පුද්ගලික අරමුණු පසෙකලා, රටේ පොදු අරමුණට කැපවෙමු – ඇමති චම්පික

Champika-1.jpg

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පලකර සිටියේ, පානදුර බස්නැවතුම්පල තෙවන අදියර විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ. පානදුර බස්නැවතුම්පල තෙවන අදියර සංවර්ධනය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 76 කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘යහපාලන ආණ්ඩුව බලහත්කාරය පාවිච්චි නොකරන නිසා එයම තමන්ගේ පටු අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යොදාගෙන විවිධ පිරිස් බාධා කරනවා. මෙම ස්ථානය මෙයට මාස 7 කට පෙර විවෘත කිරීමට තිබූ අවස්ථාව එමගින් නැතිව ගියා. ආණ්ඩුව යමක් කරන විට පෙළපාලි යන්න, පිකටිං බෝඩ් අල්ලගෙන පාරවල් වහන්න ඕන තරම් පුද්ගලයින් ඉන්නවා. හැබැයි පොදු යහපතට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකරන්න බොහොම අකමැතියි අපේ ජනතාව. මේ පානදුර නගරය අපි විධිමත් නගරයක් ලෙස සංවර්ධනය කරනවා, එයට බාධා කරන්නේ නැතිව තමන්ගේ පුද්ගලික උන්නතිය ගැන හිතන්නේ නැතිව සෑම කෙනාම එයට දායක විය යුතුයි. පානදුර අපේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවලින් එකක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා, ඒ අනුව ගාල වත්තේ මනරම් උද්‍යානයක් අපි ඉදිකිරීමට කටයුතු කරනවා. පානදුර ඓතිහාසික පුනර්ජීවනයේ නියමුවෙක් වූ ආතර් වී දියෙස් මැතිතුමාවත් සිහිවන අයුරින් එම උද්‍යනය ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

නගර මධ්‍යයේ ඉඩමක් තිබෙනවා නම් එහි සුපර්මාර්කට් ඉදිකිරීම තමයි අරමුණ වෙන්නේ, නමුත් උද්‍යානයක් හදන්න බොහොම අමාරුයි. එම උද්‍යනයත් සමග දුම්රිය මාර්ගය සම්බන්ධවෙන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැනට මොරටුව දක්වා දිවෙන බස් ප්‍රමුඛතා මංතීරුව පානදුර දක්වා දීර්ඝ කිරීමටත්, බස්රියට, දුම්රියට ප්‍රමුඛතාවය දෙන ක්‍රියාදාමය අපේ අමාත්‍යාංශය මගින් සිදුකරන බවත් ප්‍රකාශ කළ යුතුයි.

මෙරට විදේශියකන්ට නතුවී විශේෂයෙන්ම වෙරළ තීරය ප්‍රදේශය අබෞද්ධකරණය බොහොම බලගතුව ව්‍යාප්තවී තිබූ වෙලවක, මිගෙට්ටුවත්තේ ගුණාන්ද හිමි, වාරියපොළ සුමංගල හිමි වැනි හිමිවරුන් ඉදිරිපත් වෙලා එය වෙනස් කරන්න අවිහිංසාවාදි විප්ලවයක් කළා. ලෝකයේ විවිධ රටවල ප්‍රචණ්ඩත්වයෙන් ආගම්වාදීන් කටයුතු කරන විට අපේ රටේ ලෝකයටම ආදර්ශයක් දුන්නා සබුද්ධිකව තර්කානූකූලව කටයුතු කරලා එම ගැටළුව විසඳීමට කටයුතු කලා.

මෙරටට අනාගතයක් ලැබීමට නම් මේ රට අද ලෝකයේ තිබෙන හතරවෙනි කාර්මික විප්ලවයත් සමග එකට එකතු විය යුතුයි. මෙරට සිටින උගත් ජනතාව තමයි එහි පසුබිම පදනම. එතනදී අපි අපේ සංවර්ධන ප්‍රමුඛතා හොඳින් හඳුනාගත යුතුයි.

සංවර්ධන ප්‍රමුඛතා ගැන ආණ්ඩුව විවේචනය කළාය කියලා මාධ්‍ය මගින් පලවෙලා තිබුණා කියා අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කළා. ඒ වගේම අද තවත් පුවත්පතක දැන්වීමක් පළ කිරීමට යනවා චම්පික රණවක ඇමති කමෙන් අයින් වෙනවා කියලා. මම කියනවා, අපි දේශපාලනික විප්ලවවාදියෝ. ජනතා විමුක්ති පෙරමුණ හෝ අනෙකුත් ලෝකේ තිබෙන බොල්ෂෙවික් විප්ලව වගේ ජනතාව ඝාතනය කරන්න යන්නේ නැහැ. සම සමාජ පක්ෂවල වාසුදේවල වගේ කටින් විප්ලව කරන්නෙත් නැහැ. අපි බොහොම පැහැදිලිව ප්‍රායෝගික වැඩසටහන් මත අපේ කටයුතු සිදුකරනවා. එතනදි විවේචනය කරන්න ඕන තැන අපි විවේචනය කරනවා. මහින්ද රජපක්ෂ මහත්මයාගේ පාලන කාලයේදී ව්‍යවස්ථා දෙකක් ගෙනාව, එකක් තිස්ස විතාරණ කමිටුව හරහා එකකුත්, එල්.එල්.ආර්.ටී. එක හරහා තව එකකුත් ගෙනාව. අද මරාගෙන මැරෙන්න, බෝම්බ ගහන්න, දේශ ෙද්‍රා්හීන්ට දඬුවම් දෙන්න කතා කරන අය එදා නිර්භවය ඉදිරිපත් වුනේ නැහැ ඒවා විවේචනය කරන්න. ඒවා විවේචනය කළෙත් අපි. ඒ වගේම මේ ආණ්ඩුවත් වැරදි දේ අපි විවේචනය කරනවා. සංවර්ධන ප්‍රමුඛතා අප හඳුනාගත යුතුයි.

