පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය යුතුයි – ඇමති චම්පික

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පලකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා, නොවැම්බර් 27වෙනිදා ශ්‍රී ලංකාවේ මැතිවරණය පැවැත්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමසාරිස් වරයා සූදානම්ව සිටියා. බොහෝ විට ජනවාරි 25-31 ත් අතර මැතිවරණය පැවැත්වෙන බව තමයි ප්‍රකාශයට පත් වුණේ. නමුත් අභියාචනාධිකරණය විසින් කිසියම් ආකාරයක වාරණයක් මැතිවරණ කොමසාරිස්වරයාට එහෙම නැතිනම් මැතිවරණ කොමිසමට පනවා තිබෙනවා. මේ හා සම්බන්ධයෙන් නොයෙක් විවේචන විචාර පළවී තිබෙනවා. ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් මැතිවරණය කල් දමා ගැනීම සඳහා ඕනෑකමින් ක්‍රියා කරන බවට විපක්ෂයෙන් සුපුරුදු චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් කරුණු කිහිපයක් ප්‍රකාශ කළ යුතුයි.

ඉන් පළමුවැන්න අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍යය ජනතාවගේ මූලික අයිතියක්. එය පාර්ලිමේන්තුවටවත් වෙනස් කළ හැකි දෙයක් නෙමෙයි. ජනතා කැමැත්තකින් තොරව ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය වෙනස් කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා මැතිවරණ පැවැත්විය යුතුයි. නමුත් මේ මැතිවරණය කල් යන්න කාරණා කිහිපයක් මතු උනා. එයට ප්‍රධාන කාරණය වුනේ මේ මැතිවරණ ක්‍රමය පසුගිය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන සමයේ වෙනස් කිරීමට ලක්වුණා. ඒ අවස්ථාවේදීත් අලූත් ක‍්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුයි කියා යෝජනාවක් ආවත් ඒ අවස්ථාවේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ විරෝධය නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ පැරණි අනුපාත ක්‍රමයටම මැතිවරණය පැවැත්වූවා. ඇත්තටම මේ ප්‍රාදේශීය සභා ක්‍රමය හඳුන්වා දෙන්න කලින් 1991 ට කලින් පැවතුනේ ගම්සභා ක්‍රමය. එතකොට කොට්ඨාශයකින් මන්ත්‍රීවරයෙක් පත් කිරීම තමයි සිදු උනේ. ඒ අනුව යෝජිත ක‍්‍රමය උනේ 70% ක් කොට්ඨාශ ක්‍රමයටත් 30%ක් අනුපාත ක්‍රමයටත් එන ක්‍රමවේද කිහිපයකට මාරුවී යා යුතුයි කියා තමයි පාර්ලිමේන්තුව යෝජනා කළේ. නමුත් මේ ආණ්ඩුව පැමිණියාට පසු නොයෙක් පක්ෂවලින් කණ්ඩායම්වලින් චෝදනා නැගුණා මේ කොට්ඨාශ වෙන් කිරීමේදී කිසියම් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බර තබන විදිහට තමයි මේ කොට්ඨාශ වෙන්කර තිබෙන්නේ කියලා.

