පුද්ගල නුසුදුකමක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසන්න බෑ

JVP-3.jpg

නොවැ 07, 2014 (විමසුම) – ජනාධිපතිවරයා ශේෂ්ඨාධිකරණයෙන් විමසූ උපදේශාත්මක මතය අප‍්‍රසිද්ධියේ පවත්වනවා වෙනුවට හොර රහසේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිප දෙනෙක් විසින් විභාග කිරීමට සූදානම්ව සිටින බව ජ.වි.පෙ. චෝදනා කරයි.

පසුගිය 04 වැනිදා නිශ්චිත කරුණු දෙකක් අරභයා ජනාධිපතිවරයා විසින් විමසූ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිළිබඳව සිය අදහස් දක්වමින් ජ.වි.පෙ. නායක අනුර දිසානායක ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී මෙසේ සඳහන් කළේය.

“මෙතන කිසිම පොදු වැදගත්කමකින් යුතු කරුණක් නැහැ. මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපතිවරණයකට ඉල්ලීම සඳහා නුසුදුස්සෙක් වී තිබෙනවා. එය මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයාගේ ප‍්‍රශ්නයක්.”

එසේම මෙම විභාගය අප‍්‍රසිද්ධියේ පැවැත්වීම පිළිබඳව ද ගැටළුවක් මතුවන බවයි ඔහු අවධාරණය කළේ.

“අධිකරණ පද්ධතියේ අප‍්‍රසිද්ධියේ කියලා කියන්නේ මොකක්ද? කවර හෝ නඩුවක විනිසුරුවන්, විත්තිකරුවන්, විත්තියේ නීතිඥවරුන්, පැමිණිල්ලේ නීතිඥවරුන් වගේම සාක්‍ෂිකරුවන් ඉන්නවා. අප‍්‍රසිද්ධියේ පවත්වනවා කියන්නේ විත්තිකරුවන් එයින් ඉවත්කර සාක්‍ෂිකරුවන් එයින් ඉවත්කර පැමිණිලිකරුවන් එයින් ඉවත්කර විනිසුරුවන් සහ අදාළ නීතිඥවරුන් එක්ව නඩුවක් විභාග කිරීමයි. මෙතෙක් අධිකරණයේ තිබුණු සම්ප‍්‍රදායත් ඒක. අපි කියන්නේ විනිසුරුවන් සහ ඒ අදාළ පාර්ශ්වයන්ගේ නීතිඥවරුන් සමඟ පැවැත්විය යුතු බවයි.,”

“අප‍්‍රසිද්ධියේ විභාග කරනවා කියන්නේ හොර රහසේ විභාග කිරීම නෙවෙයි. අපිට පේන්න තිබෙන පරිදි දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරමින් සිටින්නේ අප‍්‍රසිද්ධියේ කියන වගන්තිය හොර රහසේ කියන තත්ත්වයට අර්ථ නිරූපනය කරමින් කි‍්‍රයාත්මක කරන්නයි.”

මෙම මාධ්‍ය හමුවේ දී ඔහු දැක්වූ තවත් අදහස් කිහිපයක් පහත දැක්වේ.

පසුගිය 04වැනිදා ජනාධිපතිවරයා විසින් නිශ්චිත කරුණු දෙකක් අරභයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබෙනවා. ජනාධිපති ධුරයට අවුරුදු 04ක් සම්පූර්ණවූ පසුව යළි ජනාධිපතිවරණයක් පැවැත්විය හැකිද යන්නත්, අනෙක වත්මන් ජනාධිපතිවරයාට ඒ සඳහා ඉදිරිපත් විය හැකිද යන්නත් පිළිබඳවයි.

ජනාධිපතිවරයාට මෙවැනි අදහසක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නැහැ. මේ අදහස් විමසලා තිබෙන්නේ ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය අනුවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම අවස්ථාවෝචිත ස්වභාවය සහ පොදු වැදගත්කමකින් යුත් යම් නීති හෝ සිද්ධි පිළිබඳව ප‍්‍රශ්නයක් උද්ගත වී ඇති බව නිරාකරණය කර ගැනීමට කැඳවිය හැකියි. එයින් අවධාරණය කර තිබෙන්නේ පොදු වැදගත්කමක් පිළිබඳවයි. නමුත් මෙතන කිසිම පොදු වැදගත්කමකින් යුතු කරුණක් නැහැ. මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපතිවරණයකට ඉල්ලීම සඳහා නුසුදුස්සෙක් වී තිබෙනවා. එය මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයාගේ ප‍්‍රශ්නයක්.

