පද්මාවතී ඉන්දියාව ගිනි තබයි… – ඇමති චම්පික

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පලකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපේ රටේ මීට දශක 4 කට 5කට පෙර ඉතා ජනප‍්‍රිය ගීතයක් තමයි, දැක්කොත් පද්මාවතී ගීතය. මේ ගීතය පදනම් කර ගන්න පද්මාවතී බිසවගේ කතාව ඒ වෙනුවෙන් නිර්මාණය වූ මහා සිනමා නිර්මාණය අද ඉන්දියාව ගිනි තබනා මට්ටමේ මහා ජාතිවාදී ගැටළුවකට මුල් වෙලා තිබෙනවා. පද්මාවතී රැජින පිළිබඳව මහා චිත‍්‍රපට කතාවක් සංජය බන්සාලි විසින් අධ්‍යක්‍ෂණය කොට ඉදිරිපත් කර තිබෙනවා. එහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ චිරප‍්‍රසිද්ධ නිළි දීපිකා පදුකෝන්. සංජය බන්සාලි මීට ප‍්‍රථම විවිධ ජාත්‍යන්තර ජාතික සම්මාන ගණනාවක් හිමිකරගත් ප‍්‍රකට දේව්දාස් සිනමා සිත්තමේත් ප‍්‍රධාන අධ්‍යක්‍ෂකවරයා. ඔහු මෙවැනි ඓතිහාසික පුරාවෘත්ත ගණනාවක් නිර්මාණය කොට තිබෙනවා. මේ තත්වය හමුවේ ඉන්දියාවේ හින්දු භක්තිකයින්, විශේෂයෙන්ම මේ පිළිබඳව සංවිධානාත්මකව කටයුතු කරන හින්දු මූලධර්මවාදී ව්‍යාපාර මේ චිත‍්‍රපටය තහනම් කරන ලෙස නියෝග කර තිබෙනවා. එමෙන්ම මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළහොත් චිත‍්‍රපට ශාලා ගිනිතබන බවට ඉන්දියාවෙත් ඒ වගේම එංගලන්තයේත් ඔවුන්ගෙ තර්ජන එල්ල වී තිබෙනවා. මේ තත්වය හමුවේ ඉන්දීය බලධාරීන් රාජස්ථාන් ප‍්‍රාන්තයේ, ගුජරාට් ප‍්‍රාන්තයේ මෙම චිත‍්‍රපටය පෙන්වීම දැනටමත් තහනම් කර තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසූ විට චිත‍්‍රපටය තහනම් කිරීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් චිත‍්‍රපටයට දායක වූ බන්සාලි සහ දීපිකා පදුකෝන් යන ප‍්‍රධාන චරිත දෙක අධ්‍යක්‍ෂකවරයා සහ ප‍්‍රධාන නිලිය ඝාතනය කරන්නෙකුට ඉන්දීය රුපියල් කෝටි 10ක් ලබාදෙන බව ආණ්ඩුපක්ෂයේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයෙක් ප‍්‍රකාශ කිරීමත් සමගම රටම බරපතල සංවාදයකට විවාදයකට ලක්ව තිබෙනවා.

නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාගේ දේශපාලන පොරපිටිය ගුජරාටය. ඔහු එහි 3 වරක් එක දිගට මහඇමති ධූරයට පත් වුණා. ඔහු එහිදී පෙන්වූ ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ දියුණුව, ඔහුට ඉන්දියාවේ අගමැතිධූරය දක්වා යෑමට විශාල ආලෝකයක් උනා. ඒ වගේම ගුජරාටය ඉන්දියාවේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුගේත් මහත්මා ගාන්ධිගේත්, පර්දාර් පඨෙල්ගේත් නිජබිමක්. මේ අනුව ගුජරාඨයේ පැවැත්වෙන මැතිවරණය මෙවර තේමා වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සහ කොන්ග‍්‍රසය අතර සටනකට වඩා පද්මාවතී සිනමා වෘත්තාන්තය පිළිබඳ ගැටුමක් බවට. මේ නිසා බොහෝ දෙනෙක් ඡන්දය ජයග‍්‍රහණය කිරීම සඳහා පද්මාවතී සිනමා කෘතියට එරෙහිව හින්දු ජාතිකවාදය ඇවිලවීමට ආණ්ඩුවේම ඇතැම් පිරිස් කි‍්‍රයාකරනා බවට චෝදනාවකුත් එල්ල වී තිබෙනවා.

