පිටිදූවේ සිරිධම්ම සාධකයෙන් නිරූපිත නූතන සමාජය

පුවත්පත් කලාව කලාවෙන් බැහැරව වාණිජ මට්ටමට අද පැමිණ ඇත.අතීතයේදී උගත්,බුද්ධිමත්,වියත් අය අතර රැඳී පැවති පුවත්පත් කලාව පසු කලකදී මුදලාලිලා අතට පත්විය. අද වන විට පුවත් කලාවේ වුවද රැඳී ඇත්තේ බුද්ධිමත්, වියත්, ප්‍රාඥ මට්ටම් නොව හුදු ලාභ ඉපයීමේ වාණිජ අරමුණු පමණක් වන මට්ටමට එය පහළට බැස තිබීම ඉතාම ශෝචනීයය. එපමණක් නොව අද පුවත් කලාව සමඟ ඉතා දරුණු ලෙස නූතන දේශපාලනයද බැඳී හාවී පවතියි. මේ හේතු නිසා අද වන විට පුවත්පත් කලාව හුදු කලා මාධ්‍ය අරමුණු වලින් බැහැරව සිදු කරන හුදු වාණිජ හා පටු දේශපාලන අරමුණු මුඳුන්පත් කරවා ගැනීමේ ක්‍රියාවලීයක ස්වරූපයට පත්ව ඇත. මේ අනුව වෙළඳාම හා දේශපාලනය යන සාධක ඉල්ලකගත කරගෙන පමණක් බිහිවූ පුවත්පත් විශාල වශයෙන් මෙකල බිහි වෙමින් පවතින ප්‍රවණතාවක් පවතියි. පුවත්පතක පැවැත්ම කෙරෙහි අලෙවිය විශාල බලපෑමක් සිදු කරන බව අපි දනිමු. නමුත් පුවත්පතක ප්‍රධාන අරමුණ වියයුතු වන්නේ හුදු ලාභයම අරමුණු කරගැනීම නොවන බව නූතන මාධ්‍ය සදාචාර ධර්මවලට එකඟ කරුණකි. එය එසේ වුවද මේ යුගයේ බිහිවන ඇතැම් පුවත්පත් හුදු වාණිජ අරමුණු ඔස්සේ කෙතරම් දුරකට හැඹීම විද්‍යමාන වන්නේද යත් සිය දෙමව්පියන් වුවද විකුණා මුදල් සෙවීමට වුවද මේ පුවත්පත් නොපැකිලෙන බවක් මේවායෙහි ක්‍රියාකාරීත්වය අනුව පෙනී යයි. බල්ලන් මරා හෝ සල්ලි සෙවිය හැකි නම් එය එකම න්‍යාය පත්‍රයකොට ගැනීම මෙබඳු පුවත්පත්වල එකම අභිප්‍රායබව දක්නට ලැබේ.කිසිදු මාධ්‍ය සදාචාරයක් මාධ්‍ය ආචාර ධර්මයක් තඹ සත පහකට ගණන් නොගෙන අවම තරමින් සමාජයේ පැවතිය සමාජ ආචාර ධර්ම හා ආගමික ආචාරය ධර්ම පවා ඉතා සැහැසි ලෙස අමු අමුවේ උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස සිය මාධ්‍ය කලාව මෙහෙයවන මාධ්‍ය මුදලාලිලා ලෙස පමණක් හැඳින්විය හැකි කීප දෙනෙකු නිසා ප්‍රශස්ත මට්ටමක තිබූ සමස්ත වෘත්තිය පුවත්පත් කලාවටම අද අත්වී ඇත්තේ ඉතා ඛේදජනක ඉරණමකි. අද පුවත්පත්කලාව මුදලාලීකරණයවීමට බලපා ඇති සමාජ ආර්ථික හේතු අවශ්‍ය තරමටත් වඩා මේ වාණිජ සමාජයේ බිහිව ඇත.සමාජයේ සදාචාරය, සාරධර්ම යටපත්ව මුදලට මුල්තැන හිමිවීම එයින් පළමුවැන්නයි. ගුණවත්කමට වඩා බාහිර ඔපයට සමාජයේ ගරුනම්බු ලාභ සත්කාර සම්මාන හිමිවීම මේ අනුව සිදුව තිබේ.

