නූතන යුගයේ සැබෑ අවශ්‍යතාව කුමක්ද?

Buddhism.jpg

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් හැඳින්වීම පිණිස විවිධ නම් ව්‍යවහාර කරනු ලැබේ.බුදු දහම, බෞද්ධ දර්ශනය, ත්‍රිපිටකය ආදී නම්වලින් මෙය හැඳින්වේ. මෙය ආගමක් ලෙස සැලකීමේ දී බුද්ධාගම ලෙස ද හැඳින්වේ. කෙනෙකුට ආගමක් තිබිය යුත්තේ මන්ද? මේ පිළිබඳව සැපයිය හැකි විවිධාකාර අදහස් හා පිළිතුරු ඔබට තිබිය හැකිය. ආගම මිනිසුන්ගේ සදාචාරය සඳහා අවශ්‍ය බවට ඔබ තර්ක කරනු ඇත. එසේ නම් ආගම තුළින් පුද්ගලයෙකුගේ සදාචාර වර්ධනයක් වෙනවාද? මම ඔබෙන් අසමි. ඔව් ඔබ එකහෙලා පිලිතුරු දෙනු ඇත. ඒ ඔබ සිතීමට පුරුදු කරවා ඇති ආකාරයයි. එසේ නම් ආගම කුමන ආකාරයෙන් සදාචාර සංවර්ධනය ඇති කරන්නේදැයි දෙවනුව ද මම පැනයක් නගමි. ඇයි ආගම නිසා මිනිස්සු නරකින් වැළකී හොඳ දේවල්වලට යොමු වෙනවා නේදැයි ඔබ තරමක ආවේගයෙන් මට පිළිතුරු දෙනු ඇත. එසේ නම් මිනිස්සු නරකින් වැළකී හොඳ දෙයට යොමුවීමට ආගම අත්‍යවශ්‍ය යැයි කල්පනා කරන්නේද? කිසියම් ආගමකින් හෝ ආගමික ඉගැන්වීමකින් පරිබාහිරව කිසියම් පුද්ගලයෙකුට සදාචාර සංවර්ධනයක් අත්පත් කරගත නොහැකිද? එයට ආගමක් තිබිය යුතුමයද? ආගම නැමැති ලේබල් එකට ඔබ ඔය තරම්ම ගරුසරු දක්වන්නේ මන්ද? ආගම විසින් ඔබ බියවද්දා තිබෙන නිසාද? මේ දක්වා මා සමඟ සංවාදයක නිරතව හුන් ඔබ දැන් මා පිළිබඳව තරමක කුකුසක් ඇති කරමින් සිටින බව මම දනිමි. ඉක්මන් නොවනු මැනවි. ඉතා කල්පනාකාරීව මෙය මුල සිට අගට කියවාගෙන යනු මැනවි. එවිට ඔබට සත්‍යාවබෝධ වේවි. මම කියන දේ සත්‍යයක්ද නැතහොත් අසත්‍යයක්දැයි විමසා වටහා ගැනීමට ආවේගශීලීව නොවී විවේකී බුද්ධියෙන් සන්සුන් ලෙස තැන්පත්ව මෙය කියවීම අතවශ්‍ය බව වටහා ගනු මැනවි.

