පලස්තීනයේ දුකට හේතුව අරාබි රටවල්වල දේශපාලන චපලත්වයයි

අද මේ කණගාටුදායක ඉරණම්වලට ලක්වී තිබෙන පලස්තීන ජනතාවගේ, බටහිර ඉවුරේ ගාසා තීරයේ සහ වෙනත් තැන්වල ඊශ‍්‍රායලය විසින් අත්පත් කර ගත් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගේ, ඛේදවාචකයට ප‍්‍රධාන වශයෙන් වගකිව යුත්තේ මේ අරාබියේ දේශපාලන චපලත්වය මිස වෙනත් දෙයක් නොවන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් අද(25) දින තම ෆේස් බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා සිය පළමු විදේශ සංචාරය ලෙස යොදා ගත්තේ සෞදි ආරබියාවයි. එහිදී ඔහු සුන්නි මුස්ලිම් රටවල් නියෝජනය කරන රටවල් 55 කට අධික නියෝජිතයින් පිරිසක් හමු වූ අතර ත‍්‍රස්තවාදය, ඉස්ලාම් මූලධර්මවාදය, ඉරාණය ආදිය පදනම් කරගත් විශේෂ දේශනයක් ද පැවැත්වුවා. ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගේ මේ ක‍්‍රියාවලිය පලස්තීන, ඊශ‍්‍රායෙල් ගැටළුව සම්බන්ධයෙන් බලපාන්නේ කෙසේ ද? ඒ වගේම මැදපෙරදිග මේ වන විට ඇති වී තිබෙන යුධමය වාතාවරණය කෙරෙහි ඔහුගේ මේ අලූත් සන්ධානය කවර ආකාරයට බලපායිද?. ඔහු සෞදි ආරාබියට ගියේ මුස්ලිම් රටවල් දිනාගැනීමේ ආකෘතියක් හැටිය ද? නොඑසේනම් ඇමරිකා එක්සත් ජනපදයේ යුධ අවි හා වෙනත් භාණ්ඩ සෞදි අරාබියට විකීණීමේ පරමාර්ථය ඇතිවද? දැනටමත් මිසයිල පද්ධති වලක්වන තාඞ් මිසයිල පද්ධතියක් ඩොලර් බිලියන 110 ක් තරම් විශාල වූ ප‍්‍රමාණයකට සෞදි ආරාබියට අලෙවි කිරීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ඔහුගේ බෑණනුවන් විසින් කටයුතු කරගෙන යනු ලබනවා. ඊට අමතරව ඩොලර් බිලියන 250 කට අධික විවිධාකාරයේ වාණිජ ගිවිසුම් රැසකට ඇමරිකා එක්සත් ජනපදයත්, සෞදියත් අත්සන් තැබුණා.

මෙහි තවත් විශේෂ කරුණක් ගැන අවධානය යොමුකළ යුතුයි. ලොව පුරා, මුස්ලිම් ජනතාව බොහෝ විට පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් හා ඊශ‍්‍රායලයට එරෙහිව කටයුතු කරනවා අපට පෙනෙනවා. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවත් ඊශ‍්‍රායලයේ තානාපති කාර්යාලයක් ඇති කිරීමට ගත් උත්සාහයේදී විශාල විරෝධයක් මුස්ලිම් ජනතාවගෙන් එල්ල උනා. අපි සාවධානව විමසා බලන විට ඊශ‍්‍රායලය කෙසේද පවතින්නේ, මේ කුඩා රට මිලියන 10 කට ආසන්න ජනතාවක් ජීවත්වන, භූගෝලීය වශයෙන් ඉතාමත්ම කුඩා රට මේ දැවැන්ත අරාබි ලෝකය තුළ පවතින්නේ කෙසේද? ඔවුන්ට වඩා ආර්ථික අතින් කිහිප ගුණයක් බලවත්, ජනගහණය අතින් අති විශාල ප‍්‍රමාණයෙන් විශාල රටවල් ගණනාවකට මුහුණ දෙමින් මේ ඊශ‍්‍රායලය පවතින්නේ කෙසේ ද කියන කාරණය අපි සලකා බැලිය යුතු වෙනවා. ඇත්තටම ඊශ‍්‍රායෙල් බිම අතීතයේ දී විවිධ ආගම්වලට මුල් වූ බිමක්. වර්තමානයේ පවතින කි‍්‍රස්තියානි, ඉස්ලාම් යන ප‍්‍රධාන ධර්මයන් දෙකටත්, යුදෙව් ආගමටත් මුල් වූ ශුද්ධ ග‍්‍රන්ථයන් හා ඇදහිිලි බොහොමයක් ආරම්භ වන්නේ වර්තමාන ඊශ‍්‍රායලයේ ජෙරුසලම, පලස්තීනය ආදිය පවතින ප‍්‍රදේශ තුළින්. එනිසා එය එක්තරා ශුද්ධ භූමියක්. විටින් විට වසර දහස් ගණනක් යුදෙව් ආගම ඇදහූ යුදෙව්වන් මේ ප‍්‍රදේශයෙන් පළවා හැරීම සාමාන්‍ය කාරණයක් උනා. යුදෙව්වන් විප‍්‍රවාසය නමින් හඳුන්වා ගන්නේ මේ මගින්. විශේෂයෙන්ම අද බොහෝ දෙනෙක් පාවිච්චි කරන ඩයස්පෝරා නැමැති වදන ගොඩනැගුනෙත් මේ ඊශ‍්‍රායෙල් ජාතිකයන් තැනින් තැනට විප‍්‍රවාස වීමේ ප‍්‍රතිඵලයක් හැටියටයි.

