පාර්ලිමේන්තු වෙබ් අඩවියට “BestWeb.lk 2017” තරඟයේ දී සම්මාන හතරක් හිමි වේ

Bestweb-Parliament.jpg

LK වසම් ලේඛකාධිකාරය මගින් සංවිධානය කළ “BestWeb.lk” තරඟාවලියේ දී වඩාත්ම සම්මානයට පාත්‍ර වූ වෙබ් අඩවිය බවට පත්වන්නට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය (parliament.lk) සමත් විය. මෙහි සම්මාන ප්‍රදානෝත්සවය 2017 අප්‍රේල් මස 4 වැනි දින කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්විණ. පාර්ලිමේන්තු වෙබ් අඩවියට සිංහල සහ දෙමළ අංශවලින් රන් සම්මානය ද, රාජ්‍ය අංශයෙන් රජත සම්මානය ද හිමි විය. එමෙන්ම රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේ ද පාර්ලිමේන්තු වෙබ් අඩවිය යි.

මෙවර තරඟාවලිය සංවිධානය කෙරුණේ 7 වැනි වරට වන අතර, පෙර වර්ෂවල දී මෙන්ම ජයග්‍රාහකයින් තෝරාගනු ලැබුවේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව, වෙබ් දත්ත ගමනාගමනය සහ විනිශ්චය මණ්ඩලයකින් ලබාදෙන ලකුණු යන සාධක සලකා බැලීමෙන් ය. සිය පරිශීලකයන්ට ලබා දෙන අන්තර්ගතයේ තත්වය, ග්‍රැෆික් හා නිර්මාණාත්මක තත්වය, කලාත්මකභාවය සහ තාක්ෂණික භාවිතාව පදනම් කරගනිමින් වෙබ් අඩවි විනිශ්චය කරනු ලැබේ. තරඟාවලිය සඳහා වෙබ් අඩවි 250 කට අධික ප්‍රමාණයක් කාණ්ඩ 9 ක් යටතේ තරඟ වැදුණි. මෙම තරඟාවලියේ දී මීට පෙර 2009, 2010, 2013, 2014 සහ 2015 යන වර්ෂවල දී ජයග්‍රහණය කිරීමට පාර්ලිමේන්තු වෙබ් අඩවිය සමත් වී තිබේ.

ජංගම යෙදුමට අමතරව පොදු ජනතාවට පාර්ලිමේන්තුව සමඟ සන්නිවේදනය කිරීමේ අතිරේක සන්නිවේදන මාර්ගයක් parliament.lk වෙබ් අඩවිය මඟින් සලසා දේ. සභාවේ කටයුතු, මන්ත්‍රීවරුන්ගේ තොරතුරු, පනත් හා පනත් කෙටුම්පත්, ප්‍රශ්න, කාරක සභා තොරතුරු, දිනදසුන, පුවත්, සංඛ්‍යා විස්තර ආදී පාර්ලිමේන්තු තොරතුරු මෙම වෙබ් අඩවිය තුළින් ලබා දෙයි. හැන්සාඩ් වාර්තාව, න්‍යාය පත්‍රය, න්‍යාය පුස්තකය, පරිපූරකය ආදී ලේඛන ද අඩවිය තුළින් බාගත කිරීමට හැකි අතර පාර්ලිමේන්තුවේ කටයුතු සජීවී ව නැරඹීමේ හැකියාව ද පවතී. 2008 වසරේ දී වෙබ් අඩවියේ සිංහල හා දෙමළ අනුවාදයන් දියත් කිරීමෙන් අනතුරුව, වෙබ් අඩවි තුන ම සමකාලිකව පවත්වා ගනිමින් පාර්ශ්වකරුවන් හට යාවත්කාලීන වූ තොරතුරු ලබා දීමට විශාල වැඩ කොටසක් මේ දක්වා සිදුකර තිබේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වූ අතර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, වසන්ත දේශප්‍රිය මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.

scroll to top