අතීතයේ තිබූ සම්භාවනීය පුවත්පත් කලාවට අයත් වූ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හා නූතන පුවත්පත් කලාවේ වාණිජ අගයන් කරා එය මෙහෙයවීම යන කාරණය සම්බන්ධව දැක්විය හැකි නම් අතර රන්දිව පුවත්පත, සමන් සමරක්කොඩි, පුබුදු අරඹවෙල හා සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම යන සංකේත ඉතා හොඳින් හැඳිනගත හැකිය. මේවා මෙසේ සාකච්ඡා කිරීම පවා එබඳු පුද්ගලයන්හට අනවශ්‍ය ප්‍රචාරණයක් විය හැකි අතර වෙළඳාම අලෙවිය ලාභ ලැබීම ඉලක්කකොට ගත් වාණිජමය වාසියක් ඔවුන් වෙත ලැබිය හැකි කරුණක් බව මම දනිමි. රන්දිව පුවත්පතේ අලෙවිය වෙනුවෙන් පිටිදූවේ සිරිධම්ම අලෙවිය පිණිස පෙරට දමා ඇතැම් විට ඔවුන් මේ මොහොතේ සිදු කරමින් පවතින්නේද හුදු විකිණීම අරමුණු කරගත් වෙළඳ ප්‍රවර්ධනයක් විය හැකිය. රන්දිව පුවත්පත යනු කිසිදු විටෙක මෙරට මාධ්‍ය කලාව තුළ හෝ මාධ්‍ය සංස්කෘතියතුළ හෝ පිළිගත හැකි කාර්යභාරයක් ඉටු නොකළ ඉතා අඩුම අලෙවියක් ඇති පුවත්පතක්විය. එබඳු පුවත්පතක් මෙරට තිබෙනවාදැයි මෙරට පාඨක ප්‍රජාවවත් නොදැන සිටි වාතාවරණයක පුවත්පතේ අලෙවිය වැඩිකරගැනීමට ක්‍රමවේදයක් සොයා යෑමේදී ඔවුන්ට හමුවූ අගනා ඉල්ලමක්වූයේ ඉහත සඳහන් කළ පිටිදූවේ සිරිධම්ම සංකේතයයි. පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීම පිණිස ඔවුහු ඉතා නිර්ලජ්ජිතවම පිටිදූවේ සිරිධම්ම සංකේතය හැකිතාක් ඉහළ ලංසුවට අලෙවි කිරීමට විවිධ කූඨ උපක්‍රම සකස්කළහ. එම උපක්‍රම අතර ඔවුන්ට ඉතා සාධනීයම උපක්‍රමය වූයේ බුදු දහමේ උත්තරීතර මනුෂ්‍ය ධර්ම ලෙස බුදුරදුන්ම දේශනාකර තිබූ බුදු,පසේබුදු හා සිව් මාර්ගඵල ධර්‍ම පදික වේදිකා මට්ටමට ඇදදමා සිල්ලරට අලෙවිකිරීමයි. මේ වන විට සමාජයේ සෙසු අගනාකම්වලට ප්‍රමිතයක් සකස්ව තිබූ අතර ඒවා සිල්ලරට අලෙවිකිරීමට නම් ඒ පිළිබඳව සාධිකාරී සාධක අත්පත්කරගැනීම අනිවාර්ය තිබීම නිසා ඊට වඩා බොහෝ පහසුවෙන් ලබාගත හැකිවූ බෞද්ධ අධ්‍යාත්මික ගැඹුරු සංකල්ප තර්කය අවියක් කොටගෙන මතුපිට ඔපයෙන් යුතුව සිල්ලර ලෙස හුවා දැක්වීමට මෙකී පිරිස් පෙළඹී තිබිණ. ඒ පොදු අරමුණ වෙනුවෙන් මේ පාපී පිරිස් එකතු කරවන සාධකය අතර ගාල්ල ගම් ප්‍රදේශයවීම,දිගු කලක සිට මේඅය අතර තිබූ දැඩි මිත්‍රත්වය, බටහිර ගැති ශාස්ත්‍රීය විෂයගත දැනුම ආදී සාධක ඒකරාශි වෙමින් පැවතින. බුදු දහමේ ආධ්‍යාත්මික වටිනාකම්වලට වඩා පහත් භෞතික සාධක හා පොහොසත්වීමට ක්ෂණිකව වාණිජ ලාභ ඉපයීමේ අරමුණු මොවුන්ට ඉතා වැදගත්විය. මීට එරෙහිව එල්ල වූ සමාජ විරෝධතාවලින් පවා ප්‍රචාරණ වාසියක් ලැබීමට තරම් මොවුන් සටකපට විය.