ඔහු 2010 ජනවාරි මාසයේ 27 වැනිදා දෙවැනිවර ජනාධිපතිධුරය සඳහා ජනතාව විසින් තෝරාපත්කර ගත්තාට පසුව නැවත වතාවක් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා නුසුදුස්සෙක්වී හමාරයි. 18වැනි සංශෝධනය හරහාවත් මහින්ද රාජපක්‍ෂගේ නුසුදුසුභාවය ඉවත්කරගෙන නැහැ. නිශ්චිත ලෙසම ප‍්‍රශ්නය නගා තිබෙන්නේ නුසුදුසුභාවයට පත්වූ මහින්ද රාජපක්‍ෂට යළි ඉල්ලන්න පුළුවන්ද බැරිද කියන කරුණයි.

ඒ පිළිබඳ මතයක් විමසන්න ජනාධිපතිවරයාට බැහැ. ඒ වගේම මේ විමසා තිබෙන වගන්තියත් වැරදියි. ජනාධිපති ධුරයට අවුරුදු 4ක් පිරුණට පස්සේ නැවත වරක් ජනාධිපති ධුරයට තරඟ කරන්න අවස්ථාව ලැබිල තියෙන්නේ 03 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. මේ සංශෝධනයෙන් කියවෙන්නේ ප‍්‍රථම ධුර කාලයට අවුරුදු 04ක් පිරුණට පස්සේ නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි යන්නයි. 03(අ),(ආ)1 කියන වගන්තියේ තියෙන්නේ ”මෙම පරිච්ඡේදයේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන් වුවද ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශනයක් මගින් වැඩිපුර කාලයක් සඳහා තමා තොරාපත් කර ගැනීමෙන් ධුරයට වරමක් ලබාගැනීම සඳහා ජනතාව වෙත ආයාචනා කිරීමේ තම අභිලාෂය තම ප‍්‍රථම ධුර කාලය ආරම්භ වී අවුරුදු 04ක් ඉකුත්වීමෙන් පසුව යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කරනු ලැබිය හැක්කේය” යනුවෙනි.

මේ වගන්තිය හරිම පැහැදිළියි. ප‍්‍රථම ධුර කාලය ආරම්භවී අවුරුදු 04ක් ගත වුණාට පසුව නැවත ජනවරමක් පතන්න පුළුවන්. 2005 නොවැම්බර් මස 18වැනිදා වර්තමාන ජනාධිපතිවරයා ධුරයට පත්වුණාට පස්සේ 2009 නොවැම්බර් 18 වැනිදා අවුරුදු 04 සම්පූර්ණ වුණාට පස්සේ නැවත ජනවරමක් සඳහා ජනාධිපතිවරණය කැඳවූවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරලා තිබෙන්නේ එම වගින්තියට අනුව අර්ථ නිරූපනයක්.

නමුත් අර්ථ නිරූපනයක් ඉල්ලිය යුතුව තිබෙන්නේ අවුරුදු 06ක කාලයක් දෙවැනි වර ධුරය දැරිය යුත්තේය කියන වගන්තිය සම්බන්ධවයි. මොකද ප‍්‍රථම ධුර කාලය ගතවූවාට පසුව ජනාධිපතිවරණයක් කැඳවා එයින් පත්වූ ජනාධිපතිවරයාම දෙවන වරට තේරී පත්වුවහොත් ඔහු සය අවුරුද්දක කාලයක් ධුරය දැරිය යුතුය යනුවෙන් ව්‍යවස්ථාවේ තිබෙනවා. මේ ජනාධිපතිවරයා දෙවැනි වර දිවුරුම් දුන්නේ 2010 නොවැම්බර් මාසයේ 19 වැනිදා.

