පසුගිය කාලයේ වසා දැමීමට නියමිතව තිබූ යටාගර විද්‍යාලය යළි සක්‍රීය කරයි

School.jpg

රත්නපුර, නිවිතිගල, යටාගර විදුහල පසුගියදා වසා දැමීමේ අවදානමක් තිබූ පාසලකි. පාසල වසා දැමීමට ඉඩ නොදී ප්‍රදේශයේ වටිනා සම්පතක් වන මෙම පාසල ආරක්ෂා කරගැනීමේ ප්‍රථිඵලයක් ලෙස 2017 වර්ෂයේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය සදහා දරුවන් පස් දෙනෙකු පෙනී සිටි අතර, ඉන් ලකුණු 162ක් ලබාගනිමින් කිංසර ගිම්හාන පුතනුවන් ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් විය. වර්තමානයේ මෙම පාසලේ දරුවන් 12 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරයි. 1941 නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා විසින් මුල්ගල තබමින් මෙම පාසල ආරම්භ කළ අතර, රටට වැඩදායි පුද්ගලයින් රැසක් බිහිකළ පාසලක් වේ. හිටපු හමුදාපතිවරයෙකු වන ලයනල් බලගල්ල මැතිතුමා ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද්දේද මෙම පාසලෙන් වේ.
2017.10.30 දින යටාගර විදුහලට ගොස් ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් දරුවන්ට හා ඒ සදහා කැපවූ ගුරුවරුන්ට උපහාර දැක්වීමේ වැඩසටහනක් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලදී.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —මේ පාසලේ විදුහල්පතිතුමා මේ පාසල සංවර්ධනය කරන්න ගොඩක් කැපවෙනවා. මේ පාසලේ ඉතිහාසය මම දන්නවා. මම මන්ති්‍ර කෙනෙක් වෙනකොට මෙම පාසලට විදුලි බලය තිබුණේ නෑ. මම විදුලිය අරන් දුන්නම පාසලට එන්න දුන්නේ නෑ විදුලිය විවෘත කරන්න. නිවසක ඒ කටයුත්ත සිද්ධ කරනකොට ස්පීකර් දුන්නේ නෑ. මම හරි කැමැත්තෙන් ඒ දේවල් මතක් කරන්නේ. අපි කුහකකමක් වෛරයක් නැතුව අපේ රාජකාරි ඉටුකරනවා. මොකද දේශපාලනයෙන් හෝ අගමැතිකමෙන් මට පෞද්ගලිකව කරගන්න දෙයක් නැති නිසා.

මේ පාසලේ වටපිටාව හරිම සුන්දරයි. මේ වගේ පාසල් කීයද තියෙන්නේ. මේක තමයි ළමයෙක්ට ඉගෙන ගන්න තියෙන හොඳම පරිසරය. රත්නපුර අධිකරණය වෙන තැනකට ගෙනියන්න හදනකොට විනිශ්චයකාරතුමන්ලා කිව්වා ගෙනියන්න එපා කියලා. මොකද ඒ තරම්ම ස්වභාවධර්මයත් එක්ක වැඩකරනකොට මනස පිරිසිදු වෙනවා. අපේ මනස හා පැවැත්ම තියෙන්නේ පරිසරයත් එක්ක වැඩකරනකොට.