පද්මාවතී මේ සිනමා සිත්තමට පදනම් උනේ මොහොමඩ් ජයසී නම් මුස්ලිම් සූපී ගීත නාටක කරුවෙක් වගේම රචකයෙක් කි‍්‍ර.ව. 1543 දී කරන ලද කාව්‍ය නිර්මාණයක් නිසයි. මේ කාව්‍යය ඉන්දියාවේ මා කාව්‍යයක් ලෙස පිළිගැනීමට ලක්ව නැතත් මේ කාව්‍යය නිර්මාණය කළ පුද්ගලයා මුස්ලිම් සූපි දහම අදහන පුද්ගලයෙකු වීමත් ඔහු එවැනි නිර්මාණ ගණනාවක් කර තිබීමත්, ඔහුගේ කාව්‍ය නිර්මාණයන් ඉන්දියාවේ විශාල භාෂා ගණනකට පරිවර්ථනය වීමත් නිසා ඒ වගේම මේ සම්බන්ධයෙන් ඇති වූ හින්දු ආගමිකයන්ගේ බලගතු විශ්වාසයන් මේ තුළ ස්ථාපිත වීම නිසාත් මේ කාව්‍ය අතිශයින් ප‍්‍රචලිත උනා. මේ කාව්‍යයට අනුව පද්මාවතී අන් කවරකුවත් නොවෙයි මේ සිංහල රාජධානියෙන් ඉන්දියාවේ චිටොර්හි රජකුමරෙක් වන රට්න්සිං විසින් පාවා ගන්නා ලද කාන්තාවක්. ඒ අනුව මේ පද්මාවතී ශ‍්‍රී ලංකාවේ රැජිනක්. පොලොන්නරු යුගයේ අග භාගයේදී ශ‍්‍රී ලංකාවේ කිසියම් ප‍්‍රාදේශීය රාජධානියකට හෝ ප‍්‍රධාන රාජධානියට අයත් වූ ප‍්‍රදේශයක ජීවත් වූ රජකුමරියක්. ඇයගේ රූප සම්පත්තිය පිළිබඳ වෙළඳුන් ඒ වගේම වෙනත් විචාරකයින්ගේ කටකතා ප‍්‍රවෘත්ති පැතිරී යාම නිසා. මේ කතාවට අනුව නම් ඒ කටකතාව ප‍්‍රකාශ කර ඇත්තේ ඉතාම චතුර ලෙස ලෙස කතා කළ හැකි හිරාමන් නැමැති ගිරවෙක්. කෙසේ හෝ රට්න් සිං ඉන්දියාවේ චිටොර් හි සිට වර්තමානයේ රාජස්ථාන් ප‍්‍රදේශයේ, ඉන්දියාවේ වයඹ දිග තොටුපලක සිට ශ‍්‍රී ලංකාවට පැමිණියා. පැමිණිලා ශ‍්‍රී ලංකාවේ පද්මාවතීගේ පියා ලෙස හඳුන්වන ගාන්ධර්ව නම් රජතුමාගෙන් පද්මාවතී ඉල්ලා සිටිනවා. ඔහු ඉන්දියාවේ ප‍්‍රබල රජෙක් බව හෙළි වූ විට පද්මාවතීව ඔහුට පාවා දෙනවා. ඒ අනුව පද්මාවතී පමණක් නෙමෙයි රට්න් සිං සමග මෙරටට පැමිණෙන 16,000 ක් පිරිසට කාන්තාවන් 16,000 ක් පාවා දුන් බව කියැවෙනවා. කෙසේ වෙතත් අවසානයේ ඉන්දියාව බලා ගමන් කොට ජීවිත ගලවා ගැනීමට මහසයුරේ කරන ලද විශාල කුණාටුවට මුහුණ දීමෙන් පසුව ජීවිත ගලවා ගැනීමට හැකිවන්නේ රට්න් සිංට හා පද්මාවතීට පමණයි.