මේ 19 වැනිදා සිට සය අවුරුද්දක කාලයක් ධුරය දැරිය යුතු බව ව්‍යවස්ථාවට අනුව පැහැදිළියි. එහෙම නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුව තිබුණේ මේ වගන්තියට අනුවයි. ඒ අනුව ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්ද බැරිද කියන ප‍්‍රශ්නයයි නිරාකරණය කර ගත යුතුව තිබෙන්නේ. ඒ අනුව මේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ප‍්‍රශ්නය විමසන්න බැහැ. දෙක, මේ යොමුකර තිබෙන ප‍්‍රශ්නයත් වැරදියි. වර්තමාන මහින්ද රාජපක්‍ෂට යළි ජනාධිපතිවරණයට තරග කරන්න බැරි බවත් ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 06ක් සම්පූර්ණ වීමෙන් පසුව පමණක් ජනාධිතිවරණයක් කැඳවිය හැකි බවත් අප මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අග‍්‍ර විනිශ්චයකාරතුුමත් කරුණු ඉදිරිපත්කර තිබෙනවා.

ඒ වගේම ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයත් මහාචාර්ය සූරී රත්නපාල මහතාගේ කරුණු ඉදිරිපත් කිරීම අනුවත් තීරණය කරනු ලැබූවේත් වර්තමාන ජනාධිපතිවරයාට අවුරුදු 04ක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි බවයි. මේ කරුණු මතු කළාට පස්සේ ආණ්ඩුව පැත්තෙන් කීවේ ”ඔය ගොල්ලෝ ඒකට අධිකරණයට යන්න” කියලයි. අධිකරණයට යාම පිළිබඳව අපේ නීතිඥ කණ්ඩායම්වලට ඉතා පැහැදිළි අවබෝධයක් තිබුණා. ආණ්ඩුව දිගින් දිගටම කීවේ අපිට අධිකරණයට යන්න කියලයි. දැන් ආණ්ඩුව අධිකරණයට ගොස් තිබෙනවා. ආණ්ඩුව අධිකරණයට යාමේ අරමුණ මොකක්ද?

මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් යුක්ති සහගත නඩු විභාගයක් පැවැත්වීමට ඉඩ නොදී තමන්ගේ කැමැත්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලවා අර්ථ නිරූපනය කරගැනීමේ අරමුණක් තමයි මෙයින් නිරූපනය කර තිබෙන්නේ. ඒ තුළින් යුක්තිසහගත නඩු විභාගයක් හරහා අර්ථ නිරූපනයනක් ලබා ගන්නවා වෙනුවට ජනාධිපතිවරයාගේ සිතැඟි අනුව, ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව අර්ථ නිරූපනයක් ලබාගැනීමේ යටි අරමුණ මේ තුළ තිබෙනවා. ඒ බව තහවුරු කරන්න කරුණු කාරණා අපට තිබෙනවා. ජනාධිපතිවරයා මේ ප‍්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළේ පහුගිය 04වැනිදා.

05දා සවස එකට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතිඥ සංගමයට ලිපියක් යොමු කරනවා ජනාධිපතිවරයාගේ මත විමසීම සඳහන් කරමින් ඒ පිළිබඳ ලිඛිත දේශන 07වැනි සිකුරාදා සවස 3ට පෙර ඉදිරිපත් කරන්න කියලා. 06වැනිදා නිවාඩු දිනයක්. මේ අනුව ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට ඕනෑ වී තිබුනේ ප‍්‍රශ්නයට මැදිහත්වූ පාර්ශ්්වයන්ගෙන් ඇත්ත අදහස් ලබාගැනීම නෙවෙයි.

”අපි නීතිඥ සංගමයෙනුත් විමසුවා” කියලා මේ තීරණයට යම් සුජාතභාවයක් ලබාගැනීමට තිබූ කුමන්ත‍්‍රණකාරී අරමුණක් තමයි මේ ලිපියෙන් පෙන්නුම් කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ යුක්තිසහගත නඩුවක් පවත්වලා තීරණය ලබාදීමේ අරමුණක් මේ තුළින් කියවෙන්නේ නැහැ. නීතිඥ සංගමය විතරක් නෙවෙයි අපිටත් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂයක් විදියට අදහස් ඉදිරිපත් කරන්න අයිතියක් තිබෙනවා. නමුත් ඒ සියලූ අවස්ථා අහුරලයි මේ වැඬේ කරන්නේ. මේ සැඟවුණු සියලූ අර්ථ අපිට මැනවින් පැහැදිළි වෙනවා.