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් හිමිව තිබූ රූපවාහිනි හා මාධ්‍ය ජාලයතුළ ජනප්‍රියත්වයක් ඒ වන විට අත්පත් කරගෙන තිබූ පිටිදූවේ සිරිධම්ම ගේ මුල් කාලීනව තිබූ ජනප්‍රියත්වය අනුක්‍රමිකව පහළ මට්ටමකට බැස යමින් තිබිණ.ඊට විවිධ හේතු සාධකද විය. තමන්ගේ ජනප්‍රියත්වය දඩමීමා කරගත් පිටිදූවේ සිරිධම්ම ඒ වෙද්දී ජනප්‍රිය තලයේ වැජඹුනු දේශපාලන චරිත කීපයක් ඇසුරට යොමුවීමත්,මහායාන ඇදහීම් මහායාන සංකල්ප ප්‍රජාව අතරට ගෙනයාමත්,මෙරට මුල්බැසගත් ථේරවාදී බෞද්ධ ඉගැන්වීම්වලට වෙනස් අත්තනෝමතික අර්ථකථන සැපයීමත්,සිරිසමන්තභද්‍ර නමින් තමන් බුද්ධත්වය ශාක්ෂාත්කළබව පැවසීමත් යන කරුණු නිසා අනුක්‍රමිකව බෞද්ධ අනුගාමික පිරිස් අතර පිටිදූවේ සිරිධම්මහට පැවතී පිළිගැනීම පහළට බැස යමින් පැවතින.නමුදු ඔහුට මෙකල අවශ්‍යවූයේ ඉහළ මිලකටඅලෙවිවෙමින් හැකිතාක් මුදල් ඉපයීමයි. ඔහුගේ ඒ අරමුණ හා රන්දිව පුවත්පතේද සමන් සමරක්කොඩිගේද අරමුණ සමපාත වෙමින් පැවතින.මේ පිරිස ඒකරාශිවීමට බොහෝදුරකට හේතුවූයේ ගමේකම,වාණිජ අරමුණු,ශාස්ත්‍රාලීය පසුබිම වැනි කරුණුය. ගාල්ල ගමවීම හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය විෂය යටතේ විශේෂවේදී උපාධියක් ලැබීම යන කරුණු පුබුදු අරඹවෙලට මේ අරමුණු හා බද්ධවීමට පෙළඹවීමක් ඇති කරවීමට හේතුවිය. බුදු දහමේ සඳහන් ගැඹුරු ඉගැන්වීම්වලට අදාළ නව අර්ථකථන පිටිදූවේ සිරිධම්ම වෙතින් ලබා ගෙන ඒවා පුවත්පතේ පළ කරමින් රන්දිව පුවත්පතේ අලෙවිය ඉහළ මට්ටමකට රැගෙන ඒම සමන් වීරක්කොඩි ගේ කාර්යය විය. මේ මඟින් රැඩිකල් ජනප්‍රියත්වය, ජනප්‍රිය බුදු දහම තුළ ලූලා නැතිවලට කණයෙකු වීම හා නූතන තාරුණ්‍ය තුළ පොරක් වීම ආදී පිටිදූවේ සිරිධම්ම අපේක්ෂා කළ දෑද සමන් සමරක්කොඩි අපේක්ෂා කළ පුවත්පතේ අලෙවිය ඉහළ මට්ටමකට පත්කරවා ගැනීම යන අපෙක්ෂාවද යන සියල්ලම එකට ඉටුකර ගැනීමට ඇවැසි පසුබිම මැනවින් සැකසිණ.පසුබිමේ සිට සියල්ල සම්බන්ධීකරණ හා සමායෝජන කලේ පුබුදු අරඹවෙලයි.

