පුද්ගලයන් පැහැර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වාහන කිසිවක් භාවිත කර නොමැත

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ඊයේ (20) පැහැරගෙන යාමට තැත් කළා යැයි කියනු ලබන සිද්ධියට අදාළ සුදු වෑන් රථය මුදල් අමාත්‍යාංශයට අයත් යැයි අගවමින් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර ඇති පුවත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම සිද්ධියට අදාළව භාවිත කළා යැයි පැවසෙන අංක NA 0410 දරණ Hiace KDH වර්ගයේ වෑන් රථයක සේයාරුව ද එම මාධ්‍යවල පළ කර තිබිණි.

පසුගිය රජය සමයේ මෙවන් වාහන, ආබාධිත රණවිරුවන්, ක්‍රීඩකයන් සේම ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් සමාගම්, හෝටල්, අනුමත රාජ්‍ය නොවන සංවිධාන සහ සංචාරක ප්‍රවාහන වැනි ආයතනවලට තීරුබදු රහිතව ආනයනය කිරීමට අවසර ලබා දී තිබිණි. මෙම රථය ද එම පදනම යටතේ ආනයනය කර ඇති වාහනයක් බව තහවුරු වේ. මෙසේ තීරු බදු රහිතව ආනයනය කිරීමේ දී පනවා ඇති එකම කොන්දේසිය වන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ඒවා අන්සතු කිරීම, අලෙවි කිරීම සහ බදු දීම කළ නොහැකිය යන්න පමණි. එවන් කොන්දේසි තිබූ පමණින් එම වාහනය කිසිසේත් මුදල් අමාත්‍යාංශය සතු වාහනයක් වන්නේ නොමැත.

ඒ අනුව එම රථය මුදල් අමාත්‍යාංශයට අයත් බව අගවමින් සමාජ ජාල වෙබ් අඩවිවල පළ වූ ප්‍රවෘත්තිය පදනම් විරහිත සහ සත්‍යයෙන් තොර බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

scroll to top