ඒ අනුව එවැනි චෝදනා, ප්‍රති චෝදනා භාරගෙන සාධාරණ ක්‍රමයකට කොට්ඨාශ වෙන්කිරීම සිදු වුණා පමණක් නෙමෙයි 70%-30% අතර අනුපාතය 60%-40% අතරට පත් වුණා. දැන් විවිධ අවස්ථාවල විවිධ ගැසට් නිවේදනවල අඩු පාඩු ආදිය පෙන්වා දෙමින් උසාවිවලට ගමන් කරමින් මේ ප්‍රශ්නය උසාවියේ ප්‍රශ්නයක් බවට පත් කර තිබෙනවා. එය ඇත්තටම උසාවිය යම් යම් නීතිමය ප්‍රශ්න තිබුණත් මැතිවරණය වහාම පැවැත්විය යුතු බව තමයි අපේ ස්ථාවරය. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මැතිවරණ පවත්වන දිනය ගැනම නෙමෙයි. මේ මැතිවරණ ක්‍රමය ගැන. මේ මැතිවරණ ක්‍රමයට අපිත් එක`ග උනා. ඒකට අපි ප්‍රධාන හේතුව හැටියට දැක්කේ තමන්ගේ ගමට තමන්ගේ බලප්‍රදේශයට යම් නියෝජිතයෙක් පත්වෙන්නට තිබෙන හැකියාව මේ මගින් වැඩිදියුණු වෙලා තිබීම. නමුත් දැන් මේ මැතිවරණය අවසාන වශයෙන් සම්මත වූ ආකාරය දිහාබලන විට ඒ ප්‍රාදේශීය සභාවල ස්ථාවරත්වය පිළිබඳ බලගතු ගැටළුවක් පැන නගිනවා. මොකද කිසියම් ආකාරයකට සෑම දේශපාලන පක්ෂයකටම ලැබෙන ඡන්ද ප්‍රමාණය මත ඔවුන්ට නියෝජනයක් ලැබීම මේ මගින් සහතික වී තිබෙනවා. මේ අනුව කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් පත් උනත් අවසාන වශයෙන් මෙය අනුපාත ක්‍රමයක්ම තමයි. ඒ අනුව සෑම පක්ෂයකටම තමන්ගේ ඡන්ද අනුපාතයට අනුකූලව මන්ත්‍රීවරු තෝරාපත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

එම තත්වය ගැන සිතා බලද්දී අපට පෙනී යනවා ආසන්න වශයෙන් මන්ත්‍රවරු ප්‍රමාණය දෙගුණ උනා. ආසන්න වශයෙන් 4500ක් පමණ සිටි මන්ත්‍රීවරු ප්‍රමාණය 9000 ට වැඩි වුණා. එයට ප්‍රධාන හේතුව උනේ කොට්ඨාශ ක්‍රමයෙත්, අනුපාත ක්‍රමයෙත් ඇතිකරපු වෙනසත් ඒ වගේම පිටතින් පනවපු කාන්තා අපේක්‍ෂක ප්‍රමාණය සහ මන්ත්‍රීවරු ප්‍රමාණය 25% ක් විය යුතුයි කියන යෝජනාවයි. මේ පිළිබඳව වාද විවාද කෙසේ වෙතත් මේ මගින් ස්ථාවර ප්‍රාදේශීය සභාවක් බිහි කර ගැනීමට හැකියාව ලැබෙයිද? මේ ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා. ජයග්‍රාහී පක්ෂයකට ස්ථාවර වීමට තිබූ හැකියාව මෙමගින් කිසියම් ආකාරයකට අභියෝගයකට ලක් වී තිබෙන නිසා.

විශේෂයෙන්ම අද ජර්මනියේ සිදුවෙලා තිබෙන දෙය මෙයට හොඳ උදාහරණයක්. මම කලිනුත් ප්‍රකාශ කළා, ජර්මනියේත්, ජපානයෙත් පසුගියදා මැතිවරණ පැවැත්වුණා. ජර්මනියේ පාර්ලිමේන්තුව එහෙම නැත්නම් පහළ මන්ත්‍රණ සභාවේ ආසන 598 යි. එහි පැවැත්වෙන්නේ අනුපාත ඡන්ද ක්‍රමයක්. ඒ අනුව ඇන්ජලා මර්කල් මැතිණියගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 33% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. නමුත් ඇයට ආසන හැටියට මෙවර ලැබී තිබෙන්නේ ආසන 247ක් පමණයි. ඒ වගේම අලූතෙන් මේ තර`ගයට ඉදිරිපත් වූ මුස්ලිම් විරෝධි ජර්මන් විකල්ප පක්ෂය, එහෙම නැතනම් AFD පක්ෂයට ආසන 94ක ජයග්‍රහණයක් හිමි උනා. මේ නිසාම ජර්මනියට සිදු උනා ඒ සියළු දෙනාගේම නියොජිත තත්වය තහවුරු කරන්න. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, හරිත පක්ෂය, වාමාංශික පක්ෂවල ඒ වගේම නව පක්ෂයේ, ලිබරල් පක්ෂයේ මේ ආදී පක්ෂ ගණනාවකට ඉඩ හසර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ආසන ගණන 598 සිට 709දක්වා ආසන 111කින් ඉහළ නංවන්න සිදු උනා. මෙවැනි තත්වයක් අපේ ප්‍රාදේශීය සභාවලත් තිබෙනවා. ඒ අයගේ අනුපාතය ලබාදීම සඳහා දැනට යෝජිත මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් තේරී පත්වීමේ හැකියාවකුත් නැතුවා නොවේ. එය මැතිවරණ කොමිසම විසින් තීරණය කළයුතු දෙයක්.

