නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාවට නැංවීමෙන් පසුව බදුපිට වක්‍ර බදු ගෙවන ජනයාගේ බදු බර ඉවත් කෙරේ

Mangala-1.jpg

සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙසත්, තුන්වන ලෝකයේ රටක් ලෙසත් කාලාන්තරයක් තිස්සේ හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ තවමත් වක්‍ර සහ ඍජු බදු ආදායම 80% – 20% මට්ටමේ පවතී.

දැනට බදු ගෙවමින් සිටින අය මතම බදුබර පැටවෙන හෙයින් අඛණ්ඩව පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය දැනට සම්මත කර ඇති නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඍජු බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වැඩිවෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව පැවසූයේ, “බදු – වගකීමක් නොව සමාජ යුතුකමකි” යන මැයෙන් මාතරදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි. මෙරටේ බදු ගෙවන සමාගම් හා ව්‍යාපාරිකයන්ද දැනුවත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා නව බදු පනත පිළිබඳව සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වෙන එහි සමාරම්භක සම්මන්ත්‍රණය මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී පැවැත්විණ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා –

‘‘මුදල් ඇමැතිකම මට ලැබුණේ ගිය මැයි මාසෙ. මම මුලින් ම කළේ දවස් දහයක විතර කාලයක් සියලු ම වැඩ කටයුතු පැත්තකට තියලා නිලධාරීන් සමග සාකච්ඡා කරල රටේ ආර්ථිකයේ ඇත්ත තත්ත්වය මොකක් ද කියල දැන ගත්ත එකයි. මගේ වසර 66ක ජීවිත කාලෙන් වැඩි පුරම කෙස් ගැලවිලා ගියේ මුදල් ඇමැතිකමේ වැඩකරපු පහුගිය මාස හය කියලයි මම හිතන්නෙ.

ඇත්තට ම අපේ රටේ වක්‍ර සහ සෘජු ආදායම 80-20 මට්ටමේ තමයි තියෙන්නෙ. හරියට ම කිවුවොත් එම අනුපාතය 82 – 18ක් විතර. මේක පුදුමයට වගේ ම කණගාටුවට කරුණක්. බංග්ලාදේශය වගේ කලාපීය රටවල් ඒ අතින් අපට ඉස්සර කරගෙන යන්නෙ. අසැල්වැසි ඉන්දියාවේ මේ අනුපාතය 50-50 මට්ටමේ තියෙන්නෙ. අපේ රටේ ඒ අනුපාතය 80 – 20 මට්ටමේ තියෙනව කියල කියන්නේ අපි බදු බර පටවන්නේ දැනට බදු ගෙවමින් සිටින අයටමයි. ඒ නිසා තමයි මේ නව දේශීය ආදායම් පනත ගෙන ආවෙ.

පනතක් ගෙනාවට වැඩක් නැහැ ඒක ප්‍රායෝගිකව ජනතාව අතර ගෙනියන්නෙ නැත්තෙන්. අද මේ ආරම්භ කරන සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ තමයි පනත ගැන දැනුවත් කිරීම. ඒ වගේ අපි නව දේශීය ආදායම් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම ලබන අප්‍රේල් මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කරල තියෙනවා. ජනතාවට මේ පනත පිළිබඳ අධ්‍යනය කිරීමේ පහසුව වෙනුවෙන්.

ව්‍යාපාරික ඥනය අපේ ජානවල තියෙනවා. ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් ගෙනාපු අස්සයො පිටේ තමයි අපේ ඉස්සර රජවරුන්ගේ වාහන වුණ. ඒ වගේ ම තමයි අපේ මුතු මැණික් ඊජිප්තුවේ ෆේරෝවරුන් පැළැඳි බවට සාධක තියෙනවා. ක්ලෝපැට්රා වුණත් ශ්‍රී ලංකාවේ මැණික් ගලක් පැළගෙන හිටිය කියල ආරංචි වුණොත් මම පුදුම වෙන්නෙ නෑ. ඒ නිසා අපේ ඩීඑන්ඒවල ම මේ ව්‍යාපාරික ඥානය තියෙනවා. ඒ හැකියාවන් අවදි කර ගන්නයි ඕනෙ. ඒ නිසා අපේ යම් යම් යල් පැන ගිය නීති රීති වෙනස් කළ යුතුයි. ඒ නිසා 1860 හදපු රේගු පනත, 1911 හදපු සුරා බදු පනත අපි වෙනස් කළ යුතුයි.

තවත් මාස කිහිපයකින් අපේ 70 වෙනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා. නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකේ ආවට ඇත්තට ම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මූණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය.

මෙම අවස්ථාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන් චන්ද්‍ර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

scroll to top