තීන්දුව 10වැනිදාට ප‍්‍රකාශයට පත්කරන්න කියලා දින නියම කරලා තිබෙනවා. 18 වැනි සංශෝධනය සම්මත වී අවුරුදු 4කට අධික කාලයක් තිබුණා. මේ කාලය තුළ මතයක් විමසුවේ නැත්තේ ඇයි? ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා තව අවුරුදු දෙකක් ඉන්න අවස්ථාව තිබියදී ඇවිල්ලා තිබෙන කඩිමුඩිය මොකක්ද? 129වැනි වගන්තියේම මෙහෙම සඳහන් වෙනවා. ”එසේ යොමුකරනු ලැබූ විට ඒ යොමුකිරීමේ නිශ්චිතව සඳහන් කාල සීමාව ඇතුළත හෝ ජනාධිපතිවරයා විසින් දීර්ඝ කරන ලද යම් කාල සීමාවක් ඇතුළත හෝ එය අධිකරණය යෝග්‍ය යැයි සළකන යම් විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ඒ අධිකරණයේ මතය ජනාධිපතිවරයාට වාර්තා කළ යුත්තේය.” මෙතන අවස්ථා 3ක් තිබෙනවා. ජනාධිපතිවරයා නියම කරන දිනය නොවැම්බර් 10.

එසේ නැත්නම් දීර්ඝ කරන ලද දිනයක් පිළිබඳ අවස්ථාවක් තිබෙනවා. එසේත් නැත්නම් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා අධිකරණය ගතයුතු කාලය ගැන සඳහන් වෙනවා. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ 3වැනි කරුණට අදාළව ඒ අධිකරණය යෝග්‍ය යයි සලකන විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව කියන වගන්තිය අනුව යෝග්‍ය විභාගයක් පවත්වන්න කියලයි. එහෙම නැතිව ආණ්ඩුවේ යටි වුවමනාව ඉටුකරගැනීමේ හවුල්කරුවන් බවට පත් නොවෙන්න කියලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා යෝග්‍ය පරීක්‍ෂණයක් පවත්වන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් තිබෙනවා. ඒ වගේම කාමරයක් ඇතුළේ එකතුවෙන විනිසුරුවන් පමණක් නොවෙයි එය විසඳන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් මේ ව්‍යවස්ථාවේ පැහැදිළිව කියලා තිබෙනවා. ”සෑම නඩු කටයුත්තක්ම අධිකරණය විසින් විශේෂ හේතු යටතේ අන්‍යාකාර විධානයක් කළහොත් මිස අප‍්‍රසිද්ධියේ පැවැත්විය යුත්තේය.”

අධිකරණ පද්ධතියේ අප‍්‍රසිද්ධියේ කියලා කියන්නේ මොකක්ද? කවර හෝ නඩුවක විනිසුරුවන්, විත්තිකරුවන්, විත්තියේ නීතිඥවරුන්, පැමිණිල්ලේ නීතිඥවරුන් වගේම සාක්‍ෂිකරුවන් ඉන්නවා. අප‍්‍රසිද්ධියේ පවත්වනවා කියන්නේ විත්තිකරුවන් එයින් ඉවත්කර සාක්‍ෂිකරුවන් එයින් ඉවත්කර පැමිණිලිකරුවන් එයින් ඉවත්කර විනිසුරුවන් සහ අදාළ නීතිඥවරුන් එක්ව නඩුවක් විභාග කිරීමයි. මෙතෙක් අධිකරණයේ තිබුණු සම්ප‍්‍රදායත් ඒක. අපි කියන්නේ විනිසුරුවන් සහ ඒ අදාළ පාර්ශ්වයන්ගේ නීතිඥවරුන් සමඟ පැවැත්විය යුතු බවයි. නමුත් දැන් සූදානම්වී සිටින්නේ අප‍්‍රසිද්ධියේ පවත්වනවා වෙනුවට හොර රහසේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිප දෙනෙක් වෙන කිසිවෙකුට ඇතුළත් වීමට ඉඩ නොදී නඩුවක් විභාග කිරීමටයි. ඒ නිසා මෙතන තිබෙන්නේ හොර රහසේ විභාග කරන්න දරන ප‍්‍රයත්නයක්. අප කියන්නේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරන්න කියලයි.