කෙසේ වෙතත් අද ජර්මනියේ ආණ්ඩුව පිහිටුවා ගන්න බැරි වී තිබෙනවා. 33% ක් ඡන්දය ලබාගත් මර්කල් මැතිණිය සමග සභාග ගතවීමට කිසිම පක්ෂයක් එක`ග වෙලා නැහැ. ඇයට ඇත්තටම බහුතර ආසන සංඛ්‍යාව වන 355 ලබාගැනීමට නම් ලිබරල් පක්ෂයේත්, එහෙම නැත්නම් හරිත පක්ෂයේත් එකමුතුව ලබාගත යුතුයි. ඇය සමග නැවත හවුල් ආණ්ඩු නොපිහිටවන බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැනටම ප්‍රකාශ කර තිබෙනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ජර්මන් පාර්ලිමේන්තුවේ ආසන 153 ක් තිබෙන නිසා සමාජ ප්‍රජාත්නත්‍රවාදීන් සහ ඇන්ජලා මර්කල් මැතිණියගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එකතු වුවහොත් මෙවරත් පහසුවෙන් ආණ්ඩුවක් පිහිටුවීමට පුළුවන්. නමුත් මෙවර ඔවුන්ගේ සහය ඉවත් කර ගැනීමත් සමග ජර්මනිය වියවුලකට පත්ව තිබෙනවා. කිහිප වතාවක්ම සාකච්ඡා කිරීමෙන් පසුවත් ඇන්ජලා මර්කල් මැතිණියට හරිත පක්ෂයේ හෝ ලිබරල් පක්ෂයේ සහයෝගය දිනාගැනීමට හැකි වී නැහැ. ඒ වගේම ඉස්ලාම් විරෝධි ජර්මන් විකල්ප පක්ෂය කිසිසේත්ම මර්කල් මැතිණියගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැතිව එකතු වෙන්නේ නැති බව ප්‍රකාශ කොට තිබෙනවා. මේ තත්වය යටතේ ජර්මනිය දේශපාලන වශයෙන් ඉතාම අස්ථාවර තත්වයකයි අද පවතින්නේ. ආර්ථික අතින් යුරෝපය පමණක් නෙමෙයි ලෝකයේම ස්ථාවර රටක් වූ ජර්මනිය දැන් දේශපාලන වශයෙන් අස්ථාවර තත්වයකට ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා මර්කල් මැතිණිය නැවතත් හදිසි මැතිවරණයක් කැඳවීම කරා ගමන් කරමින් තිබෙනවා. නමුත් එහි ජනාධිපතිවරයා එයට විරුද්ධයි. ඒ අනුව දැන් ජර්මනිය දේශපාලන වශයෙන් පසු බසිමින් සිටින අවස්ථාවක්. යුරෝපය එක්සත් යුරෝපයක් හැටියට පවත්වාගැනීමට ජර්මනියේ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම, දේශපාලන ස්ථාවරත්වයත් ඉතාම වැදගත්. නමුත් මේ තත්වය යටතේ ජර්මනියේ අනුපාත ඡන්ද ක්‍රමය ඉතා සක්‍රීයව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට, ස්ථාවර පාලන ගොඩනගා ගැනීමට අපහසුයි. ජර්මනිය දේශපාලන අර්බුදයක ගිලී තිබෙනවා.