ආගම පිළිබඳව විචාර පූර්වකව විමසීමේ දී ඕනෑම පුද්ගලයෙකුගේ ඉවසීම මඳක් නැතිව යාම ස්වභාවයකි.ඒ තත්වය අඩුවැඩි වශයෙන් හැම පුද්ගලයෙකු තුළම තිබෙන බව මම දනිමි. ආගම ඇතුලාන්තය දක්වාම කිඳා බැස ඇති ඕනෑම අයෙකු ආගම පිලිබදව එල්ලවන විවිධ විචාරපූර්වක ආකල්ප ඉදිරියේ ආවේගශීලීවනුයේ ද මේ හේතුව නිසාමය. තමන් සදාචාර සම්පන්න වී ඇත්තේ ආගම නිසා බව බොහෝ මිනිස්සු සිතති. ඒ නිසාම සදාචාර සම්පන්නවීමට ආගමක් තිබීම අත්‍යවශ්‍ය යැයි ඔවුහු කල්පනා කරති. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් බුදුන්වහන්සේ ජීවමාන කාලයේදී පැවතියේ හුදෙක් ඉගැන්වීම් ලෙසම පමණකි. සම්පූර්ණ බෞද්ධ ඉතිහාසය තුළම සෙසු කාලසීමාවලට සාපෙක්ෂකව රහතන්වහන්සේලා විශාල ප්‍රමාණයක් ජීවමානව වැඩ සිටියේ ද මේ කාලවකවානුව තුළදීය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කාලයාගේ ඇවෑමෙන් බුද්ධාගම බවට පරිවර්තනය වූ අතර අද විද්‍යමානව ඇත්තේ එලෙස පරිවර්තනය වූ බුද්ධාගමකි. මෙකල ශ්‍රී ලංකාවාසී බොහෝ පිරිසකගේ උප්පැන්න සහතිකයේ සඳහන් වනුයේ බුද්ධාගම ලෙසයි. මේ නිසා තමන් බෞද්ධ ලෙස මේ පිරිස කල්පනා කරති. සදාචාර සංවර්ධනය සඳහා ආගමක් අත්‍යවශ්‍ය බව කල්පනා කරන බොහෝ පිරිස ද මීට අයත් වේ. එසේ නම් බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්ව තමන්වහන්සේ අවබෝ කළ දේ ඉගැන්වීමට මෙපමණ වෑයමක් දැරුයේ මන්දැයි ඔබට ඊළඟට ගැටලුවක් ඇතිවිය හැකිය.බුදුන්වහන්සේ එසේ බුද්ධත්වයට පත්වූ බවද තම දහම ඉගැන්වූ බව ද එය අවබෝධකළ බොහෝ පිරිසක් අර්හත්වයට පත්ව නිවන් දුටු බවද සත්‍යයකි. නමුත් මේ බොහෝ පිරිසක් වර්තමාන යුගයේ වෙසෙන අප මෙන් උප්පැන්න සහතිකයේ බෞද්ධ යැයි ලේබල්ගැසූ පිරිසක් නොවූ බව ද ඒ හා සමාන සත්‍යයක් බව අමතක නොකරනු මැනවි.

එසේ නම් අප බෞද්ධවන්නේ කෙසේද? අප බෞද්ධවනුයේ ක්‍රියාවෙන් පමණකි.යම් හෙයකින් අපගේ ක්‍රියා බෞද්ධ නොවන්නේ නම් උප්පැන්න සහතිකයේ බෞද්ධවූ පමණින් අප සැබෑ බෞද්ධයන් නොවන බව සිහි තබාගනු මැනවි.ලේබලයෙහි අරුතක් නැත. අරුත ඇත්තේ ක්‍රියාවතුළය. නූතනයෙහි බොහෝවිට කෙනෙකු මැනෙනුයේ ක්‍රියාව අනුව නොව ලේබලය අනුව වීම අවාසනාවකි.සසුන කල්ගතවීමේදී පිරිහීමට පත්වන බව බුද්ධ දේශනාවේ සඳහන්වනුයේද මේ හේතුව නිසාමය.කල්ගතවීමේ දී ක්‍රියා පසුපසට ගොස් ලේබල් ඉදිරියට පැමිණේ. ලේබල්වල ඇදී ගැලී ලේබල් දෘෂ්ටියක් කරගෙන ආගම්වල නාමයෙන් ගහමරා ගන්නා යුගයක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. එවන් කලියුගයක් අපි දැන් පසුකරමින් සිටින්නෙමු. එසේ නම් මේ යුගයේ දී සිදු කළ යුත්තේ කුමක්ද? ලේබල් ඉවතලා මනුෂ්‍ය සාරධර්ම, පුරුෂාර්ථ, සදාචාරය ආදී නම්වලින් හඳුන්වනු ලබන සැබෑ වටිනාකම් අනුව කටයුතු කිරීම මෙයට ඇති එකම විසඳුම විනා කොන්ක්‍රීට් ඉදිකිරීම් හැකිතාක් ඉදිකරවු පමණින් සසුන රැකගත හැකියැයි සිතීම මායාවක් පමණකි.යමෙකුගේ ඇතුලත හරය අඩුවන තරමට බාහිර ඔපය වැඩිවීම ස්වභාවිකය.ප්‍රජාවට ද එය එසේම බලපානු ලබයි.අද සමාජය මිනීමැරුම්,ලිංගික අපරාධ, හොරමැරකම්,දුෂණ ආදී දේවල්වලින් පිරීයමින් පවතියි.එය ඇතුලත හරය අඩුකමේ ලක්ෂණයකි.නමුත් අද යුගයේ ආගමේ නාමයෙන් සිදු කරනු ලබන කොන්ක්‍රීට් ඉදිකිරීම් ආදී බාහිර ඔපයේ ගතිලක්ෂණ වැඩිවී ඇත.