අප‍්‍රසිද්ධියේ විභාග කරනවා කියන්නේ හොර රහසේ විභාග කිරීම නෙවෙයි. අපිට පේන්න තිබෙන පරිදි දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරමින් සිටින්නේ අප‍්‍රසිද්ධියේ කියන වගන්තිය හොර රහසේ කියන තත්වයට අර්ථ නිරූපනය කරමින් කි‍්‍රයාත්මක කරන්නයි. මොකක්ද මේ කුමන්ත‍්‍රණකාරී යටිකූට්ටු වැඩපිළිවෙළේ අරමුණ? මේ තුළින්ද නිරූපනය කරන්නේ අන් කවරක්වත් නොවෙයි, මේ ජනාධිපතිවරයාට තව දුරටත් අපේ රටේ පාලනය හොබවන්න ඉඩ දිය යුතු නැති බවයි. ඔහු ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ව්‍යවස්ථාව කඩමින් ව්‍යවස්ථාව යටින් රිංගමින් කටයුතු කරමින් සිටිනවා. මෙහෙම වැඩකරන්නේ හමුදා පාලකයින්. සියාවුල් හක් පාකිස්ථානයේ ව්‍යවස්ථාව අත්හිටෙව්වා. හමුදා පාලනයක් පිහිටවූවා. ඊජිප්තුවේ ව්‍යවස්ථාව අත්හිටුවා මුබාරක් හමුදා පාලනයක් පිහිටෙව්වා. ජර්මනියේ ව්‍යවස්ථාවේ අතුළතින් ප‍්‍රතිපාදන හදාගෙන බලයට ආපු හිට්ලර් ඒකාධිපති පාලනයක් ගෙන ගියා. මේ පෙන්නුම් කරනමින් තිබෙන්නේ එවැනි පන්නයේ ඒකාධිපති පාලනයක ලක්‍ෂණයි.

ඒ නිසා අපි කියන්නේ රාජපක්‍ෂ මහත්තයට කරුණා කරලා සාධාරණ විභාගයක් ලබාදෙන්න කියලයි. වමේ ව්‍යාපාරයක් හැටියට අපිට මේ අධිකරණ පද්ධතිය පිළිබඳව අදහසක් තිබෙනවා. යුක්තිය කියන්නේ එකක්. නීතිය කියන්නේ එකක් බව අපි හොඳින් තේරුම්ගෙන ඉන්නවා. නීතිය කියන්නේ යුක්තිය නෙවෙයි. මේවා කිසිසේත්ම නීතිය පසිඳලන තැන් හැරුණුකොට යුක්තිය පසිඳලන තැන් නෙවෙයි. නමුත් මේ පාර්ශ්වයන්ම තමයි අධිකරණයේ උත්තරීතරභාවය ගැන කථා කරන්නේ. අධිකරණයේ ආරක්‍ෂාවයි ගෞරවයයි රඳා පවතින්නේ එහි තුළ ඇඳ පැළඳගෙන සිටින ආකාරය අනුව නෙවෙයි.