1800 ගණන්වල 60 භාගයේදී හීබෲ බස පිළිබඳව විශේෂ උනන්දුවක් ඇතිවිය, එසේම ඉන්පසු මේ යුදෙව්වන්ට එරෙහිව යුරෝපයේ එල්ල වූ ප‍්‍රහාරයන් පිළිබඳව විශේෂ අනුකම්පාව මත විශාල යුදෙව් ව්‍යාපාරයක්, සයෝන්වාදී ව්‍යාපාරයක් ද, යුරෝපයේ ආරම්භ උනා. යුරෝපයේ ආරම්භ වූ මේ ව්‍යාපාරයේ ප‍්‍රතිඵලය උනේ, ක‍්‍රමයෙන් පිරිස් ඊශ‍්‍රායලය නමින් හැඳින් වූ ඒ ප‍්‍රදේශයට ගොස් පදිංචිවී හීබෲ බස කතා කිරීමට පුරුදු වීමයි. ඒ අනුව 1917 දී බැල්පර් ගිවිසුම මගින් ස්වයං පාලන ප‍්‍රදේශයක් මේ යුදෙව්වන්ට ලැබුණා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන්. ඊශ‍්‍රායලට පදනම ගොඩනැගුනේ එම කි‍්‍රයාවලියෙන් පසුවයි. බි‍්‍රතාන්‍යය දෙවන ලෝක යුද්ධයෙන් පසු මැදපෙරදිගින් පසු බැස යන අවස්ථාවේදී විශේෂයෙන්ම ඊශ‍්‍රායලයේ එවකට හිටපු නායකයින් විසින් එම ස්ථානයේ රාජ්‍යයක් බිහි කරනු ලැබුවා. ඒ ළදරු ළපටි ඊශ‍්‍රායෙල් යුදෙව් රාජ්‍යයට එරෙහිව අරාබීන් අවි අරගෙන නැගී සිටියත් ඔවුන් පරාජය කර ජය ගන්නට බෙන් ගුරියන්ට සහ ඔහුගේ හමුදා නායකයා ලෙස සිටි මොෂෙඩායාන්ට හැකියාව ලැබුණා. ඊශ‍්‍රායලයේ බිහිවීමට පසුබිම ඇතිවන්නේ යුද්ධවලින් පසුවයි. ඉන්පසු 1959, 1967,1974 ආදී යුද්ධ ගණනාවකින් ඊශ‍්‍රායලය අරාබීන් පරාජය කොට මුස්ලිම් රාජ්‍යයන් පරාජය කොට තමන්ගේ රාජ්‍ය ස්ථාපිත කර ගැනීමට හැකියාව ළඟාකර ගත්තා. ඒ වගේම ඊශ‍්‍රායලය ආරක්‍ෂක අවියක් ලෙස 1956 දී ප‍්‍රංශයෙන් න්‍යෂ්ටික අවි ලබාගත් අතර ඇමරිකා එක්සත් ජනපදයෙන් එයට අවශ්‍ය කරන ඉන්ධන ලබාගෙන තිබෙන න්‍යෂ්ටික බලවතෙක්. කවදාවත් ඔවුන් න්‍යෂ්ටික බලවතෙක් කියා ප‍්‍රකාශ නොකළාට ඔවුන් පැහැදිලි න්‍යෂ්ටික බලවතෙක්. කිසිවෙක් උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන්න කතා කළාට, ඉරාණයේ න්‍යෂ්ටික ඉවත් කරන්න කතා කළාට, ඊශ‍්‍රායලයේ න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන්න කතා කරන්නේ නැහැ.