හැබැයි මේ පාසල වහන්න ගොඩක් අය උත්සහ කළා. කිසිම විදුහල්පතිවරයෙක් එන්න කැමති වුණේ නෑ. කලාප අධ්‍යක්ෂකතුමියට කතාකරලා තමයි විදුහල්පතිවරයෙක් දාගත්තේ. පළවැනි අධ්‍යාපන ඇමතිතුමා ආපු පාසලක්, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා ආපු පාසලක් කිව්වම මේ ළමයින් කොයිතරම් ආඩම්බර වෙන්න ඕනිද. හැබැයි අද පාසලේ තත්ත්වය බලන්න. මම දැන් ඉල්ලීම් කරන්න ඉන්නේ නිවිතිගල කොට්ඨාශයේ පාසල්වලට මම එනකොට නැටුම් කණ්ඩායම් එහෙම ගෙන්වන්න එපා කියලා. අපි කැමති නෑ කාලය අපතේ හරින්න. මේ ළමයින්ගේ දස්කම් අපි දැකලා තියෙනවා. කලා උළෙලවලට එන්න කිව්වොත් අපි එනවා. අපි එනකොට උත්සවය පුළුවන් තරම් කෙටි කරන්න. මම විපක්ෂයේ මන්ති්‍රවරයෙක් වුණා නම් මම මෙතනට එන්නේ නෑ. මම අද වගකිව යුතු ඇමති ධූර දරන කෙනෙක්. මම මේ ආසනය දිහා බොහොම දුකෙන් බලාගෙන හිටියා. මගේ අයියා අවුරුදු 17ක් හැමදේම කළා මේ ආසනයේ මනුස්ස වර්ගයාගේ යහපත වෙනුවෙන්. නිවිතිගල කියන නගරය මිනිස්සු දැනගත්තේ ඔහු කරපු දේවල් නිසා. නමුත් පහුගිය අවුරුදු 20තුළ මේ කොට්ඨාශයේ මානව සම්පත් කඩාවැටීම, භෞතික සම්පත් කඩාවැටීම, නීතිවිරෝධී කි්‍රයා දිහා මම බොහොම දුකෙන් බලාගෙන හිටියා. මම ඔබලගේ පස්සෙන් ඉන්නවා. ප්‍රතිපාදන ලැඛෙනකම් මම බලන් ඉන්න සූදානම් නෑ. මගේ ප්‍රියතම විෂය තමයි අධ්‍යාපනය. අපි ගරු කරන්නේ උගත්කමට. චණ්ඩිකමට, කාඩකමට අපි මිනිස්සුන්ට ගරු කරන්නේ නෑ.

මේ දරුවෝ පස්දෙනා මේ පාසලට ලොකු අභිමානයක් ගෙනවිත් තියෙනවා. ඉතාම සතුටුයි. ලොකු ගමනක් මේ මගින් මේ පාසලට ඇතිවෙලා තියෙනවා. මම මේ කොට්ඨාශයේ පාසල් ගණනාවක් මම පුද්ගලිකව මැදිහත්වෙලා හදලා තියෙනවා. අපි එකක්වත් ආණ්ඩුවෙන්ම කරනවා කියලා බලාගෙන නෑ. ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් අධ්‍යාපන ඇමතිතුමාගේත් මැදිහත්වීමෙන් අද මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් වෙලා තියෙනවා. හැම පාසලකටම මොකක් හරි දෙයක් කෙරෙනවා. එක පහ වසර පාසලක් මේක. මම උත්සහ කරනවා මේ පාසලට මට හැකි අයුරින් උපකාර කරන්න.
මේ රජයේ ප්‍රතිපත්තියක් ලෙස වසමකට එක් පාසලක් වෙන්කරන්න යෝජනාවක් තියෙනවා. එතකොට මේ ගමේ අයට පිට පාසල්වලට යන්න බෑ. මේ පාසලටම ඇතුළත් වෙන්න වෙනවා. මේවා වෙනස් වෙන්න ඕනි. අවශ්‍ය නැති තරගයක් පස්සේ දුවන එකම රටේ අපේ රට වෙන්න ඕනි. ගමේ මිනිස්සු ගමේ පාසල ආරක්ෂා කරගන්න ඕනි. කුඩා ළමයින්ට වද දෙන්න එපා ඈත පාසල්වලට දාලා. දරුවෙක් උදේම නැගිටින්න ඕනි. දරුවා පාසල් යන්න පටන් ගන්නකොටම ඔවුන්ට අධ්‍යාපනය එපා කරවලා. අම්මට අතින් එක්කගෙන ඇවිත් ඇරලවන්න පුළුවන් වටපිටාවක් ගමේ පාසලේ තියෙනවා. ඇතැම් අම්මලට නගරයට යන්නම ඕනි. ලෝකේ නැති විකාර මේ සමාජයට පුරුදු කරලා තියෙනවා.