කෙනෙකුගේ හා පිරිසකගේ පෞද්ගලික වාසි ලාභ අපේක්ෂා, අරමුණු හා වුවමනා පිටතට පැමිණියේ පොදු සමාජ අරමුණු හා අපේක්ෂා ලෙසටය.පුද්ගල නාම සේම පුද්ගලිකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම අප්‍රසන්න කාරණයක් ලෙස වටහාගෙන සිටියද ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම කළයුතුම දෙයක් වූයේ සමාජය ඉදිරියේ ඉහත කී පිරිසගේ පුද්ගලික අපේක්ෂා පොදු අරමුණු හා අපේක්ෂා ලෙස මුදාහැරීමත්, ඒවාට මුලාවූ බහුතරය එයින් මුදවා ගැනීමට නම් මේ පිළිබඳ සත්‍යය සමාජය ඉදිරියේ මෙසේ හෙළිදරව් කිරීමට අවශ්‍ය වූ බැවින්ය. එම අරමුණ හුදු නිස්සරණ්‍යධ්‍යාශය වශයෙන් තබාගෙන පමණක් මේ හෙළිදව්කිරීම සිදුකර ඇතිබව වටහා ගත යුතුය.මන්ද පිටිදූවේ සිරිධම්ම සිරි සමන්තභද්‍ර ලෙස නාමකරණයවී බුදුවරයෙකු ලෙසට බෞතිස්ම ලබා දී සමාජය ඉදිරියේ මුදල් වාසි ලැබීමට පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීමට පළමුවරට මුදාහරිනු ලැබුවේ රන්දිව පුවත්පත මඟින් වන නිසාය.මේවා කිසිසේත්ම බුදු දහම, පුවත්පත් හා මාධ්‍ය කලාවේ සදාචාරය හා ආචාරධර්ම ආදී කරුණු පිළිබඳව නොදැනුවත්කම නිසා සිදු කළ දේ නොවේ.ස්වකීය කූඨ චේතනාමත ලාභ ලැබීමේ සදාචාර හා ආගම් විරෝධී ආකල්පවලින් යුතුව සිතාමතාම සිදුකරනු ලැබූවකි.ථෙරවාදී බෞද්ධ පසුබිමක් දිගු ඉතිහාසක පටන් පවතින රටක් ලෙස පැවති මෙරට එම ථේවරදී මූලික බෞද්ධ ඉගැන්වීම්වල මූලික හර පද්ධති අමුඅමුවේ උල්ලංඝනය යන පරිදි ඒ ඉගැන්වීම්වලට විකෘති අත්තනෝමතික අර්ථකථන ලබා දෙමින් ඒවා රන්දිව පුවත්පත් ඔස්සේ අනවශ්‍ය වටිනාකමක් ලබා දෙමින් ප්‍රචාරය කරවමින් පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීමේ දුෂ්ට ක්‍රියාදාමයක මේවන විටත් ඔවුහු ඉතානිර්භයව හා නිර්ලජ්ජිතව යෙදී සිටිති. මෙකල හැකිතාක් වැරදි වැඩ කරන්නන්ටම ඉඩලබා දෙන හා නිවැරදි අයට පසුපස පන්න පන්නා පහර දී ඔවුන් දුර්මුඛකර ලැජ්ජාවට පත්කොට නිහඬකරවන සමාජ පසුබිමක් මෙරට ක්‍රියාත්මක වන කාලයක අප හැමට ජීවත්වීමට සිදුවීම ද අවාසනාවක් ලෙස දැක්විය හැකිය.වැරදි කරන්නන් හා ඔවුන්ට අනුබල දෙනඅය නිරාවරණය කරන්නන් අනාරක්ෂිතවීමේ බිය නිසාම සමහරු මේපිළිබඳව දන්නාමුත් නොදන්නා සේ ඉවසා සිටීමට පවා හුරු පුරුදුව සිටිති.නමුත් සමාජ සුරක්ෂිතාව රැකීමට හොඳ පුද්ගලයන්ගේ නිහඬ බව බාධාවකි.

