පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා බස්රථ සේවාව වැඩිදියුණු කිරීම

පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්‍රයේ වෘත්තීයමය ප්‍රවීණයන්ගේද සහාය ඇතිව 2017 මාර්තු 12 සිට 23 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක කරන ලද අතර එය මාර්ග තදබදය අඩු කිරීම සඳහා සාර්ථක විසඳුමක් බව එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරු වී තිබේ. වඩාත් දියුණු පොදු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) සහ දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වන බැවින් කඩිනමින් විසඳුමක් සැපයිය යුතු මාර්ග තදබදයට මුහුණ දීම සඳහා පහත සඳහන් පරිදි ‘බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය’ තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට මධ්‍යම පාන්තික පිරිස් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම:

– ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

– පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

– කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

– තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

– ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.

* සාම්ප්‍රදායික බස් රථ සහ ත්‍රී රෝද රථ ආනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මඟින් මිටි පත්ල සහිත (Low floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම;

* බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශ පත්‍ර පද්ධතියක් සකස් කිරීම;

* ත්‍රීරෝද රථ/කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම;

– 2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)

scroll to top