සමහරු අහනවා අවුරුදු දෙකේ ආණ්ඩුව මොකක්ද කලේ කියලා. අපි ගොඩක් දේවල් කරලා තියෙනවා. ආපදා තත්ත්වය නිසා මිලියන 3200ක් විතර මේ දිස්ති්‍රක්කයට ආවා. ඒ කියන්නේ ආපදාවෙන් පදිංචිය වෙනස් කරන්න වුණු අයට දෙන ලක්ෂ 16ට අමතරව. මේ ලක්ෂ 32000 අපේ ගම්වල වැඩකළානම් ගොඩක් වැඩ කරන්න තිබුණා. පරම්පරා ගණනාවක් ඉඩම්වල හිටිය අයට ඒ ඉඩම් අතඇරලා යන්න සිද්ධ වුණා. මෙහේ ගංවතුර එනකොට පොළොන්නරුව පැත්තේ නියගය ආවා. නිවාස අහිමි වූ අයට කුළියට හරි ගෙයක් අරන් ඉන්න කියලා 7500ක ගෙවීමක් කළා.

අපි බලය විතරක් ඕනි කියලා වැඩකරන ජනාධිපති කෙනෙක්වත් අගමැති කෙනෙක්වත් ආණ්ඩුවක්වත් නෙවෙයි ඉන්නේ. අද දේශපාලනය මුවාවෙන් මේ රටේ ආගම ඉස්සරහට දාගෙන වැඩකරන පිරිසක් නෙවෙයි ඉන්නේ. අපේ යුතුකම අපි හරියට ඉෂ්ඨ කරනවා.

මම විදුහල්පතිතුමාගෙන් ඇහුවා මුලින්ම අවශ්‍ය මොකක්ද කියලා. සෙල්ලම් මිදුල ඕනි කිව්වා මම ඒ සඳහා කොහොමහරි ප්‍රතිපාදන සපයනවා. ලබන වසරේ ළමයින් ඇතුළත් කරනකොට සෙල්ලම් මිදුල මේ ස්ථානයේ මම හදලා දෙනවා. වැසිකිලි පද්ධතිය සඳහා රජයෙන් වෙන්වෙලා තියෙන මුදල් ගන්න පුළුවන් වුණොත් අපි ගන්නවා. එහෙම නැතිවුණොත් ඒකත් මම ඉක්මණින් හදලා දෙනවා. මොකද මේ විද්‍යාලය ගමේ අය දියුණු කරගන්න ඕනි. එකේ ඉඳන් පහට යන ළමයි උපාධිය කරන්න නෙවෙයි යන්නේ. දරුවන්ට දෙමාපියන්ගේ ආදරය සෙනෙහස කරුණාවන්තකම අවශ්‍යයි. පහේ ශිෂ්‍යත්වය ඇතැම්විට ඉදිරියේදී අහෝසිවෙයි. පහ ශිෂ්‍යත්වය කරන්නේ ළමයා නෙවෙයි අම්මයි තාත්තයි. ගොඩක් බර බෑග් එකක් කරේ පටවනවා. අර පන්තියටයි මේ පන්තියටයි යනවා. අවුරුදු 18 වෙනකොට ළමයට කොන්දේ අමාරුව. අපි 21වන ශතවර්ෂයේ ඉන්නේ. ගෝති්‍රක සමාජයකින් මිදිලා ඉන්නේ.

අපි ගෝති්‍රක යුගයකට යන්න ගිය නිසා අපිට ගොඩක් දේවල් අහිමිවුණා. ලෝකයේ අනෙක් රටවල් එක්ක බලද්දි අපි ලෝකයේ ගොඩක් පිටිපස්සෙන් ඉන්න රටක්. සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා මේ රටේ අධ්‍යාපන ඇමතිවෙලා ඉන්න කාලේ මේ රට ගොඩක් දියුණු වෙලා තිබුණද.˜ යනුවෙන් සඳහන් කළාය.

වර්තමාන විදුහල්පති කපිල නන්දන පෙරේරා මහතා, පාසල් දරුවන් හා ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට සහභාගි විය.

scroll to top