ඉතා සරළ මට්ටමේ ථේරවාදී මූලික බෞද්ධ ඉගැන්වීම් නිවැරදිව දැන හඳුනා ගැනීමට තරම්වත් බුදු දහම පිළිබඳ ඉතා ප්‍රාථමික දැනුමක්වත් මෙකල සමාජයේ බහුතර පිරිසකට නොමැතිකමේ සමාජ හිඩසෙන් මේ වැනි කූඨ පිරිස් සිත්සේ අයුතු ප්‍රයෝජන ලබා ගනිති.එයට ප්‍රධාන හේතුව පාලි ත්‍රිපිටකය බෞද්ධ අධ්‍යයනය පිළිබඳව ආචාර්ය උපාධි මට්ටමේ පර්යේෂණාත්මක ගැඹුරු අධ්‍යයනයන් සිදුකළ ප්‍රමාණික ගිහි උගතුන්හට මේ සමාජයේ හා ශාස්ත්‍රාලීය පසුබිම තුළ කිසිදු ඉඩකඩක් විවර නොවීමයි.කහ රෙදිකඩක් ඇඟලූ පමණකින් ඕනෑම අයෙකු සමාජයේ අනවශ්‍ය සම්භාවනාවට ලක්වන සමාජ පසුබිමක් මෙරටතුළ ගොඩනැඟී පැවතීමද මෙබඳු සටකපට පිරිස්වලට හිමිවන ප්‍රබල වාසියකි.බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය බඳු බුදු දහමට කැපවුනු විශ්වවිද්‍යාල තිබුණද,සෙසු රාජ්‍ය ජාතික විශ්වවිද්‍යාලවල පාලි හා බෞද්ධ අධ්‍යයන අංශ පැවතියද අධ්‍යයන කාර්යමණ්ඩල සඳහා බඳවා ගැනීම්වලදී කිසිදු අවස්ථාවක ඊට ඉදිරිපත්වන අයගේ ඉහළම අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම්වලට හෝ සේවා පළපුරුද්දට අනුව බඳවා ගැනීම් සිදු නොකර අඩු සුදුදුසකම් ඇති නමුදු තමන්ට පක්ෂපාතී, ඥාතී සම්බන්ධතා, දේශපාලන හිතවත්කම් සහිත අයට පත්වීම් සිදුකිරීමට තරම් එබඳු විශ්වවිද්‍යාලවල තත්වය පහළ මට්ටමකට පත්ව තිබීමද ප්‍රධානතම හේතුවක්වී තිබේ.විශ්වවිද්‍යාලයක එබඳු අධ්‍යයනය කාර්යමණ්ඩල පත්කිරීම සඳහා තිබිය යුතු අවම සුදුසුකමටත් වඩා ඉතා ඉහළ සුදුසුකම් ඇතිවත් එනම් නියමිත විෂයට අදාළ විශේෂවේදී ගෞරව උපාධි ප්‍රථම පංති සාමාර්ථය,දර්ශනපති හා ආචාර්ය උපාධි සුදුසුකම් ඇතිව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ද එබඳු විශ්වවිද්‍යාලවලද සම්මුඛපරීක්ෂණවලට ඉදිරිපත් වුවද මා කපා හැර මට වඩා අඩු සුදුසුකම් ඇතිඅය එබඳු තනතුරුවලට බඳවාගැනීමේ අවස්ථා ගණනාවකටම මුහුණදී ඒ පිළිබඳව අවශ්‍යතරම් ප්‍රායෝගික සිදුවීම්වලට මමද මුහුණපා සිටිමි.පාලි හා ත්‍රිපිටක බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ සිදුකළ ප්‍රමාණික උගතෙකු ලෙස අද මගෙන් සමාජයට සිදුවන සේවය මෙබඳු සමාජ විද්‍යාත්මක ලිපි ලේඛන හා ශාස්ත්‍රීය පර්යේෂණ පොත්පත් රචනය හා ජීවනෝපාය පිණිස පුද්ගලික පංති පැවැත්මට පමණක් ඉතා සීමාකාරී ලඝුවී තිබීම අවාසනාවකි.අඳුරට ශාප කරනවාට වඩා හැකි ශක්ති පමණින් එක පහනක්වත් දැල්වීම උතුම්ය යන යහ ආකල්පයේ පිහිටා මම කටයුතු කරමි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top