“ප්ලාස්ටික් සහල්” වැරදි මතයක්

rice.jpg

සතොස මගින් පකිස්ථානයෙන් ගෙන්වන ලද බාස්මතී සහල් පරිභෝජනයට නුසුදුසු බවට සමාජ ජාලා වෙබ් අඩවි මගින් ගෙන යන ප්‍රචාර අසත්‍යයක්

පකිස්ථානයෙන් ගෙන්වන ලද බාස්මතී සහල් විශේෂයක් පරිභෝජනයට නුසුදුසු බවත් ඒවා “ප්ලාස්ටික් සහල් “ලෙස වැරදි මතයක් සමාජය තුල ඇතිකිරීමට කිසියම් පිරිසක් සමාජ ජාලා වෙබ් අඩවි තුලින් උත්සාහකරන බව පවසන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා සතොස පෙන්වා දෙන්නේ මෙය සතොස කීර්තිනාමය විනාශ කිරීමේ අරමුනින් කිසියම් පිරිසක් ගන්නා ඉතා අසාර්ථක උත්සාහයක් බවයි.

මෙම වසරේ (2017) මැයි මස 15 වෙනිදින මෙට්‍රික් ටොන් 20 ක ප්‍රමාණයකින් යුතු මෙම බාස්මතී සහල් තොගය පකිස්ථානයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර මෙරටට ආනයනය කරනු ලබන අනෙක් සහල් මෙන් මෙම සහල් තොගයද නියමිත ක්‍රමවේදයට අනුව තත්ව පරීක්ෂාවට ලක්කර මෙරට ජනතාවගේ පරිභෝජනය සදහා සතොස අලෙවිසැල් වෙත නිකුත්කර ඇත.

සමාජ ජාලා වෙබ් අඩවි මගින් මෙම සහල් පිළිබද වැරදි මතයක් ප්‍රචාරය වීමත් සමග එම සහල් ආහාර තාක්ෂන වේදියකු මගින් පරීක්ෂණාගාරයක් තුල පිසීමට ලක් කර ඇති අතර එහිදීද මෙම සහල් මිනිස් පරිභෝජනයට සුදුසු බවට යලිත් තහවුරු වී ඇති අතර කිසිදු ආකාරයක ප්ලාස්ටික් අංශු මාත්‍රයක් හෝ අන්තර්ගත නොවන බවත් තහවුරු වී ඇත.කෙසේ නමුත් අනෙක් බාස්මතී සහල් වර්ග හා ගත් කල මෙම සහල් වර්ගය පිසීමේදී “බෙරි “ගතියෙන් තරමක් වැඩි බවක් පෙන්වන අතර එය උපයෝගී කරගනිමින් මෙම අසත්‍ය ප්‍රචාරය කිසියම් පිරිසක් විසින් සතොස කීර්තිනාමය විනාශ කිරීමේ අරමුනින් ගෙනයන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා සතොස පවසයි.

එබැවින් මෙම අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් සතොස මගින් අඩු මිලට හොදම තත්වයේ භාණ්ඩ නිරතුරුව ජනතාවට ලබාදෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා සතොස අවධාරණය කරසිටී.

scroll to top