පද්මාවතී රට්න් සිංගේ ප‍්‍රධාන මහේෂිකාව බවට පත් උනාට, ඒ රජ මාලිගයේ තවත් මහේෂිකාවක් ජීවත්වනවා. ඇය නාගමතී. ඒ අනුව නාගමතී හා පද්මාවතී අතර කිසියම් ආකාරයක අරගලයක් පැතිරී ගිය බවත් නමුත් පද්මාවතීගේ රූපය පිළිබඳව වශී වූ විවිද රජවරුන්, විවිධ පිරිස් අතර ඇගේ රූපකාය පිළිබඳ විශාල ආන්දෝලනාත්මක කි‍්‍රයාවලියක් ඇති වූ බවත් කියැවෙනවා. මෙයින් විශාල වශයෙන්ම කුල්මත්වන පුද්ගලයා, දිල්ලි සුල්තාන් අලව්දීන්. අලව්දීන් එක්තරා යුගයක ඉන්දියාවේ මහා බලපරාක‍්‍රමයක් පලකොට පවත්වාගෙන ගිය මෝගල් අධිරාජ්‍යයේ කොටස් කරුවෙක්. ඔහු තුර්කි ජාතිකයෙක් බව කියැවෙනවා. අලව්දීන් මේ පද්මාවතීගේ රූපකාය පිළිබඳව වශී වීමෙන් පසු රටන් සිංගේ රාජධානිය වට කිරීමට තීරණය කළා. ඒ අනුව චිටෝර් වරාය හා බලකොටුව රටන් සිංගේ රාජධානිය වටකොට පහරදීමට අලව්දීන් ඉදිරිපත් උනා. ඒ කි‍්‍ර.ව. 1303 දී. මේ සටනින් රටන් සිං පරාජයට පත් වූනා. අලව්දීන් අතට පත්වනවාට වඩා තම සැමියා වෙනුවෙන් ජීවිත පූජා කිරීම ඉතාමත්ම වැදගත් කොට සැලකූ, සතිපූජා පුණ්‍යකර්මයක් ලෙස සැලකූ පද්මාවතී ඔහුගේ සොහොනට පැන දිවි පූජා කළා. ඇය සමගම නාගමතීත් ජීවිත පූජා කළ බව කියැවෙනවා. මෙන්න මේ ස්වාමියා වෙනුවෙන් සතිපූජා කරන, දිවි පූජා කරන හින්දු චාරිත‍්‍රය ඉහළින්ම ඇගයූ පතිදම රැකූ කන්තාවක්, සීතාවක් ලෙස ඒ අනුව පද්මාවතීත් ඉතිහාසට එක් වුණා. මේ කතාව හින්දුන්ගේ හදවතට මෙතරම්ම කිට්ටු වූ පුරාවෘත්තයක් වුනේ පද්මාවතීගේ රූපකාය නිසා පමණක් නෙමෙයි පද්මාවතීගේ සතිපූජා පින්කමත්, ඇය සිය සැමියාට දැක්වූ අසීමිත බන්ධනයත්. කැපකිරීමත් නිසයි. සතිපූජාව ඉංග‍්‍රීසින් පැමිණ තහනම් කරන තෙක් ඉන්දියාවේ බලපැවැත්වූ කි‍්‍රයාවලියක් බවට අපි සියළු දෙනාම දත යුතුයි.