ගිහි පැවිදි භේදය පවතිනුයේ ද මතුපිට ඇඳුමේ පැහැය හා හැඩය අනුව නොවේ.බුද්ධ කාලයේ චීවරය සකස් කරන ලද්දේ මළමිනී එතු පාංශකූල චීවර හා ඉවතලූ රෙදිකඩ කැබලි කර කපා පඬු පොවාගැනීමෙනි.නූතන යුගයේ එය විදෙස්රටවල නිමවන ලද ඉහළ වටිනාකම් ඇති ඉස්තරම්ම පිලිවර්ග භාවිතාකර සකස් කරන්නක් දක්වා එය බාහිරව සංවර්ධනයවී තිබේ.ඊට සාපෙක්ෂකව පාංශුකූල චීවර,පිණ්ඩපාත,රුක්ඛමූල සේනාසන, පූති මුත්ත භෙසජ්ජ වැනි සිව්නිස්සයද මූලික ගිහි පැවිදි භේදය වත් සැලකිය නොහැකි තරම් සුඛෝපභෝගී තත්වයෙන් උපරිම මට්ටමකට බාහිර ඔපයෙන් සංවර්ධනයවී තිබේ.ඊට සාපෙක්ෂකව මූලික සාමණේර විනය ශික්ෂාවල සිට උපසම්පදා ශීලයේ චූල,මධ්‍යම හා මහා ශීල මට්ටම්වල පැවතිය යුතු අවම බාහිර ලක්ෂණ පවා ගිහි පැවිදි භේදය ඇතුලත ගුණවත්කම අනුව වෙන්කර සලකාගත නොහැකි මට්ටමකට පැමිණෙමින් තිබේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා කැලණි විශ්වවිද්‍යාල වැනි බෞද්ධ භික්ෂූණ්වහන්සේලා උසස් අධ්‍යාපනය හදාරනු ලබන විශ්වවිද්‍යාලවල එකම දේශනාගාරවල ඒ පිරිස සමඟ එක්ව අධ්‍යාපනය ලබා පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළව ආචාර්ය උපාධි සාමාර්ථය දක්වා පැමිණි ගමන්මග තුළ පැහැදිලි වෙනසක් මම පුද්ගලිකව අත්දැක්කෙමි.මගේ පුද්ගලික අත්දැකීම් සෑම කරුණක්ම පොදු ජනමාධ්‍යයක ලිවිය නොහැකිවුවද ඒ තුළ වැඩිදෙනෙකුට ප්‍රයෝජනයක් ගතහැකි දේ පමණක් අති සංක්ෂිප්තව හුදු කරුණාධ්‍යාශය පෙරටුකොට පමණක් මෙහි දැක්වූ බව යටහත්ව කාරුණිකව සිහිපත් කරමි.

එසේ නම් ඉහත දැක්වූ මූලික පැනය වෙත යළිත් ඔබව කැඳවාගෙන යන්නෙමි. එනම් ගුණධර්ම දියුණු කිරීම සඳහා ආගමක් තිබිය යුතුමද යන කාරණයයි.මෙහි ආගම යනුවෙන් අදහස්වනුයේ බුද්ධාගම යැයි සිතමු.එවිට ගුණධර්ම දියුණුවට බුද්ධාගම නමින් අලවාගෙන තිබෙන ලේබල් එක අත්‍යවශ්‍යමදැයි සලකාගත හැකිය.මීට පිළිතුර වන්නේ කුමක්ද?කෙනෙකුට උප්පැන්න සහතිකයේ ලේබල් එක කුමන ආගමක් හෝ විය හැකියි. ඒ පුද්ගලයා බුදුන්වහන්සේගේ ඉගැන්වීම් අනුව තමන්ගේ ඇතුලත හරය සකස් කරගෙන ඒ අනුව ප්‍රතිපත්තිවල නියැලී සිටින්නෙකු නම් එහි ප්‍රතිඵල ලැබිය හැකියි.නමුත් කිසිදු ඇතුලත හරයක් නොමැතිව හුදු මතුපිට ඔපය ලේබල් එක පමණක් දරා සිටින්නෙකුට කොපමණ බුදුවරු සංඛ්‍යාවක් බුද්ධත්වයට පත්ව පිරිනිවියත් සත්‍යය අවබෝධ කරගැනීම දුෂ්කර වනු ඇත. ගිහි පැවිදි භේදය පිලිබඳව ද පැවසිය යුතුවන්නේ මීට සමාන කරුණකි. ගත පැවිදි කිරීමට වඩා හිත පැවිදි කිරීම දුෂ්කරය.