ප‍්‍රායෝගිකව පෙන්නුම්කරන කි‍්‍රයාකාරිත්වය හරහා පමණයි එහි උත්තරීතරභාවය ආරක්‍ෂා වෙන්නේ. වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාරවරුන්ට වගකීමක් තිබෙනවා එහි ගෞරවය සහ උත්තරීතරභාවය ආරක්‍ෂා කරන්න. ඔවුන් මෙය කෙළෙසනවා නම් එය ඔවුන්ගේම ප‍්‍රශ්නයක් මිස අපේ ප‍්‍රශ්නයක් නොවේ. රාජපක්‍ෂ පාලනය පහුගිය කාලය පුරාම විශාල මෙහෙයුමක් කරමින් අධිකරණ පද්ධතිය තමන්ගේ අතට ගන්න මෙයෙහුමක් කළා. ශ්‍රේෂ්ඨාධිකරනයේ අගවිනිසුරුතුමිය නෙරපා හැරියා. ඉන් පසු ඔවුන්ට අවශ්‍ය විදියට ලංකාවේ පළමු වතාවට අග‍්‍රවිනිශ්චයකාරවරයා හැටියට සෙලාන් බැංකුවේ සභාපතිවරයා වාඩි කරවාගෙන තිබෙනවා. ඔහු පිලිබඳව අද විවේචනයක් සමාජයේ ගොඩනැගිලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාලය පුරාවට ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් පත්කිරීම පිළිබඳව චෝදනාවක් එල්ල වී තිබෙනවා.

හැබැයි රාජපක්‍ෂ පාලනය තමන්ගේ සිතැඟි නීති බවට පත්කර ගන්නා ලද, වර්ගයේ අධිකරණ පද්ධතියක් තමයි දැන් පෙන්නුම් කරමින් තිබෙන්නේ. අද රාජපක්‍ෂ පාලනයට අවශ්‍යවී තිබෙන්නේ තමන්ගේ සිතැඟි අනුුව කි‍්‍රයාකරන අධිකරණ පද්ධතියක් මිස රටේ නීතියට අනුව කි‍්‍රයා කරන අධිකරණ පද්ධතියක් නොවේ. නමුත් තමන් කි‍්‍රයා කරන්නේ රාජපක්‍ෂ පාලනයේ සිතැඟි අනුවද රටේ නීතියට අනුවද කියන දේ පෙන්නුම් කිරීමේ වගකීම ඔවුන් සතුව තිබෙනවා. ව්‍යවස්ථා වෙට්ටුවලින්, අධිකරණයේ වෙට්ටුවලින් යටි කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළවල් ඇතුළේ තමන්ගේ බලයත් තමන්ගේ පවුලේ බලයත් තමන්ගේ කල්ලියේ බලයත් ආරක්‍ෂා කරගන්න පුළුවන් කියලා රාජපක්‍ෂ කල්පනා කරනවා නම් එය හිතළුවක් පමණයි.

මේ ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන පරාජයට පත්කිරීම වෙනුවෙන් ගතහැකි සියලූම දේශපාලන කි‍්‍රයාමාර්ග ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. තවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්විය යුතු අවස්ථා තිබෙන බව අපේ නීතිඥවරු පෙන්වා දී තිබෙනවා. අපි ඒ අවස්ථාත් ඉදිරියේදී උපයෝගී කර ගන්නවා. ඒකාධිපති වියරුවට රටේ මුළු ජනයා ඩෝසර් කරමින් ඉදිරියට යාමට ඉඩදිය යුතු නැහැ. මෙයට යුක්ති සහගත නඩු විභාගයක් ඉල්ලා සිටීමට නීතිඥ සංගමය සූදානම් වෙනවා. ඒ වගේම අපිත් නීතිඥවරු මාර්ගයෙන් අදහස් ඉදිරිපත්කරන්න මැදිහත් වෙනවා. මේ ප්‍රොඩාකාරී වුවමනාව පරාජයට පත්කිරීම වෙනුවෙන් නීතිමය වශයෙන් සහ මහජන පෙළගැසීම වශයෙන් ගතහැකි සියලූ කි‍්‍රයාමාර්ග ගැනීමට අපි සූදානම්.

මේ තත්වයට පරාජයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට, ආණ්ඩුව ඇතුළේ ඉන්න පරණ වමේ ව්‍යාපාරයට, හෙළ උරුමයට වගේම බහුජන ව්‍යාපාරවලට යන සියලූ දෙනාට මේ ප‍්‍රචණ්ඩකාරී ගමනකට කර තිබෙන සැළසුම් පරාජය කිරීම සඳහා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා එකතු වෙන්න කියලා.

scroll to top