දැන් කුමක්ද සිදුවී තිබෙන්නේ ඉතිහාසඥයින් වාර්තා කරන අන්දමට විවිධ ඉතිහාසඥයින් මේ ඉතිහාස කතාව ලියා තිබෙනවා. ඉන්දියාවේ සමාන්‍යයෙන් ඉතිහාසය ලියා තැබීම පිළිබඳව දුර්වල රටක්. ඉන්දීය ඉතිහාසය පවා මතු උනේ ශ‍්‍රී ලංකාවේ මහා වංශය නිසා. නමුත් මේ 1303 දී රට්න් සිංගේ සේනාංක පරාජය කිරීමට අලව්දීන් එහි ගිය බව ඉතාම පැහැදිලි ඓතිහාසික කරුණක්. නමුත් බොහෝ ඉතිහාසඥයින් පවසන්නේ පද්මාවතී හෝ මේ සතිපූජා කි‍්‍රයාවලිය ගැන එතරම් පැහැදිලි ඓතිහාසික තත්වයක් ඇති වී නැති බවයි. වසර 200 ක් පසුව තමයි මේ ගීත කාව්‍යය පද්මාවතී ගැන ලියැවෙන්නේ. ඉන්පසු විවිධ බෙන්ගලි බසින් බෙන්ගලි රාජ්‍යයේ කල්කටාවේ, ඒ වගේම ඉංග‍්‍රීසින්, ගුජරාඨයේ නොයෙක් ස්ථානවල මේ පිළිබඳ කාව්‍යය ඇතිවී තිබෙනවා. මේ කාව්‍යය සියල්ලෙන්ම පද්මාවතී සිංහල රැජිනක් බවත්, ඇය සතිපූජා කළ බවත්, ස්ථිරසාරව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා තමයි වසර 400 ක පමණ කාලයක් 16 වන සියවසේ සිට 20 වන සියවස දක්වා කාලය තුළ මේ පද්මාවතී ගීත කාව්‍යය විවිධ භාෂාවලට නැංවෙමින් හින්දු ඉන්දීය ජනතාවගේ හදවත් තුළට මෙතරම් කාවැදුනේ. මෙය ලියා තිබෙන්නේ සූපි මුස්ලිම් කාව්‍යයකයෙකු බව අමතක නොකළ යුතු කාරණයක්.

දැන් කුමක්ද සිදුවී තිබෙන්නේ, දැන් හින්දුන්ගේ තර්කය මේ පද්මාවතී මහා සිනමා සිත්තම මගින් ඉන්දියාවේ මුස්ලිම්වරු, විශේෂයෙන්ම මෝගල්වරු විසින් ගෙනගිය හින්දු සමූල ඝාතනය, රාජධානි යටපත් කර ගැනීම, ඒ වගේම ඉන්දියාව තුළ නොයෙක් ආකාරයේ ඔවුන්ගේ සොහොන් කොත් මහා පරිමාණයෙන් ගොඩනැගීම ආදී ක‍්‍රියාවලිය පේ‍්‍රම බන්ධනයකට යටපත් කිරීමට යන බවයි. ඉන්දියාව සූරාකමින් හින්දුන්ගේ ආගම් තහනම් කරමින්, ඉස්ලාම් ව්‍යාප්තවාදය සිදු කළ පිරිස් පේ‍්‍රමනීය චරිත ලෙස ඉහළට ගැනීමට මේ චිත‍්‍රපටය කි‍්‍රයාකොට ඇති බවත් සිදුකළ සමූහ ඝාතන හා අනෙකුත් කි‍්‍රයා මෙයින් යටපත් කොට ඇති බවටත් චෝදනා නැගෙනවා. මේ චෝදනාවම ටාජ් මහලට ඇති වුණා. ටාජ් මහල මෝගල් අධිරාජ්‍යයෙකු විසින් සිය බිරිඳ වෙනුවෙන් බිරිඳගේ මල ශෝකයෙන් ගොඩනගපු සොහොනක්. ඇත්තටම දිල්ලියේ තිබෙන බොහෝ ඉහළ ගනයේ මෝගල් යුගයේ වාස්තු විද්‍යා නිර්මාණය බොහොමයක් ඉස්ලාම් ආගමට සම්බන්ධ රජවරුන්ගේ හෝ බිරින්දෑවරුන්ගේ සොහොන්. ඒ නිසා තමයි උත්තර ප‍්‍රදේශයේ මහඇමති ධූරය, භාරතීය පක්ෂයේ මහඇමතිතුමා මේ ටාජ් මහල ජාතික වස්තුවකට වඩා ඉස්ලාම් ආගමේ පෞර්ශය ඒ වගේම ඔවුන්ගේ රාජ ඓශ්චර්යට පෙන්වන කාර්යයක් කොට සලකලා ඒක ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක, එහෙම නැත්නම් සංචාරකමය වශයෙන් වැදගත් ස්ථානයක් නොවන බවට ප‍්‍රකාශ කළේ. දැන් මේ ගැටුම ඉන්දියාව පුරාම පැතිරී යමින් තිබෙනවා.

