UDA හා පෞද්ගලික අංශය එක්ව ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ ආයෝජනය රු බිලියන 275ක්

Champika-4.jpg

‘‘නාගරික සංවර්ධන අධිකාරිය හා පෞද්ගලික අංශය එක්ව ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ ආයෝජනය රුපියල් බිලියන 275 යි. සමස්ථ රාජ්‍ය ආයෝජනයෙන් අඩකටත් වඩා වැඩියි.’’

– ඇමති චම්පික රණවක පවසයි.

  • ගම්බිම්වල විරැකියාවෙන් පෙළෙන දහස් ගණන් තරුණයින්ට ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ රැකියා අවස්ථාවන්.
  • ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය අපේ රටේ ආර්ථිකයේ දොරටුවයි.
  • විදෙස් ශ‍්‍රමිකයන් ලක්‍ෂ 2 ක් ලංකාවේ අවිධිමත් ලෙස රැකියා කරනවා.

මහානගරය නිර්මාණය කිරීමේදී දහදිය ශ‍්‍රමය, කඳුළු හෙලන අපේ වැඩකරන අපේ ජනතාව ප‍්‍රණාමය පළකිරීම, ඔවුන් දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමේ වැඩසටහනක් මාර්තු මස 30වන දා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24) දින බත්තරමුල්ල සෙත්සරිපායේ, 7 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අන්තර් ජාතික මූල්‍ය ආයතනවල සමීක්‍ෂණයන්ට අනුව රටේ ප‍්‍රගතියක්, ඉදිරිගමනක් පෙන්වා ඇත්තේ ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍ර දෙකක පමණක් බවත්, එනම් සංචාරක ව්‍යාපාරය සහ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය බවයි. මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය පමණක් පෞද්ගලික අංශයේ ව්‍යාපෘති 100 කට ආසන්න ප‍්‍රමාණයකට අනුමැතිය දී තිබෙන අතර ආසන්නයෙන් රුපියල් බිලියන 275 ක පමණ වටිනාකමකින් යුක්ත වන බවත් එය පසුගිය වසරේ රාජ්‍ය ආයෝජනයෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් බවත් පැවසීය.

එසේම නාගරික සංවර්ධන අධිකාරිය මගින් කිසිවෙකුගේ බලපෑම් වලින් තොරව නිවාස ව්‍යපෘති හෝ ඉදිකිරීම් ව්‍යාපෘති සැලසුම් අනුමත කරවා ගැනීමටත්, නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් විකිණීමේදී තරඟකාරී පදනමෙන්, වෙළඳපල වටිනාකමට පමණක් වන අයුරින් විධිමත් ප‍්‍රතිපත්තියක් මේ වන විට සකස් කර තිබෙන බවත්, කිසිම ඉඩමක් සින්නක්කරව ලබාදීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ ගැටළු ගණනාවක් මේ වන විට පැන නැගිලා තිබෙනවා, ප‍්‍රධානම ගැටළුවවන ශ‍්‍රම හිඟය, එම ශ‍්‍රමය වගුරුවන පිරිස් සඳහා අභිමානය පළ කිරීමේ උළෙලක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. විරැකියාව ගැන නොයෙක් පිරිස් අදහස් පළ කළත්, ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේත්, කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේත් අති විශාල රැකියා ප‍්‍රමාණයක් තිබුනත්, ඒ සඳහා ශ‍්‍රමිකයන් නොමැති වීමයි. එම ක්‍ෂෙත‍්‍රවල සංචාරක වීසා මගින් මෙරටට පැමිණි ලක්‍ෂ දෙකක් පමණ අවට රටවල්හි විදේශිකයින් සේවය කරයි. එමගින් අනාගතයේ වෙනස් ප‍්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ ද ඇතිවිය හැකි බව අමාත්‍යවරයා පැවසූ අතර සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන විදේශීය ශ‍්‍රමය අවධිමත් ආකාරයට තැන තැන යෙදවීම පිළිබඳව රජය විධිමත් ප‍්‍රතිපත්තියක් ඇතිකළ යුතු බව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් යෝජනා කර ඇති බව ද පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ වැඩබිම් 12 ක නිවාස 13,000 ක් ඉදිවෙමින් පවතින බවත්, එම ව්‍යාපෘතීන්වල 4,000 ක් පමණ ශ‍්‍රමිකයින් රැකියාවන් හි නිරත වේ. රටට බරක් නොවන ලෙස ඔවුන්ගේ දායකත්වය ලබාදෙමින් සිටින ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ එම ජනතාව ඇගයීමට ලක්කර ඔවුන්ට උපහාර පිදීමත්

ගම්බිම්වල වෙසෙන දහස් ගණන් විරැකියා පූර්ණ තරුණ තරුණියන් හට ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ දොරටු විවෘත කරන මොහොතක් බවට පත් කරන්නත්, ඒ වෙනුවෙන් එක්වන ලෙස අපේ තරුණ පරම්පරාවට මේ මොහොතේ ආරාධනා කරන බව හා අද මේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය ජනතාවගේ අතමිට සරුකරන, එමෙන්ම රටේ ආර්ථිකයේ ප‍්‍රධාන දොරටුව ලෙස හඳුන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

scroll to top