පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායකතුමන්ගේ අත්සන යෙදීම අද

Karu-4.jpg

පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායකතුමන්ගේ අත්සන යෙදීම අද (2017-08-31) දින ප:ව 1.15 ට

අද දින (2017-08-31) ප:ව 1.15 ට පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට අත්සන් තැබීමේ අවස්ථාවේදී ගරු කථානායකතුමන් දැක්වූ අදහස්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අද විශේෂ ඓතිහාසික අවස්ථාවක්. තම කොට්ඨාශයට, ප්‍රදේශයට, ආයතනයට වගකියන මනාප පොරයෙන් බැහැරව මහජන නියෝජිතයින් පත් කිරීමට හැකි වන පනතක් අද සිට බලාත්මක වනවා. සමාජයෙන් මේ කරුණට විශාල හඬක් නැගුණා. ආගමික නායකයින්, දේශපාලනඥයින් මෙන් ම සිවිල් සමාජය ද මේ ගැන දැඩි මතයක් දැරුවා. මනාප ක්‍රමය නිසා මුළු දේශපාලන සංස්කෘතිය ම විකෘති වුනා.

පලාත් පාලන පනතට ගෙන ආ මෙම සංශෝධනය සම්මත වූ මොහොතේ සිට එය කඩිනමින් ක්‍රියාත්මක භාවයට පත් කිරීමට අවශ්‍ය පියවර සම්පූර්ණ කරන ලෙස ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු බොහෝ පක්ෂ ප්‍රධානීන් වගේම මැතිවරණ කොමිෂන් සභාපතිතුමන් ඉල්ලා සිටියා. ඒ අනුව අප හැකිතරම් ඉක්මනින් ඊට අවශ්‍ය පියවර ගත්තා.මෙය සෑහෙන කාලයක් පුරා මේ සමාජය අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පියවරක්.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදි හදුනා ගන්නා අඩුපාඩු පිලිබදවත් අවබෝධයෙන් යුතුව ඉදිරි මැතිවරණවලටත් මෙය ආදේශ කළ හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මින්පසු සාමාන්‍යය ගොවියෙකුට, ගුරුවරයෙකුට මහා ධනස්කන්ධයක් නොමැති සැබෑ පරාර්ථකාමී සමාජ සේවකයෙකුට මහජනතතාවට සේවය කරන්න ඉඩ ලැබේවි.

ගමේ ජනතාව ලගට පාපැදියෙන් පයින් ගිහින් සේවය කරන ඔවුන්ට සමීප නියෝජිතයෙකු ලැබේවි. එදා පැවති එක්සත් ජාතික පෙරමුණ රජය මේ ගැන අවධානය යොමු කොට 2002 වර්ෂයේ දී තේරීම් කාරක සභාවක් යෝජනා කලා. එම උත්සාහය තවත් ශක්තිමත් කිරීම සඳහා එම කමිටුවේ සභාපතීත්‍වයට අපි එදා විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාව යෝජනා කළා. 2007 වර්ෂය වන විට යම් කිසි එකඟත්වයක් කරා ඒමට අපට හැකි වුවත් සමහර පක්‍ෂ අවසාන නිගමනයක් ලබා දුන්නේ නැහැ.

2015 ජනාධිපතිවරණයේ දී එදා ජනතාව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට හා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ප්‍රබල ජන වරමක් ලබා දුන්නා. අද ඒ ජනවරම මල් පල ගන්වන අවස්ථාවක්.

අනාගතයේ දී අපට කොට්ඨාශය නියෝජනය කිරීමට ධනය බලය නැතත් මහජන ගෞරවය හා විශ්වාසය ලබන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම මහජන සේවයට ඇතුල් වන්න පුළුවන්. මේ ආරම්භ කරන දේශපාලන ගමන පළාත් සභාවට, පාර්ලිමේන්තුවට, අරලිය ගහ මන්දිරයට හා රජ ගෙදර දක්වා යෑමට අවස්ථාව ලැබේවි. ඒ අද අපි අනාගත පරපුරට දෙන දායාදයක්.

එමෙන්ම පළාත් සභාවටත්, පාර්ලිමේන්තුවටත් මෙවැනි සංශෝධන ගෙන එමින් මෙරට අළුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන ලෙස ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා හා ඇතැම් පක්‍ෂ නායකයින්ගෙන් අප‍ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මෙම සංශෝධන ගෙන ඒමේ දී ඉතා විරල මත එකඟත්වයක් මේ අවස්ථාවාදී අප දුටුවා. ගරු ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු සියලු පක්‍ෂ නායකයින්ටත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට හා විපක්‍ෂයටත් මෙය අනුමත කර ගැනීමට විශාල උද්යෝගයක් හා උනන්දුවක් තිබුණා.

නීතිපති/, නීති කෙටුම්පත් සහ එම දෙපාර්තමේන්තු ප්‍රධානි ඇතුළු සියලු දෙනාටත් පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයත්, රජයේ මුද්‍රණාලයත් මෙම ඓතිහාසික අවස්ථාව සාර්ථක කර ගැනීමට දුන් අවස්ථාව වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

scroll to top