සුන්නි මුස්ලිම් බහුතරයක් සිටින අරාබි ලෝකයේ ප‍්‍රධාන නායකයා බවට පත්ව ඇත්තේ සෞදි අරාබියයි. මක්කම, මදීනාව ඇතුළු ශූද්ධෝ වූ ස්ථාන ගණනාවක් ම පිහිටා ඇත්තේ එහිය. සෞදි අරාබිය, ඊශ‍්‍රායලය සමග ඊශ‍්‍රායලට රැකවරණය දෙන බටහිර රටවල් සමග කටයුතු කරන්නේ ඇයි දැයි කියා ගැටලූවක් මතුවෙනවා. එය තමයි අද ලෝකයේ මුස්ලිම් ජනතාව පමණක් නෙමෙයි සෙසු සෑම දෙනාම ඇසිය යුතු ප‍්‍රශ්නය. සෞදි අරාබිය මේ මෑතදී සුන්නි මුස්ලිම්වරුන්ගේ යුධ සන්ධානයක් බිහි කළා. ට‍්‍රම්ප්ගේ ගමනින් බලාපොරොත්තු උනෙත් එවැනි යුධ සන්ධානයක් ඇති කිරීමයි. ඔහු ප‍්‍රකාශ කළේ නම් අයිසීස්වරුන්ට එරෙහිව මේ යුධ සන්ධානය බිහි කළ බවයි. නමුත් මෙහි ඇත්ත අරමුණ ඉරානයට පහරදීම බව බොහෝ විචාරකයින් පවසනවා. එහි ඇත්ත ප‍්‍රකාශ වෙන්නේ ඔහු ඉරානය ත‍්‍රස්තවාදී රටක් හැටියට සැලකීමයි. ඉරානය විනාශ කිරීම සඳහා ඉතාමත් තදබල ඕනෑකමකින් යුතුව සුන්නි රටවල් යුධ සන්ධානයකට, දේශපාලන සන්ධානයකට, ආර්ථික සන්ධානයකට කැඳවන සෞදි අරාබිය ඊජිප්තුව වැනි රටවල් ඊශ‍්‍රායලය සම්බන්ධයෙන් එවැනි පියවරක් අනුගමනය නොකරන්නේ මන්ද?. මේ තමයි මේ ලෝකයේ ඇති දේශපාලන උභතෝකෝටිකය. අද අපිට පෙනී යනවා ප‍්‍රධාන වශයෙන්ම සන්ධාන කිහිපයක්. ඒ තමයි මැදපෙරදිග ජීවත්වන ෂියා මුස්ලිම්වරු බහුතරයක් ජීවත්වන ප‍්‍රදේශ, රුසියාව සමග හා චීනය සමග ඉතාමත්ම සංවිධිත සම්බන්ධතාවයකින් පවතින බවයි. එහි ප‍්‍රධාන රටවන්නේ ඉරානයයි. ඉරානයත් ඓතිහාසික රටක්. පර්සියානු අධිරාජ්‍යවාදයෙන් ගලා ආපු තමන්ටම ආවේණික සංස්කෘතියක් සහිත ඉතාමත් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ජන කණ්ඩායමක් ඔවුන්. ආර්යයන්ගේ නිජබිමත් ඔවුන්. ඉරාණයට නම ලැබී තිබෙන්නේත් ඒ අනුවයි. ඔවුන් අරාබීන් නොවෙයි. සම්ප‍්‍රදායික මුසල්මානුවන් නොවෙයි ඔවුන් පසුව ෂියා, ඉස්ලාමීය නිකායේ ධර්මයට ඇදී ගිය පිරිසක්. ඒ වගේම ඉතා නිර්භීත විදිහට තමන්ගේ රටේ අනන්‍යතාවය රැක ගැනීම සඳහා බටහිර රටවල් සමග යුධ වැදුණු රටක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඊශ‍්‍රායලයේ පැවැත්ම පිළිබඳව කතා කිරීමේදී ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ජාතීන් දක්වා ඇති දායකත්වය අවධානය යොමු කළ යුතුයි. බටහිර ජාතීන් සමග අරාබි ලෝකය දක්වා ඇති දායකත්වය දිහා බලනවිට ඊශ‍්‍රායලයේ පැවැත්මට ප‍්‍රධානයෙන්ම හේතු වී තිබෙන්නේ මේ අරාබි ලෝකයේ රටවල් බව ඉතා පැහැදිලියි. අපි දන්නවා කළක් මේ ප‍්‍රදේශයේ ඊජිප්තු රටේ බලයට පත් වූ ගමල් අබ්දුල් නසර්, ඒ වගේම ඔහුගේ හමුදාමය නායකත්වය සමග