පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70 ක් පිරීම හෙට අභිමානවත්ව…

පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70 ක් පිරීම හෙට අභිමානවත්ව, විශේෂ සැසිවාරයක් පැවැත්වීමෙන් සිදු වෙනවා.

මෙම සැසිවාරයේදී ගරු අග්‍රාමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා එක්ව ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් අනුව විවාදයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එම යෝජනාවෙන් කියැවෙන්නේ අද දින පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම පාර්ලිමේන්තුව ස්වාධීන පාර්ලිමේන්තුවක් වශයෙන් ප්‍රථමයෙන් රැස්වී 70 වසරක් සපිරීමේ සංවත්සරය සාඩම්බරයෙන් යුතුව සමරන අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙහි නොබිඳුණු වාර්තාවක් සමඟින් ආසියානු කලාපයේ තිබෙන වැඩිහිටි සර්වජන ඡන්දයෙන් තේරී පත්වන පැරණිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බව සඳහන් කරමින්, ඉදිරි කාලය මෙම පාර්ලිමේන්තුවටත්, ශ්‍රී ලාංකීය ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්, ප්‍රතිපත්තීන් සහ නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කරමින්, සමෘද්ධිය සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කිරීමයි.

ඊට සමගාමීව සාක් රටවල් නියෝජනය කරමින් එහි කථානායකවරුන් අපට ආශිර්වාද කිරීම සඳහා පැමිණෙනවා.

  • ඉන්දියාව
  • බංග්ලාදේශය
  • භූතානය
  • ඇෆ්ගනිස්ථානය
  • මාලදිවයින
  • නේපාලය

සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංගමය 1992 වසරේ ජුනි 15 වන දින ශ්‍රී ලංකාවේදී රැස්වූ සාක් කලාපීය කථානායකවරුන්ගේ අදහස අනුව පිහිටුවා ගන්නා ලද සංගමයකි. ඒ අනුව, මෙම සාක් කලාපීය කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් සිදු කොට තිබෙනවා.

පකිස්තාන කතානායකවරයාද පැමිණීමට නියමිතව සිටියත් ඉදිරි දින තුන තුළ පැවැත්වෙන පාර්ලිමේන්තු පනතක් නිසා පැමිණීම දුෂ්කර විය හැකි බවත්, සුළු වේලාවකට හෝ පැමිණීමට උත්සාහ කරන බවත් අපට දන්වා තිබෙනවා.

අවුරුදු බොහෝ ගණනකට පසු කලාපීය දේශපාලන නායකයින් වශයෙන් කථානායකවරුන්ගේ පැමිණීම, අප රටට දක්වන ලෙන්ගතුකමක්, අපේ රටට ආශිර්වාදයක් වෙනවා.

මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් හා ගරු ඇගමැතිතුමන් ලබා දුන් සහයෝගයට අපට ශක්තියක් වෙනවා.

එමෙන්ම අපගේ ආසන්න රටවල සහභාගිත්වය මෙරට දේශපාලන නායකත්වයට හා අනුගමනය කෙරෙන මධ්‍යස්ථ ප්‍රතිපත්තිය වෙනුවෙන් කෙරෙන ගෞරවයක් හා ඇගයීමක් වශයෙන් සලකන්න පුලුවන්.

නිවසක, ගමක, ප්‍රදේශයක, රටක අනාගතය සාර්ථක කර ගැනීමට අතීතය දෙස බැලීම ඉතා වැදගත්. අප ආපසු හැරී බැලීමේදී අප මුහුණ දුන් අභියෝග, දුෂ්කරතා, වැරදුනු අවස්ථා හා සාර්ථකත්වය ලැබූ අවස්ථාද සිහි කිරීම වටී.

පසුගිය අවුරුදු 70 තුළ රටක් වශයෙන් අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණ 2, තරුණ අසහනය නිසා බාධා ඇති අවස්ථා 2 ක්, අවුරුදු 30 ක ත්‍රස්තවාදී ව්‍යාපාරයෙන් සිදු වූ ජීවිත හානි හා මහා විනාශය සිහි වෙනවා.

මේ සියළු අභියෝග මධ්‍යයේ පාර්ලිමේන්තුවේ නොකැඩුනු පැවැත්ම වෙනුවෙන් මෙතෙක් පැවති පාර්ලිමේන්තු නායකත්වයට හා සියළුම නියෝජිතයන්ට අපගේ ප්‍රණාමය පුද කළ යුතුයි.

කෙසේ නමුදු සමහර අවස්ථාවලදී ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට මුහුණ දීමට සිදු වූ ක‍ටුක අත්දැකීම් මෙන් ම ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමට දැරූ අසාර්ථක උත්සාහයන්ද අපට සිහි වෙනවා.

සුභවාදීව මේ සියළු අභියෝගතා මධ්‍යයේ වෙනත් රටවල ජනතාව නොලබන විශ්ව විද්‍යාලය දක්වා ලබා දෙන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය වැනි ජනතා සහනදායී වැඩ පිළිවෙලවල් මොන දුෂ්කරතා මධ්‍යයේ වුවත් පවත්වාගෙන යාම අගය කළ යුතුයි.

1947 ඔක්තෝබර් සිට 1982 වර්ෂය දක්වා ගාලු මුවදොර පාර්ලිමේන්තුවේ ආයු කාලය අවුරුදු 35 ක් වෙනවා.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, වර්තමාන පාර්ලිමේන්තුවේ කාලසීමාව 1982 සිට 2017 දක්වා අවුරුදු 35 ක් වෙනවා.

හෙටින් පසු වර්තමාන පාර්ලිමේන්තුවට විශාල වගකීමක් හා යුතුකමක් වෙනවා. ඉදිරි අනාගතයේදී ඊළඟ පරපුර, නූපන් පරපුර වෙත යුක්තිගරුක, නීතිගරුක, සුදුස්සාට සුදුසු තැන ලැබෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කිරීමට අප සියළු දෙනා කැප විය යුතුයි. ඒ සඳහා ජාතික, ආගමික හා දේශපාලන සමගිය ඇති විය යුතුයි. දේශපාලනික වශයෙන් අපට විවිධ මත දැරිය හැකියි. නමුත් දේශයේ උන්නතිය වෙනුවෙන් අපට අත්වැල් බැඳගත හැකියි. අලු දූවිලි බවට පත් වූ රටවල් ලබා ඇති ප්‍රගතියට හේතු වූයේ එම ජාත්‍යාලයයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ අප සියළු දෙනාම අමතක නොකළ යුතු එක් සිද්ධාන්තයක් තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙරට උත්තරීතරම ස්ථානය බවයි. අතීතයේ පාර්ලිමේන්තුවත් එහි මන්ත්‍රීවරුනුත් රටවැසියා විසින් ගෞරවයෙන් සිහි කරනු ලැබුවා. එම ගරුත්වය රැක ගැනීමට අප පියවර ගත යුතුයි.

වසර 70 ක කාලසීමාව තුළ ආරම්භක කථානායකවරයා වන ගරු ප්‍රැන්සිස් මොලමුරේ මැතිතුමාගේ සිට වර්තමානය දක්වා පදවි හෙබවූ කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන් ඇතුලු සියළු නිල දරුවන් මා ගෞරවයෙන් සිහි කරනවා.

එලෙසින්ම, වසර හැත්තෑවක කාලය තුළදී විවිධ බාධක කම්කටොලු මධ්‍යයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් ආරක්ෂා කර ගැනීමට කැප වූ දායක වූ සියළු දෙනාට මේ අවස්ථාවේදී ජාතියේ ගෞරවය පුද කරනවා.

scroll to top