පහුගිය කාලේ නීති විරෝධී කටයුතු කළ අයට විරුද්ධව ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරනවා…

පසුගිය සමයේ රටේ නීතිය අතට ගනිමින් මාධ්‍යවේදීන් ඝාතණය කළ, අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කළ, නිකරුණේ මනුෂ්‍ය ඝාතණ සිදුකළ අයට විරුද්ධව කඩිනමින් නීතිය කි්‍රයාත්මක කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, රත්නපුර, බලංගොඩ, පඹහින්න පේ‍රද්ශයේ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අද දින (2017.11.02) එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, —අපි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා. පළමුවැනි දේ රටේ නිදහස ඇතිකරනවා කියලා. මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, පොලිස් සේවයේ රාජ්‍ය සේවයේ නිදහස අපිට එදා ඇතිකරන්න පුළුවන් වුණා 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනල්ලා. අද කවුරු පාරට බැහැලා උද්ඝෝෂණය කළත් ඒකට නිදහස දීලා තියෙන්නේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් කියන දේ අමතක කරන්න නරකයි. පහුගිය කාලේ උද්ඝෝෂණ කරන්න ආපු මිනිස්සුන්ට වෙඩි තියලා මරලා දැම්මා. ධීවර සහනාධාරය ඉවත් කරන්න එපා කියලා හලාවත මිනිස්සු පාරට බැස්සම ඇන්තනී ෆර්නෑන්ඩුට කතා කළේ තුවක්කුවෙන්. කලාපේ ළමයින්ට කතාකලේ තුවක්කුවෙන්. රොෂේන් චානක මැරිලා වැටුණා. රතුපස්වල ජලයට රසායනික ද්‍රව්‍ය එකතුවෙනවා කිව්වම කතා කළේ උණ්ඩයෙන්. මාධ්‍යවේදීන් ඝාතණය කලා. අපි ඉක්මණින් මේ දේවල්වලට සම්බන්ධ වුණු අයට නීතිය කි්‍රයාත්මක කරනවා. මේ වගේ තිබුණ රටක තමයි අද හැම කෙනෙක්ටම තමන් කැමති විදිහට දිනපතා උද්ඝෝෂණය කිරීමේ අයිතිය මේ රජය ලබාදීලා තියෙන්නේ.

අද අපිට ලෝකෙට පණිවිඩයක් දීලා තියෙනවා. අපිව හමුවීමට එන විදේශීය නියෝජීතයෝ ජනතාවගේ නිදහස වෙනුවෙන් අපි කරපු දේවල් ගැන කතාකරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කැමැත්තෙන් ඡන්දෙකට ගියෙ නෑ. 2014 මේ රට හිරවුණා. සල්ලි නෑ. කිසිම සැලකිල්ලක් නෑ. ඒ කාලයේ ආවේ ස්වාසිලන්තයේ රාජ්‍ය නායකයෝ. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව මේ රටේ තියෙනකොට විරුද්ධ පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා සහයෝගය දුන්න නිසා තමයි සාර්ථක කරගන්න පුළුවන් වුණේ. ගෝති්‍රක යුගයට යමින් හිටිය රටක් තමයි අපි 2015 වෙනස් කළේ.
අද නිදහස තහවුරු කරලා හොඳින් ජීවත්වීමේ අයිතිය ලබාදීලා තියෙනවානම් නඩු කටයුතුවල ෆයිල් හංගන්නේ නැත්නම්, මාධ්‍යවේදීන් ඝාතණය කරන්නේ නැත්නම් දූෂිත කි්‍රයා නතර කරලා තියෙනවා නම් අද අපිට තියෙන්නේ ජනතාවට සංවර්ධනය ලබාදීම.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ මැදිහත්වීම මත රු.මි 1020ක මුදල් ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතිය සදහා වෙන්විය. මෙමගින් සබරගමුව විශ්වවිද්‍යාලය, පුවක්ගහවෙල, කරගස්තලාව, මුත්තෙට්ටුවේගම හා ඉඹුල්ගම යන ප්‍රෙද්ශ සදහා පානීය ජලය ලබාදීම සිදුකරයි.

මෙම අවස්ථාවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, ආපදා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, බලංගොඩ නිදහස් පක්ෂ ආසන සංවිධායක භානු මනුප්‍රිය යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

scroll to top