මහින්ද මහත්මයාගේ අධිවේගී මාර්ග ක්‍රියවලිය අපි විචේනය කළා. අද මොකද වෙලා තිබෙන්නේ. ඒ අධිවේගී මාර්ගවලට ගෙවූ මුදල් වලින් රට ණය ගෙවා ගන්න බැරුව ඉමහත් අර්බුදයකට පත්ව තිබෙනවා. එම අධිවේගී මාර්ගවලින් උපයන ධනය එම මාර්ග නඩත්තු කර ගන්නවත් බැරි තත්වයක් අද උදවෙලා තිබෙනවා. එම ණය ගෙවන්න වෙලා තිබෙන්නෙ අපේ ජනතාවගේ පාංපිටිවලින්, කිරිපිටිවලින්, පරිප්පුවලින් අය කරගන්න බදුවලින්. එනිසා අපි ආදායම් උපදවන, රැකියා උත්පාදනය වන, පොදු ජනතාවට ප්‍රතිඵල දෙන තැන්වල අපි ආයෝජන සිදු කළ යුතුයි. විදුලිබලය, ජලය, සනීපාරක්‍ෂක කටයුතු සහ නිවාස මහජනයාට ඉතා අත්‍යවශ්‍යයි වගේම නාගරික පහසුකම් සැපයීම රටට ඉතා අත්‍යවශ්‍යයි. කොළඹ නගරයේ ජල සම්පාදන ක්‍රියාවලිය ගත්තහම 1866 ඉදිකළ ජල පොම්ප මගින් තමයි තවමත් ජලය ලබාදෙන්නේ. වතුර ගැලූම් 100 ක් ගැහුවොත්, වතුර ගැලූම් 40 ක් අපතේ යනවා. මේවාට ප්‍රමුඛතාවය ලබාදී සංවර්ධනය කළ යුතුයි. අධිවේගී මාර්ග රටට අවශ්‍ය නමුත් ඒවා අවශ්‍ය කාලවලට ඉතිරි කර අත්‍යාවශ්‍ය සංවර්ධන කාර්යයන්ට ප්‍රමුඛතාවය ලබාදීම සිදු කළ යුතුයි. ඒ නිසා අපි ඉල්ලා අස්වෙන්නේත් නැහැ විවේචන කරන්නෙත් නැහැ, දේශපාලන විප්ලවාදියෝ විදිහට ප්‍රායෝගිකව රටට සිදු කළ හැකි සෑම ආකාරයකටම මෙම කටයුතු සිදු කරන බව ප්‍රකාශ කළ යුතුයි. ඒ සඳහා මහජනයාගේ සහය අවශ්‍ය වන බවත්, හමුදාව සහ පොලීසිය යොදවා බලහත්කාරයෙන් එම කටයුතු සිදු නොකරන බවත් මහජනයාගේ සහයෝගය ඇතිව සියළු කටයුතු සිදු කරන බවත් වැඩිදුරටත් පැවසීය.

පානදුර නගරයේ ඇරඹු මෙම ක්‍රියාවලිය තව දුරටත් ඉදිරියට ගෙනයාම සඳහා ලංගම බස්නැවතුම්පලද මෙම ස්ථානයේ ස්ථාපිත කර බස්ප්‍රවාහන විධිමත් කර ප්‍රවාහන මධ්‍යස්ථානයයි දුම්රිය ස්ථානයයි එකට එකතු කර අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයක් ලෙස මෙම ස්ථානය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් කළුතර මිල්ලනිය ප්‍රදේශය හතරවෙනි තාක්ෂණ විප්ලවය ඉදිරියට ගෙන යා හැකි තාක්ෂණ නගරයක්, කර්මාන්ත නගරයක්, අයෝජන නගරයක් ඉදිකරන්න අවශ්‍ය ඉඩම් අත්පත් කරගෙන තිබෙන බවත් ලබන වසරේදී එහි වැඩකටයුතු ආරම්භ කරන බවද මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළ යුතුයි. එහි ප්‍රතිලාභ පානදුරටත්, බණ්ඩාරගමට සහ හොරණට ලැබෙනවා ඇති. කොළඹ නගරයේ පරිවාර නගර ලෙස මෙම නගර ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. 2020 වන විට නාගරික සංවර්ධනය පැත්තෙන් කළුතර සෑම ප්‍රධාන නගරයක්ම ජාත්‍යන්තර නගරයක් බවටම පත් කිරීමට හැකි නාගරික පහසුකම්වලින් සමන්විත නගර බවට පත් කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

scroll to top