ඒ ආදර්ශයෙන් ලිබියාවේ නායකත්වයට පත් වූ මුවම්මර් ගඩාපි, ඒ වගේම ඉරාකයේ බලයට පත් වූ සදාම් හුසේන් ඇතුළු මේ සියළු දෙනාම බාත් සමාජවාදී ව්‍යාපාරය නම් ව්‍යාපාරයක් හදලා ඉස්ලාමීය අංගෝපාංගවලට වඩා සමාජවාදී දේශපේ‍්‍රමී අදහස්වලින් සන්නද්ධ උනා. මේ පිරිස් ඊශ‍්‍රායලයට එරෙහිව සටන් කළ බව ඇත්තයි. නමුත් එදා සිටම සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය, ඒ වගේම අනෙකුත් ධනවත් අරාබි රටවල් කිසිම අවස්ථාවක ඊශ‍්‍රායලය සමග ගැටීමකට ගොස් නොමැති බව පෙනී යනවා. වර්තමානයේ තිබෙන තත්වය නම් ඉරානය කෙරෙහි දක්වන විරෝධය ඊශ‍්‍රායලය සම්බන්ධයෙන් ඔවුන් දක්වන්නේ නැතිබවයි. එනිසා මේ ලෝකයේ මුස්ලිම්වරු අන් රටවල්වලට ඊශ‍්‍රායලය සමග ගණුදෙනු කිරීමට විරෝධය දැක්වීමට කලින් තමන්ගේ පදනම, තමන්ගේ මූලධර්මාත්මක රටවල් සම්බන්ධයෙන් ඊට වඩා දැඩි පියවර ගත යුතු වෙනවා.

මේ සෑම කි‍්‍රයාවලියක් තුළින්ම පෙනී යන්නේ දේශපාලන හා ආගමික චපලත්වයයි. ලංකාව වැනි පොඩි රටවල් ඊශ‍්‍රායලය සමග ගණුදෙනු කරද්දී, එය දැවැන්ත මුස්ලිම් විරෝධයක්, පලස්තීන විරෝධයක් ලෙස පෙන්වන පිරිස් උත්සාහ දරණවා. නමුත් ඊශ‍්‍රායලය සමග රහසේ ගණුදෙනු කරන, ඊශ‍්‍රායලය සමග විවෘතව ගණුදෙනු කරන රටවල් සමග පවත්වන, දේශපාලන, ආර්ථික, යුධ සබඳතා පිළිබඳව නිහඬව සිටීම ඛේදවාචකයක්. පලස්තීන ජනතාවට සිදුව ඇත්තේ ඛේදවාචකයක්. ඒ පලස්තීනයේ ජනතාවට රටතුළ ජීවත්වෙන්න, පාලනය ගෙනයාමේ අයිතියක් පවතිනවා. ඒ වගේම අදවන විට ඊශ‍්‍රායලය එතනින් ඉවත් කර දැමීම කිසිවෙකුට කළ හැකි නෙවෙයි. විශේෂයෙන්ම ඊශ‍්‍රායලය ලෝකයට විශාල ආදර්යක් දී තිබෙනවා නව නිර්මාණ පැත්තෙන්. ඇමරිකා එක්සත් ජනපදය, චීනය වැනි රටවල්වලට නව නිර්මාණ සපයන ප‍්‍රධානතම මධ්‍යස්ථානයක් බවට පත්වී තිබෙන්නේ ඊශ‍්‍රායලයයි. තවත් මෙවැනි රාජ්‍යයක් තිබෙනවා නම් ඒ ජර්මනියයි. ඇත්තටම අතීතයේ දී යුදෙව්වන් හා හිට්ලර් අතර ඇති වූ ගැටුමට හේතු භූත වුණෙත් නවීන තාක්ෂණය, නව නිර්මාණ හා මූල්‍යමය ක්‍ෂෙත‍්‍රයේ ජර්මානුවන් හා යුදෙව්වන් අතර ඇති වූ ගැටුමයි. ඒ වගේම අතීතයේ ජීවත් වූ බොහෝ දාර්ශනිකයන්, විද්‍යාඥයින්, ඇල්බර්ට් අයිස්ටයින්ගේ සිට වී අයි ලෙනින්, ට්‍රොස්කි දක්වා බොහෝ දෙනෙක් යුදෙව් සම්භවයක් තිබෙන අය. ඒ නිසා මේ පිරිස් සම්බන්ධයෙන් යුදෙව්වන්ගේ සමාජ ආර්ථික බලපෑම ලෝකය පුරා ඔවුන්ගේ ජනගහණයට වඩා කිහිප ගුණයක් විශාල ක‍්‍රමවේදයක්. මෙහීදී ඊශ‍්‍රායලය පිළිබඳව අප ගරුත්වයෙන් සැලකිය යුතු අතර, පලස්තීනය සම්බන්ධයෙන් අපේ දයානුකම්පාවක් පැවැතිය යුතුයි.

scroll to top