එබැවින් ගතින් පැවිදි බව ලැබූ තැනැත්තෙකු පැවිද්දෙකු සේ සැලකිය හැකිවනුයේ ඇතුලතින් ප්‍රතිපත්තියෙන් පැවිදිබව රකින්නේ නම් පමණකි.එසේ නොමැතිව මතුපිට ඔපයෙන් පමණක් පැවිදිබව රඳාගත්තෙකු අවම මට්ටමින් ගිහියෙකු රකින පංචශීලයට අයත්වන ප්‍රාණඝාතය, අදින්නාදානය,කාමේසුමිච්ඡාචාරය,මුසාවාදය, සුරාමේරය යන අංග පවා රැකීමට අසමත්වුවහොත් තවදුරටත් ඒ පුද්ගලයා පැවිද්දෙකු ලෙස හැඳින්වීම උචිතද යන ගැටලුවක් මතුවේ.නමුත් ඉතා කණගාටුවෙන් වුවද විශ්ව විද්‍යාල ජීවිතයතුළ මම හොඳින් අත්දුටු පැහැදිලි සත්‍යයක් පැවසිය යුතුය. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය, ආචාර්ය හා මහාචාර්ය පැවිද්දන් සාමාන්‍ය සමාජයතුළ රඳවාගෙන සිටින ප්‍රතිරූපය තරම් ඒ අයගේ සැබෑ පැවිදි විනය ගිහි මට්ටමටත් වඩා පහළ මට්ටමක පවතින බවයි. එසේ නම් එබඳු සමාජයකින් රහතන්වහන්සේලා අපේක්ෂා කිරීම ගාල්ල හෝ මාතර නාමපුරුවරුවක් යෙදූ බස්රියකින් අනුරාධපුරයට යෑමට අපේක්ෂා කිරීම මෙන් ඉතා නිෂ්ඵල වූවකි.මෙකල විවිධ ජනමාධ්‍ය හරහා රහතන්වහන්සේල ලෙස උලුප්පා ප්‍රදර්ශනය කරමින් ප්‍රදර්ශනය කරවමින් ඒ හරහා මුදල් උපයාගැනීමක නිරතවන පැවිද්දන් අවම තරමින් ගිහියෙකුට කිබිය යුතු මූලික සීලය වූ පංචශිලය ශික්ෂාපද ටික පවා නොරකින අයවීම මේ කලියුගයේ සසුනේ පැවැත්මේ පරිහානි ලක්ෂණ ඉතා මැනවින් ප්‍රදර්ශනය කරවීමක් ලෙස සැලකිය හැකියි.

මෙය වැලැක්වීමට නම් අප කළ යුත්තේ කුමක්ද? මේ ව්‍යාජ බොල් ඔපයන්ට වටිනාකම් පිරිනැමීම නතරකර දැමීම වහාම කළ යුතුය.ඇඳුමින් හෝ වෙනයම් බාහිර ඔපයක් පදනම් කරගනිමින් පුද්ගල වටිනාකම් මැනීමේ මිනුම් දඩුව වෙනස් කර ඒ වෙනුවට පුද්ගලයාගේ අභ්‍යන්තර ගුණයට වටිනාකම් පිරිනැමිය යුතුය.යළිත් වරක් මේ බුදුසසුනතුළ මාර්ගඵල ප්‍රතිවේධය බඳු වටිනාකම් ඇතිකළ හැක්කේ එසේ කළ හොත් පමණකි.මේ ලෙස කටයුතු කිරීමෙන් ආගම යම් පුද්ගලයෙකුගේ අභ්‍යන්තර ගුණවත්කම වර්ධනය කළහැකි මෙවලමක් කරගත හැකිය.එසේ නොවනාකාත් කල් උප්පැන්න සහතික නාමධාරි බෞද්ධයන් පමණක් ඉතිරිවනු ඇත.ආගම් ජාති කුල ගෝත්‍ර වශයෙන් සමස්ත මනුෂ්‍ය සමාජය බෙදී වෙන්වී කටයුතුකරනා තාක්කල් ගුණධර්ම වර්ධනය සිහිනයක් පමණක් වනු ඇත.