීරුව අද දින සාර්ථකයි. විධිමත් අධ්‍යනයකින් අනතුරුව ප‍්‍රමුඛතා මංතීරුව ඉදිරියටත්.
  • දශකයක පමණ කාලය තුළ අපේ රටේ රාජ්‍ය ආයෝජනවලින් 45%ක් ම වැයවුණේ පාරවල් හදන්න.

ඇමති චම්පික රණවක පවසයි.

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකලේ ප‍්‍රමුඛතා මංතීරුවේ ප‍්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද(14) දින සහභාගී වෙමිනි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහාචාර්ය අමල් කුමාරගේ, ආචාර්ය සමන් විද්‍යාපතිරණගේ යන මහත්වරුන් හා ශ‍්‍රී ලංකා රථවාහන පොලීසියේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘පොදු ප‍්‍රවාහන සේවා සඳහා ප‍්‍රමුඛතා මංතීරුවක් හඳුන්වාදීම සිදු කරනු ලැබුවා. ආරම්භයක් හැටියට රාජගිරිය මංසන්දියේ සිය ආයුර්වේද මංසන්දිය දක්වා බස්රථ සඳහා ප‍්‍රමුඛතා මංතීරුවක් වෙන් කරලා දුන්නා. මේක අලූත් අත්දැකීමක් නිසා අපි කලින්ම ප‍්‍රකාශ කළා අනිවාර්යයෙන්ම මාර්ග අපහසුතා ඇතිවෙන්න පුළුවන් කියලා පෞද්ගලික අංශයේ රථවාහනවල පැමිණෙන අයට. ඒ ගැන අපි කණගාටුව ප‍්‍රකාශ කරනවා. නමුත් ඊයේ ලැබුණු පර්යේෂණවල ප‍්‍රතිඵල හැටියට අද වෙන කොට ඒවා නිවැරදි කරගෙන අද අපේ පොලීසියේ අයත් සාක්ෂි දරණවා. අපි යම් කිසි වර්ධනයක් දියුණුවක් එමගින් ලබාගෙන ඒ වැඩසටහන අපි සාර්ථක කර ගත්තා. සමහර මාධ්‍යවල පිටු ගණන් මේ ප‍්‍රශ්ණය පළකර තිබුණා. ඇත්තටම මේ රටේ මේ වගේ අලූත් දේවල් කරනකොට මේ වගේ ගැටළු පැණ නගිනවා. පිටු පුරවලා මේක නිසා ට‍්‍රැෆික් ඩබල් උනාය. මෙය මෝඩ පියවරයක් ආදී වශයෙන් ඉතාම සහසික විවේචන එල්ල උනා. ඒ විවේචනවලට අද ප‍්‍රායෝගිකව අපේ ට‍්‍රැෆික් පොලීසියේ අයත්, මෙය කි‍්‍රයාත්මක කළ විද්වත් පිරිසත් අත එයට ප‍්‍රායෝගික පිළිතුරක් දීලා තිබෙනවා.

අපි ඔබ හැමගෙන් ම ඉල්ලා සිටින්නේ මේ වගේ දේවල් සඳහා නිර්දය විවේචන ඉදිරිපත් කිරීම නෙමෙයි. අපි මේ ප‍්‍රශ්නයට නිවැරදි විසඳුමක් සොයා ගත යුතුයි. පැයකට බස්රථ100 කට ආසන්න ප‍්‍රමාණයකින්, සෙනග හාරපන්දාහක් අරගෙන යනකොට මෝටර් රථ දෙදාහක් තුන්දාහකින් අරගෙන යන්නේ ඊට වඩා අඩු ප‍්‍රමාණයක්. එතකොට කාටද ප‍්‍රමුඛතාවය දිය යුත්තේ කියන එක තමයි මෙතන වැදගත් දේ. අපට පෙනී ගිහින් තිබෙනවා අද දිනයේ බස්රථවල කාර්යක්‍ෂම තාවය වැඩිවෙලා කියලා. ඒ වගේම අනෙකුත් වාහනවල තිබූ තදබදයත් ඊයේ තිබූ ගැටළුව අද විසඳිලා කියලා. එම නිසා මේ කි‍්‍රයාදාමය අපි හෙටත් ගෙන යනවා. ඒ ලැබෙන ප‍්‍රතිඵල අනුව  අපි ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නවා.