කෙසේ වෙතත් මේ මගින් කරුණු කිහිිපයක් අනාවරණය වෙනවා. ඒ තමයි සමාජය කොතරම් දියුණු වෙමින් ඉදිරියට ගියත් ඉන්දීය සමාජය තවමත් තමන්ගේ පැරණි ආකල්පවලින් ඉවත් වීමට සූදානම් නැති බව. මේ නිසා පද්මාවතී වැනි සිනමා කෘතියක් හා ඒ වෙනුවෙන් මරණ දණ්ඩනය නියම කිරීම ගමන් කිරීම තුලින් පෙනී යන්නේ සල්මන් රුෂ්ඞී සම්බන්ධයෙන් ඉස්ලාමීය මූලධර්මවාදීන් අනුගමන කළ කි‍්‍රයාදාමය මයි. ඇතැම්විට මේ සිනමා කෘති කරන පුද්ගලයින්ගේ මනස, ඔවුන් ඇතැම්විට ලෞකික වාදීන්. ඒ නිසා ඔවුන් ආගමික වශයෙන් දක්වන පුද්ගලයින්ගේ සංවේදීතාවයන් නොසලකා යම් යම් කි‍්‍රයාදාමයන් ඉටු කරනවා. ඔවුන් හිතනවා විශිෂ්ඨ ගනයේ කලා කෘතින් කරනවා කියා. නමුත් මෙමගින් ඇතැම් ආගමික වශයෙන් තිබෙන පුද්ගලයින්ගේ සංවේදී පිළිගැනීම, සංවේදී භක්තිවාදයන්වලට අභියෝග එල්ලවන බව ඔවුන් දැනගත යුතුයි. අප ජීවත්වන්නේ එවැනි සමාජයකයි.

ඒ වගේම ඉන්දියාව මේ අතින් ඉතාම ආන්තික සමාජයක්. කි‍්‍රකට් ක‍්‍රීඩාවෙන් යම් පරාජයක් අත්පත් වූ විට තමන් වීරයින් ලෙස සලකන කි‍්‍රකට් ක‍්‍රීඩකයින්ට පහර දෙන්න. ඒ වගේම තමන් පිළිගත් කි‍්‍රකට් ක‍්‍රීඩකයින්ගේ දේවාල තනන්න. සිනමා නළු නිලියන්ගේ දේවාල තනන්න තරම් බොහොම භක්තිවාදී රටක් ඉන්දියාව. එය ඉන්දියාවේ පසුගාමීත්වය හැටියට කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. නමුත් මේ සංවේදී තාවයන් වටහා ගත යුතුයි. අනෙක් පැත්තෙන් කලා නිර්මාණවලට නිදහස පිළිබඳව, කලා නිර්මාණයක් කලා නිර්මාණයක් ලෙස භුක්ති විදීම පිළිබඳව සෑම කලා නිර්මාණ කරුවෙක් වෙනුවෙන්ම පෙනී සිටිය යුතු කාලයක් එළඹ තිබෙනවා. මොකද කලා නිර්මාණවලදී ඉතිහාසය ප‍්‍රතිරූපනය කරනවාට අමතරව නිර්මාණාත්මක කි‍්‍රයාවලියකුත් සිදුවෙමින් පවතින නිසා. ඒ වගේම මේ මගින් භාරතීය ජනතා පක්ෂයේ කි‍්‍රයාදාමය පිළිබඳව අලූත් මානයකුත් එළිදරව් වී තිබෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කළා නරේන්ද්‍ර මෝඩි අගමැති තුමා බලයට පැමිණි විට ඉන්දියාවේ ආර්ථික වර්ධනය ඉතාම වේගයෙන් ඉහළට යයි කියල. සමහරු ප‍්‍රකාශ කළා ඉන්දියාව චීනයත් ඉක්මවා යන ආර්ථික වර්ධනයක් ලබා ගනියි කියලා. නමුත් ඉන්දියාවේ පහුගියකාලයේ ඇති වූ ආර්ථික වර්ධන වේගය දිහා බලන විට මන්මෝහං සිං විසින් ඇතිකරපු ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඉදිරියට යනවාට වඩා පසු පසට යාමක් සිදුව තිබෙන බවයි ප‍්‍රකාශ වෙන්නේ.