මේ අනුව කෙනෙකුගේ ආගම,කුලය,ගෝත්‍රය ආදී සියල්ලම මිනිසත්කම නම්වූ පොදු කුලකයට ඇතුළත් කළයුතුය.සම්මා සම්බුදුවරු මේ ලෝකයට උපදින්නේ සමස්ත ජීවින්ම වෙනුවෙනි. මනුෂ්‍යයන් ඒ සමස්ත ජීවයේ කුඩා කොටසකි.ඉදින් ඒ කුඩා කොටස වන මනුෂ්‍ය සමාජය ජාති,ආගම්,කුල පංති ගෝත්‍ර අනුව ත තවත් කුඩා අනුකුඩා අංශුවලට බෙදීවෙන්වී කටයුතුකරන්නේ නම් එය බුදුරදුන් අනුදැන වදාල සත්‍ය බොදු පිළිවෙතට පටහැනි දහමක් වනු ඇත.මනුෂ්‍ය වටිනාකම් වර්ධනයකිරීමට ආගම අවශ්‍යදැයි ඉහත බුද්ධි කලම්භනයක් ඉදිරිපත්කලේද මේ ගැඹුරු සත්‍යකරා පිවිසීමට ඉන් කදිම ප්‍රවේශයක් සකසාගැනීම සඳහාය.ඉදින් වර්තමාන සමාජයේ බෞද්ධයන් යැයි කියාගන්නා පිරිස්හි ක්‍රියාකාරීත්වය සැබෑ බොදු පිළිවෙත කෙතරම් දුරට ප්‍රායෝගිකව වර්ධනය කිරීමට උපස්ථම්භක වේදැයි ඔබටම සිතා විනිශ්චයකට පැමිණිය හැක.

ආගමේ සැබෑ අවශ්‍යතාව නම් පොදු මනුෂ්‍ය වටිනාකම් හර අගයන් ඒකරාශි කිරීම මිසක බෙදා වෙන්කරමින් උනුන්ගේ සිත්තුළ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා ආදී කෙළෙස් ගිනි උපදවාලීම පිණිස මෙවලමක් ලෙස භාවිතයට ගැනීම නොවේ.නමුදු අද සෑම ආගමික ලේබලයකින්ම සිදුවනුයේ අඩුවැඩි වශයෙන් මේ කාරණය නොවේද? ආගම් ලේබලවලින් සිදුවනුයේ බෙදාවෙන්කර දෘෂ්ටිවලට පැමිණීමක් නම් එබඳු ලේබල්කරණයකින් බැහැර වී පොදු මනුෂ්‍ය අගයන් වර්ධනය කිරීමට උත්සුකවීම එම ලේබල්වලින් මූර්තිමත් කරන එකී ආගම්වල සැබෑ හරය සේ හඳුනාගත හැකිය.මෙය බෞද්ධ හා අබෞද්ධ සියලු ආගම් ලේබල්වලට අදාළය.මේ කලියුගය නිසා සාමාන්‍ය මනුෂ්‍යයාගේ කෙලෙස් උත්සන්නවී ඇත.උත්සන්න වූ කෙලෙස්වලට අනුගතවන පරිදි ආගම්වල ආදී කර්‍තෘවරුන් හා ආගමික ශාස්තෘවරුන් විසින් දේශනා කරනලද ආගම්වල මූලික හරය වෙනුවට හුදු බාහිර ඔපය කෙරෙහි වර්තමාන සමාජයේ බහුතර ප්‍රජාවකගේ මනස යොමුවී ඇත.ආගම්වල පූජ්‍ය හා පූජක පක්ෂය වෙතින් ඉටුවියයුතු යුතුකමක් නම් ස්වකීය ආගමික ප්‍රජාවගේ මනස සකස් කිරීම හා ඔවුන් නිවැරදි පිළිවෙතට යොමු කිරීමයි.නමුදු මුදල් පසුපස හඹායෑමේ තරඟයක නිරතවන ඔවුන්ද බාහිර ඔපයට වැඩි වටිනාකම් ලබාදී අධි උත්කර්ශණයකින් හුවා දක්වා මුදල් උපයාගැනීමේ කදිම මඟක් සේ එය භාවිතාකරනු හැරෙන්නට වැරදි මඟක යන ප්‍රජාව එයින් වළක්වා ගැනීමට කල්පනා කරන්නේ නම් එයම යුගයේ සැබෑ පාරමිතාවක් වනු ඇත.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top