මෙයට හොඳ උදාහරණයක් තමයි ජපානය. ජපානයේ කිසියම් දුරකට අනුපාත ක්‍රමයකට පත්වීම් කළත් සාතිශය බහුතර පත්වීම් සිදුවන්නේ කොට්ඨාශ ක්‍රමයට ඒ අනුව එහි හදිසි මැතිවරණයක් කැඳවපු අග්‍රාමාත්‍ය ෂින් වෝ ඇබේ ඡන්ද ලබා ගත්තේ 33% යි. නමුත් ඔහුට 65% කට වඩා පාර්ලිමේන්තු බලය හිමි උනා. පාර්ලිමේන්තුවේ 2/3 බලයම ඔහුට හිමි උනා. ඒ අනුව ස්ථාවර පාලනයක් ජපානයේ ගොඩනැගුණා කොට්ඨාශ ක්‍රමය නිසා. මෙය අපි හු`ග දෙනෙක් තේරුම් ගත යුතු දෙයක්. විශේෂයෙන්ම කොට්ඨාශ ක්‍රමය මගින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කිරීමට, ගමට, ප්‍රදේශයට නායකයෙක් ලැබෙනවා වගේම, අනුපාත ක්‍රමය මගින් සාධාරණ නියෝජනයක් ඒ ඒ පක්ෂවලට ලැබෙනවා වගේම, වැදගත් දේ අපි ආණ්ඩුවල, පාලන තන්ත‍්‍රවල ස්ථාවරත්වය ගැනත් සැලකිය යුතුයි. ප්‍රදේශීය සභා මැතිවරණ පැවැත්වුවත් ඒ ඒ පක්ෂවල කුලල් කා ගැනීම නිසා ප්‍රාදේශීය සභා පිහිටුවා ගන්නට බැරි උනොත්, සභාපතිවරු බහුතර ඡන්දයෙන් පත්කර ගන්නට බැරි උනොත් අපි ඉතාම විශාල අර්බුදයකට ගමන් කරනවා. ඒ නිසා පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම යම් තීරණයක් ගත්තත්, මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලා මිස පළාත් සභා හෝ පාර්ලිමේන්තුවේ එය වෙනස් කළ යුතු නැහැ.

මේ නිසා තමයි අපි ජාතික හෙළ උරුමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යෝජනා කළේ පාර්ලිමේන්තුවේ දී නම් අනිවාර්යයෙන්ම වැඩි ඡන්ද ලබාගන්නා පක්ෂයට විශාල වශයෙන් බලයක් නොලැබෙන තත්වයක් තුළ ස්ථාවර බහුතරයක් ලබාගැනීම සඳහා යම් බෝනස් ආසන ප්‍රමාණයක් ලබා දිය යුතු බව. බෝනස් ආසනවලට යම් යම් අය ප්‍රජාතන්ත්‍රවාදී නොවේ කියා විරුද්ධ උනත්, බෝනස් ආසන ක්‍රමයෙන් කිසියම් දුරකට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙනවා. ඒ වගේම ස්ථාවරත්වය ඊට වඩා වැඩියෙන් ස්ථාපිත වෙනවා. එම නිසා මේ පළාත් පාලන මැතිවරණය යට සැ`ගවුණු ප්‍රශ්නයක් බවට මතුවෙමින් තිබෙනවා ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය පිළිබඳ විසඳුමකට නව පනතක් ගෙනවිත් හෝ අප විසින් පියවර නොගත හොත් රට අවුලෙන් අවුලට යා හැකියි. ජර්මනිය දේශපාලන වශයෙන් අවුලෙන් අවුලට ගියත් එය ආර්ථික අතින් ස්ථාවර රටක්. නමුත් අපි ආර්ථික අතින් වශයෙනුත් ස්ථාවර රටක් නෙමෙයි. ඒ තත්වය අතින් අපේ ආර්ථිකයටත් ඉතාම දරුණු ලෙස බලපානවා. මැතිවරණ කල් තැබීම වගේම මැතිවරණ කිසියම් ආකාරයකට පැවැත්වීමෙන් පසුවත් ස්ථාවරත්වය ලැබෙන්නේ නැතිනම් එය විශාල අර්බුදයකට මුහුණ දෙන තත්වයක් වෙනවා.

එම නිසා මේ මැතිවරණය පවත්වලා, එහි ප්‍රතිඵල විශ්ලේෂණය කර සියළු දේශපාලන පක්ෂ එකතු වෙලා මේ මැතිවරණ ක්‍රමය නැවත සංශෝධනයක් කර ගත යුතුයි. ඒ වගේම පලාත් සභා මැතිවරණ ක්‍රමයෙත් මේමගින් අත්දැකීම් ලබාගෙන සංශෝදනය කළ යුතුයි. ඒ වගේම යෝජිත පාර්ලිමේන්තු ක‍්‍රමය නම් අනිවාර්යයෙන්ම ස්ථාවර ආණ්ඩු පිහිටුවන ආකාරයේ සංශෝධනයක් විය යුතු යැයි’ පැවසීය.

scroll to top