විශේෂයෙන්ම හින්දු අන්තවාදී පිරිස් කැබිනට්ටුව තුළත්, ප‍්‍රාන්ත පාලනය තුලත් ශක්තිමත්වීම විසින් මේ දුර්වලතාවය එළඹුන බව ලිබරල්වාදීන්ගේ චෝදනාවයි. ඒ වගේම හින්දුවාදීන්ගේ චෝදනාව ලිබරල්වාදීන් තමන්ගේ සංස්කෘතික ආත්මය විනාශ කොට ඉන්දියාවේ ආර්ථිකය ලෞකිකවාදයක් කරා ගමන් කරමින් තිබෙන බවයි. මේ ඉන්දියාව පුරාම විවාදයට ලක්වූ කාරණයක්. ගාන්ධිතුමාගේ ගැමි ගොවි ඒ වගේම ස්වයං ආරක්‍ෂාකාරී, ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමය, මුල පටන්ම විවේචනය ලක්වුණා. ගාන්ධි කාර්මීකරණයට එරෙහි පුද්ගලයෙක්. ඉන්දියාව දියුණු වෙන්නම නම් කාර්මීකරණය විය යුතුයි කියන මතය මතුවුණා. නේරු ඉන්දියාව කාර්මීකරණය කරා. ඒ කාර්මීකරණය කළේ ගාන්ධිවාදයට පිටව යමින්. නමුත් ඔහු කාර්මීකරණය කළේ රජය මැදිහත්වී කරන ලද මහාපරිමාණ වානේ ක්‍ෂෙත‍්‍රයේ වේවා, විදුලබල ක්‍ෂෙත‍්‍රයේ වේවා, ගල් අඟුරු ක්‍ෂෙත‍්‍රයේ වේවා, ඒ වගේම දුම්රිය ක්‍ෂෙත‍්‍රයේ වේවා, විශාල රාජ්‍ය ආයෝජනයක් මගින්. මේ රාජ්‍ය ආයෝජන ඉතාම අකාර්යක්‍ෂමයි. ඉන්දියාවේ ව්‍යාපාරික පන්තිය නේරුගේ කි‍්‍රයාවලිය තුළ මියගියාය කියන චෝදනාව ඔහුට එල්ල උනා. ලාල් බහදූර් ශාස්තී‍්‍ර නේරුගෙන් පසු ඉන්දියාව ලිබරල් කරණය කිරීමට උත්සාහ දැරුවත් ඔහුට වැඩිකලක් ඉන්දියාව පාලනය කිරීමට නොහැකි වීම නිසා එය සිදු කරන්න බැරි උනා. ඉන්පසු 1978 මොරාඞ් දේසායි පැමිණ උත්සාහ දැරුවත් එයත් සාර්ථක උනේ නැහැ. සාර්ථකව ඉන්දියාවේ ලිබරල් ආර්ථික ගෙනආවේ නරසිංහ රා ඕ යුගයේ. නරසිංහ රා ඕ සහ ඔහුගේ මුදල් ඇමති ලෙස කි‍්‍රයා කළ මන් මෝහං සිං.