අනිවාර්යයෙන්ම අපි එකක් ප‍්‍රකාශ කරන්න  ඕනේ ඔය නිර්ධය සහසික විවේචන මොනවා තිබුණත්, පොදු ප‍්‍රවාහන සේවය ඉදිරියට ගැනීම සඳහා අපි ඉදිරි පියවර තබනවා. ඒක තමයි අපට අනාගතය සඳහා තිබෙන එකම මග. විශේෂයෙන්ම කියන්න  ඕනේ අපේ දුර්වලතා කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ මගී බස්රථ. ඒ වගේම අපේ දුම්රිය මැදිරි කාලානුරූපව වෙනස් වෙලා නැහැ.  අපි දකින්නේ එක්දහස් නමසිය හැත්තැගණන්වල තිබුණු තත්වය තමයි තවමත් තියෙන්නේ. එයත් කාලානුරූපව වෙනස් විය යුතුයි අපේ ජනතාවට ගමන් කළ හැකි අයුරින්. ඒ අතරේ වැදගත්ම දේ ඒවාට ප‍්‍රමුඛතාවය ලැබිය යුතුයි. දුම්රියට ප‍්‍රමුඛතාවය ලැබෙනවා. නමුත් මගී ප‍්‍රවාහන, පොදු ප‍්‍රවාහන බස්රථවලට  ප‍්‍රමුඛතාවය ලැබෙන්නේ නැහැ. එම නිසා ප‍්‍රමුඛතාවය ලබාගැනීම තමයි අපේ අරමුණ.

පසුගිය දශකයක පමණ කාලය තුළ අපේ රටේ රාජ්‍ය ආයෝජනවලින් 45 % ක් ම වැයවුණේ පාරවල් හදන්න. ඒකෙන් රටේ නරකක් උනා කියලා අපි කියන්නේ නැහැ. පාරවල් කාපට් උනා අධිවේගී මාර්ග හැදුනා. නමුත් පොදුවේ මාර්ග තදබදය එයින් පාලනය උනේ නැහැ. එයට හේතුව ඒ අධිවේගී මාර්ග සමග විධිමත් ප‍්‍රවාහන පද්ධතියකට තුඩු දෙන පරිදි නාගරිකරණය සංවර්ධනය උනේ නැහැ. එසේම පොදු ප‍්‍රවාහනය ශක්තිමත් උනේ නැහැ.

පොදු ප‍්‍රවාහන ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය කි‍්‍රයාත්මක කිරීම සඳහා අපි ප‍්‍රවාහන අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත්, පොලීසියත් එක්ක එකට කටයුතු කරනවා. කිසිම හොඳ වැඩක් මේ රටේ සිද්ධවෙලා නැහැ විවේචන වලින් තොරව, බාධාවලින් තොරව. එය මේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ ස්වභාවය. අලූත් දෙයක් කරන්න ගියහම අනිවාර්යයෙන්ම විවේචන, සාහසික, නිර්ධය විවේචන එල්ල වෙනවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ දේවල්වල තිබෙන වැදගත්කම මිනිස්සු පිළිගන්නවා.

ලෝකයේ වෙනත් රටවල්වල මෙවැනි දේ කි‍්‍රයාත්මක කරන්න නීතිරීති හා දැඩි කි‍්‍රයාමාර්ග ගණු ලැබුවා. සිංගප්පූරුවේ වගේ රටවල නගරයට ඇතුළට යන්න යන්න විශාල ලෙස බදු මුදල් ගෙවිය යුතුවෙනවා.  ඒ අයුරින් තමයි පුද්ගලික වාහන පාලනය කර තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ස්වයං විනය මගින්, බහුතර පිරිසට ඉඩදීම මගින් පරිසර හිතකාමී ලෙස කාර්යක්‍ෂම, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පොදු ප‍්‍රවාහන සේවයට ඉඩකඩ ලබාදීම මගින් මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කළ යුතු’ බව ද අමාත්‍යවරයා පැවසීය.

scroll to top