දැන් එම ලිබරල් කරණය ආපසු යාමක් භාරතීය ජනතා පක්ෂය යටතේ සිදුවන බව තමයි ලිබරල්වාදීන්ගේ චෝදනාව. කෙසෙත් වෙතත් ඉන්දියාව ආර්ථික අතින් ඉදිරියට යන්න නම් ඔවුන්ගේ අතීතයේ ඇතැම් සීමාකාරී සංස්කෘතික කාරණාවලට සමුදිය යුතුවෙනවා. විශේෂයෙන්ම කුලවාදය, ඒ වගේම කුල ක‍්‍රමය මත පදනම්කර ගත් කෝටා ක‍්‍රමය, ඒ පදනම් කර ගත් දේශපාලනය. අත්‍යන්ත වශයෙන් පවතින ප‍්‍රාන්තවල බෙදුම්වාදී ප‍්‍රවණතා, රටේ ප‍්‍රාන්ත 14ක් ගිලගෙන තිබෙන මා ඕවාදී කැරැල්ල. ඒ වගේම පාකිස්ථානය සමග තිබෙන ගැටුම්, මේ සියල්ල මගින් ඉන්දියාව තනි රටක් ලෙස ආර්ථික වශයෙන් ශක්තිමත්ව ගොඩනැගීමට තිබෙන බාධාවල්. මීට සමාන, මීට වඩා බරපතල ප‍්‍රශ්න ශ‍්‍රී ලංකාවේත් නැතුවා නෙමෙයි නමුත් ඉන්දියාවේ තරම් සංස්කෘතික පසුගාමීත්වයක් ශ‍්‍රී ලංකාව තුළ නැති බව බොහෝ විචාරකයින් පිළිගන්නවා.

කෙසේ වෙතත් මේ මේ පද්මාවතී කි‍්‍රයාවලියෙන් පෙනී යන්නේ එක් වැදගත් කාරණයක්. ඒ තමයි කොතරම් සමාජයන් දියුණු වුනත්, කොතරම් සාමාජයන් තමන් ලෞකික යැයි කීවත් පැරණි සම්ප‍්‍රදායන්, පැරණි විශ්වාසයන්, පැරණි වශයෙන් තිබෙන භක්තිවන්තකම් ලේසියෙන් ආපසු හැරවීමට නොහැකි බවයි. ඒ නිසා මේවා ඉතා සංවේදීව නිර්මාණය කිරීම කලාකරුවන්ගේත් වගකීම වෙනවා. ඒ වගේම කලා නිර්මාණවල නිර්මාණශීලීත්වය ආගමික මතවාදවලින් කෙලෙසා ගත යුතුත් නැහැ. මේ අතර සමබරතාවයක් ඇතිකර ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට හැකිවෙයි ද? නේරු ඇතිකලා යැයි කියන ලෞකික ඉන්දියාව තවදුරටත් වලංගුද? මේ සියළු ප‍්‍රශ්නවලට පිළිතුරුත් සමග ගුජරාඨයේ මැතිවරණය භාරතීය ජනතා පක්ෂයේ ජයග‍්‍රහනයෙන් කෙලවර උනත් ඊ ළඟ වතාවේ මෝඩි මහතාට පහසු ජයග‍්‍රහනයක් 2018 දී ඉන්දීය මහා මැතිවරණයෙන් ලැබෙයිද? මේ සියළු ප‍්‍රශ්න දැන් ඉන්දියාව ඉදිරියේ තිබෙනවා. බොහෝ ඉන්දීය ප‍්‍රාන්ත හරක් මස් භාවිතයට ගැනීම තහනම් කොට තිබෙනවා. නමුත් ඉන්දියාව ලෝකයේ ප‍්‍රධානම හරක් මස් අපනයන කරන රට බවත් අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම හලාල් මස් පිළිබඳව ලෝකයේ ප‍්‍රධානම රටවල් තුනෙන් එකක් තමයි බ‍්‍රසීලය හා ඕස්ටේ‍්‍රලියාව හැරුණු විට ඉන්දියාව.

මේ ආකාරයට යම් යම් ආගමික සංකල්ප, ආගමික කි‍්‍රයාදාමයන් ඉදිරියට ගැනීම නිසා ඉන්දියාවේ ආර්ථීක වර්ධනයට, ඉන්දියාවේ ලෝක පිළිගැනීමට බාධාවක් වෙයි යන බිය දැන් පැතිරී තිබෙනවා. මෙය ඉදිරි මහ මැතිවරණයේදී තීරක ප‍්‍රශ්නයක් බවට පරිවර්ථනය වෙයි. අප පරිස්සම් විය යුත්තේ ඉන්දියාවේ ඇති මේ ඇතැම් ආගමික කුලබේද ආදී ලෙඩ රෝග ශ‍්‍රී ලංකාවේ සමාජය වැද්දා ගැනීමෙන් වැලකීමයි. පද්මාවතීගෙන් අපට ලැබෙන පාඩම ඒක යයි පැවසීය.

scroll to top